මිනිසත් බවේ ඇති විශිෂ්ටතාවය නම් ඒ ජයග්‍රාහි අරගලයට පිවිසීමයි

Share post:

ජීවිතයේ සමාරම්භක අරමුණු වැරදී ගිය හෙයින් දුෂ්කර ජීවන වෘත්තියක් තෝරාගත් තරුණයෙක්. අකාරුණික ඉරණමක් විසින් වෙනස් කරන ලද සිය දෛවය අනුව සියල්ල අහිමි වූ තරුණ ගැහැණියක් ඉරණම් ගමනක් යනු අපට රූපාවලියක් ලෙස නවකතාව තුල දිග හැරේ. රාත්‍රි මීදුම් බා ඇති කඳුකර පාරක මළමිනියේ හිමිකාරිය සමග යන ඒ ගමන තුල පොතේ නොලියා ඇතැත් වන රකුසන් , උලමන් අපට දිස්වේ. ගමනාන්තය යනු පන තියෙන ‘මළවුන්ගෙන්’ සමන්විත දුක්ඛාගාරයකි. සමස්ත පරිසරයම හේබා ගිය තෙත බරිත මූසල එකකි. හඬ හඬා නාදුනන තරුණයා සමග කන්ද තරණය කළ තරුණිය සිය දෙවන ජීවන ඉරණම සොයා ඒ පරිසරයෙන් මතුවන්නේ වර්ණවත්වය. සිය අවසාන යුතුකම ඉටුකොට වද දෙන සිය හෘද සාක්ෂියෙන් නිදහස්ව ඈ අනාගතය වෙත පිවිසේ.

චූලාභයගේ නවතම නවකතාව වන ප්‍රේම සූත්‍ර ගද්‍ය රචනාවකින් ඔබ්බට ගිය නවකතාමය සිනමාවක් බවට පත්ව කියවන අපට අපූර්වත්වයක් කැඳවයි. ඒ සියලු චරිත හා පරිසරයන් පාදක චරිතයන්ගේ සමාජ වටපිටාව අපටම පරිකල්පනය කරගනිමින් නවකතාව රසවිඳිය හැකිය.
ප්‍රේම සූත්‍ර සඳහා පාදක කතා තේමාව නැවුම්ය. කතාන්තරයක් ඉල්ලා සිටින බහුතර පාඨකයින්ගේ මනදොල අපූරුවට පුරවන්නේය.
සාලිය වඩිගරත්න හා ඈන් පවිත්‍රා නවරත්න වනාහි සමාජයීය වශයෙන් පීඩිතයෝය. එය ආර්ථික පීඩිතයෙකුට වඩා ඛේදනීය තත්වයකි. සැබෑ මිනිසුන් ලෙස
සමාජයට මුහුණ දිය නොහැකි වෙනත් පීඩිත බවකින් ඔවුන් තෙරපෙයි. මනුෂ්‍ය සබඳතාවයන්හි පූර්ණ චිත්‍රය අවබෝධ නොකර ගන්නා ම්ලේච්ඡත්වය විසින් ස්ත්‍රියක වූ පවිත්‍රා පෙළයි. අවංකත්වයේ ප්‍රතිමානයන් අපරාධකාරිත්වයේ ප්‍රතිමානයන් ලෙස ගන්නා සමාජය උපාධිධාරී සාලිය මිනී කපන්නෙකු බවට පත්කරයි.

එහෙත් නවකතාව තුල කදිමට නිරෑපණය වන්නේ ඒ සියලු පීඩාවන්ගෙන් යටපත් කළ නොහැකි ජීවිත්‍යයේ ආඪ්‍යත්වය සොයා යන තරුණ ජීවිත දෙකක් වරෙක වෙන්වමත් තවත් වරෙක එක්වමත් කරන අරගලය පාඨකයාට ආශ්වාදයක් ජනනය කරයි.

ශූර නවකතාකරුවෙකු ලෙස පාඨක ලෝකයද පිනවමින් නවකතාකරණයේ නියර මත පිහිටා නිර්මාණ කරණයේ යෙදෙන අතීතයක් චූලාභයට හිමිය. එහිම තවත් පියවරකි ප්‍රේම සූත්‍ර.

එකක් කිව යුතුය. මම මෙහි නිරෑපිත දේශපාලනික ගොඩනැගීමට එකඟ නැත. ඒ එකඟ නොවීම එන්නේ මගේ දේශපාලන දැක්ම තුළිනි. චූලාභය එය ඔහුගේ දැක්මට අනුව ලියා ඇත. අරගල කිසිවක් ඕපපාතික නොවේ ය යන්න මගේ දැක්මයි. ඒවා පැන නැගීමට සමාජ දේශපාලන පසුබිමක් තිබේ. ශිෂ්‍යයෝ පාරට බසින්නේත් , උතුරේ තරුණයින් ආයුධ අතට ගන්නේත් සමාජ දේශපාලන ක්‍රියාකාරිත්වයේ ‘වැරදුනු කුරුමානම්’ නිසා යයි මම විශ්වාස කරමි.

කෙසේ වෙතත් ප්‍රේම සූත්‍ර යනු සමාජ ආර්ථික දේශපාලන කාරණා නිසා ශෝචනීය බවේ අගාධයේ සිට ජයග්‍රහණයේ දිසාව වෙත අප්‍රතිහත අරගලයක යෙදෙන මිනිසෙකුගේ හා ගැහැණියකගේ කතාවය. ඔවුන් දෙදෙනා පමණක් නොව ඊට වඩා පසුපස චරිතවල පවා ඒ ගුණය පවතී.
මිනිසත් බවේ ඇති විශිෂ්ටතාවය නම් ඒ ජයග්‍රාහි අරගලයට පිවිසීමයි. චූලාභය එය කදිමට සිත්ගන්නා සුලු ආකාරයකින් ගොතා ඇත.
ප්‍රකාශනය; සුරස

චන්ද්‍රරත්න බණ්ඩාර

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...