කවියෙකුට ඉන්න ප්‍රධානම සතුරා තමයි භාෂාව. භාෂාව ඉඩදෙන්නෙ නෑ කවියාට එයාට ඕන දේ කියන්න. භාෂාව හදන්නෙ කවියා ලවා එයාට ඕන දේ ලියවා ගන්න. ඉතින් කවිය භාෂාව එක්ක හැප්පෙනව. ඒ හැප්පීම කවිය වෙනව. ඒත් කවියට ලියන්න ඕන දේයි ලියවෙච්චි දේයි අතර හැමවෙලේම පියමං කළ නොහැකි දුරක් තියනව.
මෙතනදි කවියෙකු ඉදිරියේ මාර්ග දෙකක් තියනව. පළවෙනි එක භාෂා සටන ජයග්‍රහණය කිරීම. ඒක පහසු නෑ. ඒක ජයග්‍රහණය ළංවෙන්න ළංවෙන්න හදද්දිම ආයම දුරට යනවා. හරියට බුදුහාමුදුරුවො පස්සෙ අංගුලිමාල පැන්නුව වගේ… දෙවෙනි එක තමයි භාෂාව අත්හැරීම… මේක සටන් කරනවාට වඩා පහසුයි. ඒත් අමාරුයි. මොකද අත්හරින්න ලෝබ හිතෙනව. කොහොමත් අත මිටමොලවාගෙන මවුකුසින් එළියට ආපු අපට ඒ මිටමොළවාගත් අත ආයම දිගහැරල අත්හරින්න අමාරුයිනෙ.
මෙන්න මේ ‘භාෂා අත්හැරීම’ ඉතාම උපේක්ෂා සහගතව කරන කවියා තමයි ඉසුරු චාමර සෝමවීර. ඉසුරුගෙ කවිය ඇතුළෙ භාෂාව නෑ. තියෙන්නෙ කවිය විතරයි. භාෂා පබගාල ලිහ ලිහා ඉන්න ඕන නෑ ඉසුරුගෙ කවිය කියවන්න… හරියටම කිව්වොත් ඉසුරුගෙ කවිය කියන්නෙ කවියත් නෙමෙයි; කවියෙත් ආත්මය විතරයි. එහෙම භාෂා අතහැරීමක්!
ඇත්තටම ඉසුරු කියන්නෙ භාෂාවට විමුක්තිය අත්පත් කරල දෙන කවියෙක්…
නිහඬවම ඔබ
යම් ගැඹුරු සිතුවිල්ලක
අණවමි මල්වලට
මගේ හඬ ගන්නයි
ඒත් ඒවාද නිහඬයි
ඔබෙ අණින් දොඩමලු මල්
මගෙ අණට ගොළු ඇයි?
පැද යමි නෞකාව
අවන්හල් තේ බඳුනෙහි
සැඩය මේ කුණාටුව
බිඳී ඇත දැනටමත්
කුඹ ගස
(කුණාටු, පි. 12)