‘මට රට යන්න දෙන්න’ – සනත් නිශාන්ත : ඒකට සාධාරණ හේතුවක් පේන්නෙ නෑ – අභියාචනාධිකරණය

Share post:

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරාට විදෙස් ගත වීමට අවසර ලබා දෙන ලෙසට කළ ඉල්ලීමක් හලාවත මහාධිකරණය ප්‍රතික්ෂේප කිරීමට අදාළ ව ඔහු විසින් ගොනු කර තිබූ ප්‍රතිෂෝධන පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ද ප්‍රතික්ෂේප කෙරිණි.

ඔහුගේ ඉල්ලීමට ඉඩදීමට තරම් සුවිශේෂී හේතුවක් ඉදිරිපත්ව නැති බැවින් මෙම ප්‍රතිෂෝධන පෙත්සම ප්‍රතික්ෂේප කරන බව පසුගිය 06 දින තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අධිකරණය සඳහන් කර ඇත. විනිසුරු පී. කුමාරරත්නම්ගේ එකඟත්වයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරු සම්පත් බී. අබේකෝන් විසිනි.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් ව සිටි ධනසේන සුරසේනට 2008 වසරේ නොවැම්බර් 24දා හෝ ඊට අසන්න දිනකදී කරුක්කුලිය, ජයතිලකාරාම විහාරස්ථානයේදී පහරදී ඔහුගේ රාජකාරිවලට බාධා කළ බව කියමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිෂාන්ත පෙරේරාට සහ ඔහුගේ සහෝදරයකු වන ජගත් සමන්ත පෙරේරාට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩු පවරා තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 140, 146 සමග කියවියයුතු 323, 146 සමග කියවිය යුතු 344, 32 වගන්තිය සමග කියවියයුතු 323 සහ 314 යන වගන්ති යටතේ චෝදනා හයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල කර ඇත.

අදාළ චෝදනාවලට තමන් නිවැරදිකරු බවට සනත් නිශාන්ත ප්‍රකාශ කිරීමෙන් පසු නඩු විභාගය ආරම්භවී 2023 ජූලි 31දා පැමිණිල්ලේ නඩුව අවසන් කර තිබෙන බව අභියාචනාධිකරණය ලබා දුන් නියෝගයේ සඳහන් වේ.

තමන්ට පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස් ගතවීමට තිබෙන බැවින් මෙම නඩුවට අදළ ව පනවා ඇති විදෙස් ගමන් තහනම 2023 ජූලි මස 23 දින සිට අගෝස්තු මස 07 වැනිදා තෙක් ඉවත් කරන ලෙස 2023 ජූලි 11දා සනත් නිශාන්ත මහාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති අතර, මහාධිකරණ විනිසුරුවරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. නඩුව තීරණාත්මක අවසානයකට පිවිසෙද්දී විදෙස් ගතවීම සඳහා කරන මෙම ඉල්ලීම අත්‍යවශ්‍ය ඉල්ලීමක් නොවන බැවින් ඒ සඳහා විරෝධය පළ කරන බවට රජයේ නීතිඥවරයා කළ කරුණු දැක්වීමක් පිළිගැනීමෙන් පසු මහාධිකරණ විනිසුරුවරිය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

මහාධිකරණ විනිසුරුවරියගේ නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයට ප්‍රතිෂෝධන පෙත්සමක් ඉදිරිපත් කරමින් සනත් නිශාන්ත සඳහන් කර තිබුණේ තමන් මීට පෙර ද අධිකරණයේ අවසරය ඇතිව විදේශගතවී නැවත පැමිණි බවයි. ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයකු වන තමන්ට අධිකරණය මගහැරීමට උවමනාවක් නැති බව ඔහු සඳහන් කළේය.
පෙත්සම්කාර සනත් නිශාන්ත විදෙස් ගත වීමට අදහස් කළ දිනය පසුවී ඇති බවත්, 2024 ජනවාරි මාසයේ දිනයක එම ගමන ඔහු යෑමට ඉඩ ඇති බවත් පෙත්සම් විභාගයේදී කියැවිණි. විදෙස් ගතවීමට අදාළ ව අධිකරණයට ඉදිරිපත් කළ ලේඛනවලින් පැහැදිලි වන්නේ දේශපාලන පක්ෂ සංවිධාන කටයුතුවලට ඔහුට විදෙස් ගතවීමට ආරාධනා ලැබී ඇතිබව යැයි ද ප්‍රකාශයට පත් කළ නියෝගයේ සඳහන් වේ.

කෙසේ වෙතත් ජනවාරි මාසයේදී විදෙස් ගත වන්නේ නම් ඊට පෙර මහාධිකරණ නඩුව අවසන් කිරීමට පෙත්සම්කරු ඉල්ලීමක් කරන්නේ නම් එය සලකා බැලීමට පවා හැකියාව තිබිය හැකි බැවින් ඔහුට විදෙස් ගතවීමට අවසර නොදීමට මහාධිකරණ විනිසුරුවරිය ගත් තීන්දුව සමග එකඟ නොවීමට තරම් හේතුවක් නැතැයි අභියාචනාධිකරණය සඳහන් කරයි.
ප්‍රතිෂෝධන අධිකරණ බලය ලබා ගත හැක්කේ සුවිශේෂී අවස්ථාවලදී සහ කිසියම් පාර්ශ්වයකට බලවත් අගතියක් වන අවස්ථාවකදී පමණක් බවත්, ඒ අනුව මෙම ප්‍රතිෂෝධන පෙත්සමට අදාළ සුවිශේෂී කරුණක් ඉදිරිපත් වී නැති බවත් සඳහන් කළ අභියාචනාධිකරණය, සනත් නිශාන්තගේ ප්‍රතිෂෝධන පෙත්සමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

Related articles

මෝදිගේ සංචාරයේදී සිදු වූ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ කතාව ඉන්දීය විදේශ ලේකම් කියයි !

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ඩොලර් බිලියන 1.4 ක පමණ ණය...

මාරවිල මහෙස්ත්‍රාත් කොටු කළ වෙස්වලාගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ මෙහෙයුම !

ඉතිහාසයේ මුල් වරට අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකු පෞද්ගලික නිරීක්ෂණයකින් පසු මහෙස්ත්‍රාත්වරයකුගේ වැඩ තහනම් කරයි. මෙසේ...

ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපහාස කරන පොලිස් වධහිංසාව : ආණ්ඩුව හරි පාරට වැටෙන්නේ කවදාද?

වැලිකඩ පොලිසිය මගින් පසුගිය 01දා අත්අඩංගුවට ගත් 25 හැවිරිදි බදුල්ල, මීගහකිවුලේ පදිංචි තරුණයකුට වධහිංසා කර ඇති බව අනාවරණය...

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි !

අධිකරණයට අපහාස කිරීම පිළිබඳව අලුතින් සංවාදයක් ඇති වී තිබේ. ඊට හේතු වී තිබෙන්නේ පසුගිය මාර්තු 28  වැනිදා පුත්තලම...