දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, යුද, වාර්ගීක, සහ ආගමික ගැටුම් පදනම් කරගෙන විශාල සිනමා කෘති සංඛ්‍යාවක් ලෝකයේ බොහෝ රටවල්වල නිර්මාණය විය. නාසි ජර්මනියේ හිට්ලර්ගේ පාලනය යටතේ මහා යුදෙව් වර්ග මිනිස් සංහාරය Genocide පිළිබදව නිර්මාණය වුණු සිනමා කෘති රාශියක් ඇති අතර, බලය කේන්ද්‍රකර ගනිමින් ඇතිවූ මහා මිනිස් සමූල ඝාතනයන් Holocaust පිළිබද චිත්‍රපටිද, ගෝත්‍ර හා ආගමික කණ්ඩායම් අතර ඇතිවූ ප්‍රචණ්ඩත්වයන් Violence පදනම් කරගෙන නිෂ්පාදනය වූ සිනමා කෘති ලෝකයේ බොහෝ රටවල නිර්මාණය විය. අපේ රටේ ශ්‍රී ලංකාවේද 71, 88, 89 කාලවල ඇතිවූ දකුණේ දේශපාලන ගැටුම් නිසාවෙන් තරුණ තරුණියන්ගේ ජීවිත දස දහස් ගණනක් අමානුෂික වධ බන්දනයන්ට ලක්වී ඝාතනය වුණු අතර, උතුරේ ජනවාර්ගීක ගැටුම් නිසාවෙන් දමිළ හා සිංහල තරුණ තරුණියන් හා අනෙකුත් ජන ප්‍රජාවන් විශාල ප්‍රමාණයක් අපේ රටට අහිමි විය. දකුණේ සහ උතුරේ ඇතිවූ මෙම දේශපාලන හා ජනවාර්ගීක ගැටුම් පදනම් කරගෙන කවි සාහිත්‍යය හා වෙනත් ලිපි ලේඛන සෑහෙන ප්‍රමාණයක් ලියවී ඇති නමුත් මෙම ගැටුම් පදනම් කරගෙන ඓතිහාසික තොරතුරු අධ්‍යනය කරමින් විධිමත් සුසාධිත තිර රචනයක් Well Balanced Screenplay යටතේ සම්භාව්‍ය සිනමා කෘතියක් A Classical Movie මෙතෙක් බිහිවී නැහැ කියන එකයි මගේ අදහස. එහෙත් වෙනත් කලාත්මක සිනමා විභේදනයට Genre අයත් සිනමා කෘති යම් ප්‍රමාණයක් නිර්මාණය වී තිබීම අපේ සිනමා වංශකතාවට සතුටු විය යුතු කාරණයක් වගේම ලෙස්ටර් ජේම්ස් පීරිස්, ඩී. බී නිහාල්සිංහ, ජී. ඩී. එල් පෙරේරා, පරාක්‍රම සිල්වා, ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දර යන නිර්මාණ කරුවන් මෙහිදී සිහිපත් කල යුතුය.
දකුණේ 88, 89 කාල පරිච්ඡේදය තුළ ඇතිවූ භීෂණ සමය පදනම් කරගෙන නාමල් ජයසිංහ සහ ජගත් මනුවර්ණගේ සම තිර රචනයෙන්, ජගත් මනුවර්ණ විසින් නිර්මාණය කරන ලද ” රහස් කියන කඳු ” සිනමා කෘතිය මා ඉහතින් සඳහන් කල සම්භාව්‍ය සිනමා ශානරයට අයත් සිනමා කෘතියක් සහ කලාත්මක ශානරයට අයත් සිනමා කෘතියක් ලෙස හඳුන්වනවට වඩා මෙය රූපික සිනමාවක් Metaphor Film සහ ප්‍රති ආඛ්‍යාන සිනමාවක් ලෙස Anti – Narration film හඳුනා ගැනීම වඩා උචිත යැයි මා සිතනවා. මා එසේ කියන්නේ කුමණ පදනමක් යටතේද කියන එක මෙම ලිපිය සම්පුර්ණයෙන් කියවූ පසු ඔබට වැටහේවි. ලිපිය තරමක් දිගු බැවින්, ටිකක් කල් අරගෙන නිවාඩුව ලිපිය සම්පුර්ණයෙන්ම කියවනවා නම්, එය මගේ මහන්සියට කෘතගුණ සැලකීමක් ලෙස මා බාරගන්න අතර, ඔබටද මෙය අධ්‍යාපනික වශයෙන් මෙම ලිපිය ප්‍රොයෝජනවත් වේ යැයි සිතමි.
කාර්මික විප්ලවයෙන් පසු අපරදිග අහසේ පෑයූ මිනිස් සිත අවදිකරන දිලිසෙන තාරුකාවක් බඳු වූ සිනමා කලාව පෙරදිග අහසේ පායන විට, එයටම අනන්‍ය වූ මානසික රූප විඥානික චිත්‍රයක් Mind Image සොයා ගැනීමට එකල අසීරු තත්වයක් තිබුණත් මේ වනවිට එය බොහෝ ජයග්‍රහණයන් අත්පත් කරගෙන තිබෙන බව සත්‍යයක් වුවත් රුපයක් මත රුපයක් මිශ්‍රිත Mixed වීමෙන් ඇතිවෙන මනෝභාවයේ සංකල්ප රූපික ලෙස Imagist අර්ථවිවරණය කරගැනීමට පෙරදිග සිනමාව තවමත් එතරම් සමත් වී නැහැ කිව්වොත් ඔබ මා සමග එතරම් එකඟවෙන එකක් නැහැ. ඒ මොකද කිව්වොත් අදවන විට බටහිර, පෙරදිග මෙන්ම ලෝකයේ බොහෝ රටවල් සිනමාව කලාවක් මෙන්ම වෙළඳ කර්මාන්තයක් ලෙසද ව්‍යාප්ත වී එය මිනිස් ජීවිතය සමග අති සමීප වී තිබෙන නිසාවෙනි. සිනමාව කර්මාන්තයක් ලෙස ගත්තොත් Hollywood සහ Bollywood කියන සිනමා කර්මාන්ත ද්විත්වය අදවන විට අති දැවැන්ත නිෂ්පාදන සංචාරණයන්ට හිමිකම් කියන සුවිසාල වාණිජ ප්‍රාග්ධනයක් Commercial Capital ඒකරාශිකරණය වෙන සංස්කෘතික පාරිභෝගික Consumer Culture භාණ්ඩයකි.
ලූමියර් සහෝදරයන් විසින් 1895 – 12- 28 වෙනි දින Arrival of a Train කියන චලන සිනමා පටයෙන් ඇරඹු ඒ චලන චිත්‍රයේ කතාව මේ විශ්වයේ අභිරහස් සොයාගෙන යන තරමට සිනමා තාක්ෂණය සුසමාදර්ශි වී ඇති අතර, මිනිස් ජීවිතද විශාල පරිවර්තනයකට භාජනය වීමටද මෙම චලන චිත්‍රයේ කතාව අධිපති වී ඇත. කාර්මිකකරණය මෙන්ම සංකල්පීයව දියුණු වී ඇති සිනමාව මිනිස් අවිඥානයේ ක්ෂිතිමය රූපයේ ස්වාමීත්වය සිනමා තිරය විසින් අත්පත් කරගෙන ඇත. අපරදිගින් යුරෝ කේන්ද්‍රීයව පෙරදිගට පැමිණි සිනමාවංශ කතාව එයටම අනන්‍ය වූ පරිමණ්ඩල මනෝභාවයක් Ambience, එහෙමත් නැතිනම් එයටම වූ වාතාවරණයක් ගොඩනගා ගන්න පුළුවන් මානවකෘතියක් Artifact නිර්මාණය කරගැනීමට දශක කීපයක් ගතවිය. විවිධ අනන්‍යතාවයන් සහිත විෂමජාතිවූ Heterogeneous සමාජ සංදර්භයක සිනමාරූපීව මානසික චිත්‍රණ සංචාලනය Image Manipulation කිරීම මෙම සංදර්භය තුළ ටිකක් අමාරු කාර්යක්. මෙතැනදී මානවකෘතිය Artifact කියන සංකල්පය තේරුම් ගැනීම වැදගත්. Ecofact සහ Artifact කියන සංකල්ප දෙක බොහෝ දුරට යොදාන්නේ චිත්‍ර කලාව සම්බන්දව විචාරාත්මකව විශ්ලේෂණය කරන්න යන විටයි. Ecofact කියන සංකල්පයේ දළ අදහස තමයි සොබාදහම විසින් මිනිස් සමාජයට දෙන ලද දෙය කියන එක, ඒ කියන්නේ ගස් වැල්, සතා සියුපාවා හා කුරුල්ලන්ගේ ශබ්ද වැනි සෞන්දර්ය දනවන දේවල්. Artifact කියන්නේ මිනිසා විසින් සොබාදහම ජයගෙන සංකල්පීයව ලෝකය අර්ථකථනය කරන්න ගන්න උත්සාහය සහ මිනිස් හැගීම් සංකල්පීයව තේරුම් ගන්න කරන උත්සාහය කියන අදහසයි සාමාන්‍ය ලෙස අරුත්ගන් වන්නේ. මේ සංකල්ප දෙක චිත්‍ර කලාව අර්ථවිවරණය කරන්න අවශ්‍ය සංකල්පයන් වගේම පෙරදිග සහ අපරදිග සිනමාව තුළ ඇති රූපක කතාව Allegory තේරුම් ගන්න අවශ්‍ය වෙනවා.
කාර්මික විප්ලවයෙන් පසු බටහිරෙන් බිහිවූ සිනමාව ඉන්දියාව, ජපානය, හා චීනය වැනි ආශියාතික රටවල් කරා ඉතාමත් වේගෙන් විකාශනය වුණු අතර එම රටවල් එය බාර ගත්තේ ස්වාවික සංස්කෘතික මේවලමක් ලෙසයි. ඒ කියන්නේ Ecofact කියන ස්වභාවික නිර්ණායකයන්ට අනුවයි. සිනමාව නැමැති මේ නව සංස්කෘතික සන්නිවේදන මේවලමේ ආසියාතික අනන්‍යතාවයේ සිනමා රූපය සොයාගන්න දශක දෙක තුනක් ගතවිය. ආසියාතික අන් රටවල් වලට සාපේක්ෂව ඉන්දියාව තුළ මෙය සංස්කෘතික කර්මාන්තයක් Culture Industry ලෙස ඉතාමත් සීග්‍රයෙන් වර්ධනය විය. වීර කතා, දේව කතා පසුබිම් කරගෙන ගොඩ නැගුණු ඉන්දියානු වට්ටෝරුගත සිනමාව Formula Cinema අති විශාල ප්‍රාග්ධනයක් යොදමින් නිපදවු ඉන්දියන් සිනමාව ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගනිමින් විශාල ආදායමක් උපයාගන්නා ජනමෝහන Blockbuster සිනමාවක් බවට අදවන විට ඉන්දියානු සිනමාව විශාල කර්මාන්තයක් ලෙස ඉහලට එසවී ඇත. මනමෝහණීය ප්‍රධාන දහරාවේ සමනල ආලෝකකරණය රංගප්‍රොයෝග Butterfly Lighting Effects සිනමාවට ප්‍රතිපක්ෂව සමාජ යතාර්ථය හා එහි දෘෂ්ටිවාදයන් සිනමා රූපය හරහා ප්‍රකාශ කරන්න සුවිශේෂී සිනමාවක් කලාත්මක සිනමාව Art Cinema යනුවෙන් ගොඩ නැගිනි. මෙම සුවිශේෂී ලාංජනයක් බවට පත්වන්නේ සත්‍යජිත් රායි සහ ඔහුගේ සිනමාත්මක ශෛලියේ Genre නිර්මාණකරණයයි. මෙම ප්‍රභේදකරණයට අයත් නිර්මාණ කරුවන් බොහොමයක් ඉන්දියාවේ සහ ලෝකය පුරා බිහිවිය. ඒ අතරින් Ritwik Ghatak, Adoor Gopalakrishnan, Shaji N. Karun, ජපානයේ Yasujiro Ozu, Akira Kurosawa, ඉතාලියේ Federico Fellini, ඉරාණයේ Abbas Kiyarostami, ප්‍රංශයේ François Truffaut, ස්විඩනයේ Ingmar Bergman, සෝවියට් රුසියාවේ Andrei Tarkovski, ඇමරිකාවේ Orson Wells වගේ සිනමා කරුවන් මේ කලාත්මක සිනමාව හරහා වැඩියෙන්ම භාවිතා කලේ මිනිස් සිත හා එහි අවිඥානික ස්වරූපය සිනමා කැමරාව හරහා සිනමා තිරය මත ප්‍රක්ෂේපනය කරන්නයි. ඒ නිසාම මේ කලාත්මක සිනමා දහරාව පසුබිම් කරගෙන සිනමා විචාර කලාවක්ද Films Criticism ලෝකයේ බිහිවිය. ඕනෑම ක්ෂේත්‍රයක, විශේෂයෙන්ම කලා ක්ෂේත්‍රය තුළ එහි අභිවෘධිය රඳා පවතින්නේ සහ එය ඉදිරිගාමී වෙන්නේ විචාරාත්මක ඥාන ප්‍රාග්ධනයක් Intellectual Critical Capital එම කලා කෘති පදනම් කරගෙන ගොඩනැගුනොත් පමණයි කියන එක සත්‍යයක් බව ලෝකයේ මෙතෙක් බිහිවූ විචාරාත්මක කෘති දෙස බලන විට පසක් වෙනවා. ප්‍රධාන දහරාවේ සිනමාවට සාපේක්ෂව කලාත්මක සිනමාව Art Cinema තුළ ඇති සංකීර්ණතාවයන් පොදු මිනිස් සමාජයට එතරම් ගෝචර නොවන නිසා කලාත්මක සිනමා ශානරයන් පිළිබද විචාරාත්මක අවකාශයන් බොහොමයක් නිර්මාණය විය.
අපි මෙතැනදී කලාත්මක සිනමාව Art Cinema සහ සම්භාව්‍ය සිනමාව Classical Cinema කියන විභේදනය ටිකක් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා හිතනවා. ලෝකයේ බිහිවූ කලාත්මක ශානරයට අයත් කියන සිනමාව බිහිවී තිබෙන්නේ ප්‍රධාන දහරාවට ප්‍රතිපක්ෂව වෘතාන්තමය තාර්කික පදනමට වඩා දෘශ්‍ය රූප රිද්මය හරහා ප්‍රති ආඛ්‍යාන Anti Narrative සිනමාවක් නිර්මාණය කරන්නයි. විකල්ප දහරාවේ සිනමා කරුවන් වන මේ සිනමා කරුවන් උත්සාහ කලේ අඩු පිරිවැයකින් ඉතාමත් ඉහල සංකල්පීය ගුණයකින් සමන්විත සිනමාවක් නිර්මාණය කරන්නයි. ඒ නිසාම මෙම සිනමා කරුවන් සම්මත වෘතාන්තමය ආකෘති වලින් පරිභාහිරව අනුභූතික සිනමාවක් A Experimental Cinema ගොඩනගන්නට උත්සාහ දැරීය.
සම්භාව්‍ය සිනමාව Classical Cinema කලාත්මක සිනමාවට හා මහා දහරාවේ සිනමාවට සාපේක්ෂව බොහෝ වෙනස්කම් තිබෙනවා. සම්භාව්‍ය සිනමාවේ ප්‍රධානතම ලක්ෂණ තමයි සිනමා සිද්ධාන්තයේ ඇති සියළුම න්‍යාය ධර්මයන් නිසි ලෙස සිනමා කෘතිය හරහා ප්‍රකාශ කිරීම. සම්භාව්‍ය චිත්‍රපට ප්‍රධාන වශයෙන් නිර්මාණය වෙන්නේ Hollywood සිනමා කර්මාන්තය හරහායි. Hollywood කියන්නේ ඇමරිකාවේ සිනමාව හඳුන්වන පොදු නාමයයි. සම්භාව්‍ය ගණයේ චිත්‍රපටියක් නිර්මාණය කරන්න ඉතාමත් විදිමත් තිර රචනයක් Screenplay අවශ්‍යයි. ඉතාමත් විද්‍යාත්මක වූ සුසාධිත තිර රචනයක් මත තමයි සම්භාව්‍ය ගණයේ සිනමා පටයක් නිර්මාණය කරන්න හැකියාව ලැබෙන්නේ. ඇමරිකානු ජාතික එඩ්වින් එස් පොටර් විසින් විදිමත් තිර රචනයක් පදනම් කරගනිමින් නිර්මාණය කල The Great Train Robbery චිත්‍රපටය ලෝක සිනමා ඉතිහාසයට එකතු වන්නේ ලෝකයේ ප්‍රථම මුල, මැද, අග සහිත සුසාධිත සිනමා පටයක් ලෙසයි.
බටහිර අහසින් පායපු මෙම දීප්තිමත් සිනමාව නැමැති තාරකාව ශ්‍රී ලංකා අහසේ පායන්නේ ඉන්දියානු ආභාෂය ඇතුවයි. කඩවුණු පොරොන්දුවෙන් ආරම්භ වූ ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය දකුණු ඉන්දියානු සංස්කෘතික අනන්‍යතාවයන් සමග ගොඩ නැගුණු සිනමාවක් විය. කතා තේමාවන්, ඇඳුම් පැළදුම්, කොණ්ඩා මෝස්‌තර, කතා විලාසය, රඟපෑම්, ගීත සහ සංගීතය වැනි සියළුම සිනමාත්මක උපාංග ඉන්දියානු ආභාශයෙන් සැදුම් ලත් දේවල්ය. බටහිරෙන් ආභාෂය ලද ඉන්දියානු අනන්‍යතාවය සිනමා රූපය තිරය මත සලකුණු කල සත්‍යජිත් රායි මෙන් ලාංකික අනන්‍යතා රූපය සිනමා තිරය මත මුද්‍රා තබන්නට “රේඛාව ” හරහා ලෙස්ටර් ජේම්ස් පීරිස්ට හැකිවිය. රේඛාවෙන් ආරම්භ වූ මේ ලාංකික අනන්‍යතා සිනමාවට අදවන විට විවිධ ඉසව් පසුකර ඇතත්, පූර්ණ කලාත්මක හෝ පූර්ණ සම්භාව්‍ය දාර්ශනික සිනමාවක් ගොඩනගන්නට අසමත් වුවත්, මා ඉහතින් සඳහන් කල ආකාරයේ කලාත්මක ශානරයට අයත් සිනමාවක් නිර්මාණය කරන්නට උත්සාහ කලේ ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර කියන සිනමා නිර්මාණ කරුවන්ය. රහස් කියන කඳු සිනමා කෘතිය හරහා මේ සිනමා නිර්මාණ කරුවන් අතරට අලුතෙන්ම එකතු වූ නම ජගත් මනුවර්ණයි. බොහෝ දෙනෙක් රහස් කියන කඳු සිනමා කෘතිය Black Comedy හා Classical කියන සිනමා ශානරයන් මත පදනම් කරගෙන අර්ථකථනය කරන්න උත්සාහ කලත්, මෙම සිනමා කෘතිය අයත් වන්නේ රූපික සිනමාවට Metaphor Movie සහ ප්‍රති ආඛ්‍යාන සිනමාවට Anti Narration Movie කියලයි මගේ අදහස. රූපික සිනමාව කියන්නේ යම් සිදුවීමක්, දර්ශන තලයක් හෝ යම් චරිතයක් එම රූප රාමුවට කිසිසේත්ම ඓන්ද්‍රීය සම්බන්දයක් නැති චරිතයක් හෝ දර්ශනයක් රූප රාමුවට එකතු කිරීමෙන් එම සිනමා පටයෙන් හෝ චිත්‍රයකින් වෙනත් අර්ථ සමුදායක් මතු කිරීමට උත්සාහ කිරීමයි.
ලංකාවේ නම් මේ රූපික කියන සිනමාව තිරය මතට ගෙන ආවේ ජී. ඩී. එල් පෙරේරාගේ “දහසක් සිතවිලි ” ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක්, තුන්වෙනි යාමය, ධර්මසේන පතිරාජගේ “ස්වරූප ” අශෝක හඳගමගේ අසන්ධිමිත්තා, විමුක්ති ජයසුන්දරගේ සුළඟ එනු පිණිස, හා අහසින් වැටෙයි කියන සිනමා නිර්මාණ හරහායි.ජගත් මනුවර්ණගේ රහස් කියන කඳු සිනමා කෘතියද අයත් වන්නේ රූපික සිනමාව කියන මේ සිනමා ශානරයටයි කියන එක තමයි සිනමාව සම්බන්දව මගේ හැදෑරීම් කලාපය ඇතුලේ මගේ දැනුමට අනුව වැටහෙන්නේ.
ප්‍රති ආඛ්‍යාන සිනමාව කියන්නේ සම්භාව්‍ය සිනමාවට සහ කලාත්මක සිනමාවට ප්‍රතිපක්ෂව ගොඩනැගුණු සිනමා ශානරයක් වගේම රූපික සිනමාවේ බොහෝ ලක්ෂණ මෙම සිනමාව තුලින් දැකගන්නට පුළුවන්. ප්‍රති ආඛ්‍යාන සිනමාවේ මූලික ක්‍රියාවලිය තමයි මූලික රූප සැලැස්ම Archetype සම්භාව්‍ය සිනමාවට වෙනස්ව සංස්කරණය සඳහා රූපගත කිරීම Shooting For Editing කියලා සරළව කියන්න පුළුවන්. රූපික සිනමාව සහ ප්‍රති ආඛ්‍යාන සිනමාව කියන මේ ශානරයන් දෙක තුළ සමාන ලක්ෂණ තිබෙන අතර, දෘෂ්ටිමය සහ රුපමය වෙනස්කම්ද තිබෙනවා. මට අනුව රහස් කියන කඳු සිනමා කෘතිය ප්‍රධාන වශයෙන් අයත් වෙන්නේ රූපික සිනමා ශානරයටයි. රහස් කියන කඳු සිනමා පටයේ ප්‍රධාන තේමාව වී ඇත්තේ ලංකාවේ එක්තරා කාල පරිච්ඡේදයක ඉතා බිහිසුණු වැලඳෙන රෝගයක් රටපුරා ව්‍යාප්ත වීමෙන් එම රෝගය වැළදීමෙන් ඇතිවෙන මානසික රෝගයක් නිසා තරුණ තරුණියන් සියදිවි නසාගන්නා බවත්, එම රෝගය මැඩ පැවැත්වීමට රජය විසින් යොදවා ඇති රෝග මැඩ පැවැත්වීමේ විශේෂ බලකායක් වටාය. මේක තමයි රහස් කියන කඳු සිනමා පටයේ ප්‍රධාන ආඛ්‍යාණාමය ආකෘතිය Narrative Form ලෙස ප්‍රේක්ෂකයට දනවන්න උත්සාහකර ඇත්තේ. ඒ වගේම එහි ඇති අන්තර්ගතය Content සිනමාත්මකව හා රූපයට නගන්නට උත්සාහකර ඇති ආකාරය සැබවින්ම නිර්මානශීලීයි. කතාවේ ආඛ්‍යානමය ආකෘතිය එසේ වුවත්, මෙහි ඇති අන්තර්ගතය ගැබව තිබෙන්නේ 88,89 කාලය තුළ ඇතිවූ සමාජ හා දේශපාලන වටපිටාව පිළිබද ලාංකීය සමාජය වසාගත් අති භීෂණ ප්‍රචණ්ඩත්වයේ Violence සංසිද්ධීන් දාමයක් පදනම් කරගෙනයි.
ඓතිහාසිකව ගත් විට ප්‍රචණ්ඩත්වය කියන වචනය බොහෝ දුරට ආදේශ වී ඇත්තේ මානසිකව නොදියුණු මිනිසුන් අතර ඇතිවූ ම්ලේච්ඡ ගැටුම් හා ක්‍රියාවන් පිළිබද සමාජ අපචාරයන් ලෙස වගේම එය දේශපාලන අරුතින් ගත්විට ප්‍රචණ්ඩත්වය කියන්නේ බලයේ පරම ස්වභාවයක් ලෙසද අරුත්ගන්වයි. රටක සමාජයක පවතින ඌන සංවර්ධන ක්‍රියාදාමයන් නිසා ඇතිවෙන අපේක්ෂා භංගත්වයන් වගේම, ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම නොදියුණු සංස්කෘතීන් තුළ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීම සාමාන්‍ය දෙයක්. රහස් කියන කඳු හරහා ප්‍රකාශමාන වන්නේ ලාංකීය සමාජය තුළ ඇති සමාජ ආර්ථික, දේශපාලන හා ආගමික අසමානකම් නිසා ඇතිවූ පීඩනයන් සමාජ කණ්ඩායම් අතරින් සාමුහිකව මුදා හැරුණු ප්‍රචණ්ඩත්වයයි. එම පීඩනයන් හා ප්‍රචණ්ඩත්වයන් රූපිකව සිනමාවට නගන්නට ජගත් උත්සාහකර ඇති ඇන්දම ඉතාමත් නිර්මානශීලීයි වගේම සිනමාත්මකයි.
චිත්‍රපටයේ කියෙවෙන දේශපාලන දෘෂ්ටිමය තලය සංකල්පීය රූපිකව Imagist රූප සරණියක් ලෙස ගොඩනගන්නට සිනමා කරුවා විසින් කර ඇති උත්සාහය මිනිස් අවිඥානය පදනම් කරගෙන නිර්මාණය කල මනෝනාට්‍යයක් Psychodrama හා සමානයි. මනෝනාට්‍යයක ප්‍රධාන ලක්ෂණය වන්නේ එහි රඟපාන චරිත මානසික අරගලයන්ට මුහුණ දෙන චරිත වගේම එම රංගනය නරඹන ප්‍රේක්ෂකයින් එම අත්දැකීම් අත්විඳිනවා යයි ඔවුනුත් මානසිකව සිතීම. චිත්‍රපටයේ දෘෂ්ටිමය අනන්‍යතාවය හරහා එහි නිර්මාණ සංකල්පය Design Concept රූපමය වශයෙන් හා දෘෂ්ටිමය වශයෙන් සිනමාත්මකව ගේන්න ජගත් ගෙන ඇති උත්සාහය කෙතරම් නිර්මාණශීලීද කියනවා නම් 88,89 කාලයේ ඇතිවූ භීෂණ සංස්කෘතියේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ව්‍යාජ ස්වරුපයෙන් එහි ඇති ඛේදණීයත්වය අතිශෝක්තියෙන් හා විකෘතිරූපීව Grotesque රූපයට නගන්නට අරගෙන තිබෙන උත්සාහයත්, ග්‍රාම්‍ය සංස්කෘතිය තුළ දේශපාලන සවිඥානිකත්වයක් නැති ගැමියන්ගේ ඛේදවාචකයත්, බෞද්ධ චින්තනය තුළ ඇති සද්භාවවෙදී Ontological යතාර්ථවාදී ජීව ගුණය සමහර භික්ෂුන් විසින් උල්ලංගනය කරන ආකාරය සිනමා රූපිකව කර ඇති ආකාරය ඉතාමත් නිර්මානාත්මකයි.
මෙම ලිපියේ මාතෘකාව ලෙස මා ගත්තේ නිහඬ කඳු අතර සැඟවුණු අනීතික මිනිස් සංහාරය Hidden Mascare of Extra Judicial Killing කියන මාතෘකාවත්, උප මාතෘකාව ලෙස ගත්තේ අහේතුක භීතිය Corprophobia කියන මනෝවිද්‍යාත්මක සංකල්පයයි. ලෝකයේ බොහෝ රටවල තමන්ගේ බලය තහවරු කරගැනීම සඳහා රජයන් ඒවා සුජාත කිරීමට අර්ධ හමුදා ඒකක මගින් අනීතික මිනිස් ඝාතනයන් විශාල ප්‍රමාණයක් ලෝකයේ බොහෝ රටවල සිදුකරන අතර, ශ්‍රී ලංකාව තුලද එවැනි මිනිස් සංහාරයන් විශාල ප්‍රමාණයක් සිදු කෙරිණි. මේ අනීතක මිනිස් සංහාරයන් යටින් අහේතුක භීතියක් නිර්මාණය කරන එක බල දේශපාලනයේ ප්‍රධානතම ලක්ෂණයයි. මෙම අනීතික මිනිස් සංහාරයන් හා අහේතුක භීතීන් ගැන රූපිකව හා සිනමා භාෂාත්මකව රහස් කියන කඳු සිනමා කෘතිය තුලින් ප්‍රකාශ කරන්නට ජගත් මනුවර්ණ විසින් කර ඇති උත්සාහය ලාංකික සිනමාවට නව මානයක අත්දැකීමකි.
සාමාන්‍යයෙන් අපි සිනමා කෘතියක් නරඹන විට අපගේ ෆැන්ටසි හා රෝමාන්තික ආශාව එහි ඇති චරිත හා සිද්ධි සමග කේන්ද්‍රගත වී එයත් සමග අනන්‍ය වෙයි. එහෙත් රහස් කියන කඳු සිනමා කෘතිය හරහා කරන්නේ අපගේ ෆැන්ටසි ආශාව කණ්ඩනය කර, අපගේ ප්‍රාග්මය අවිඥානික ආශාවේ වරදකාරිත්වය හෘද සාක්ෂියක් බවට පත්කිරීමයි.
ඉතිං, අහේතුක භීතියේ සැඟවුණු අනීතික මිනිස් සංහාරයේ කොටස්කරුවන් අපි අපිම නොවේදැයි නිහඬ කඳු අතරින් නැගෙන දෝංකාරය අපගේ ඇතුල් හදට තට්ටුකර අපෙන්ම අසයි,