ශත වර්ෂයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාලනයට දායක වූ ගම්මුලාදෑනි ක්‍රමයේ පැවැති සියලුම සුබවාදී අංග බිඳවැටී තිබේ. ගම ගැන බලන්නට ගම්මුලාදෑනියා නැත. ඔහු වෙනුවට ගමට අනුයුක්ත කළ ග්‍රාම නිලධාරි ද නැත. පළාත් පාලන නියෝජිතයා ද නැත. ගම අරාජික වී තිබේ. ගමේ සියලු කටයුතු සිදු වන්නේ බලපුළුවන්කාරයින්ගේ, හයිකාරයන්ගේ ඕනෑ එපාකම් අනුවය. ග්‍රාමීය මුග්ද භාවයෙන් පෙළෙන මිනිස්සු තමන්ගෙ බුද්ධියේ දිග පළල අනුව තීරණ ගනිති කටයුතු කරති.
ගමට මග පෙන්නන්නට කිසිවෙක් නැත.
ග්‍රාමීය ප්‍රභූවරුන් ලෙස සැලකූ වෙද මහත්තයා, ඉස්කෝලේ ලොකු මහත්තයා , තවදුරටත් සමාජ සංස්ථාවට වගකියන්නෝ නොවෙති. වෙද මහතා අවලංගු කාසියක් බවට පත්විය. අතන මෙතන දේවාල අටවාගෙන සිටින කපුවෝ ඊට වඩා බලවත්තුය. අම්මලා තරුණ දියණියන්ගේ කළු කුමාර දිස්ඨිය අරින්නට දියණිය දේවාලයේ කපුවා ට බාර දෙති. පන්සලේ ලොකු හාමුදුරුවෝ ආධ්‍යාත්මික මෙහෙවර අමතක කර භෞතික සංවර්ධනය අතට ගෙන තට්ටු පිට තට්ටු ගොඩනැගිලි ද , පන්සල වටා වළාකුළු බැමිද බඳිති. කඨින පිංකමට ලක්ෂ විස්සක් එකතු කරන තුණ්ඩුව එවන්නෙත් නැති බැරි හිඟන්නාගේ නිවසටය.
අරාජික වූ ගමේ තත්ත්වය ඉතා බරපතලය. රාජ්‍ය බලයේ අවසන් පුරුක වූ ග්‍රාම නිලධාරීහු ගම වෙනුවෙන් පෙනී නොසිටිති. වාරිමාර්ග ඇළ දොළ අමුණු කැඩීබිඳී කුඹුරු පුරන් වී තිබේ. වැව පළිබෝධයන්ගෙන් වැසී ඇති අතර ඉතිරිව තිබෙන්නේ වැවේ නාන තොට පමණි. ගමට යාබද වන රක්ෂිත දේශපාලන සම්බන්ධකම් ඇති ව්‍යාපාරිකයින් අල්ලාගෙන අලි වැට ගසා බඩඉරිඟු වගා කරති. අලින් ගම් වැදී මිනිසුන් හා ඔව්නොවුන් මරා ගනිනිති. මේ කිසිවක් ගැන බලන්නට ආණ්ඩුවක් ගමේ නැත.
මිනිස්සු නිවසින් කොපමණ ඈතින් වගාබිම තිබුණත් හිතේ හැටියට කම්බි ඇද විදුලිබලය යොදති. ඉකුත් සතියේ
පියෙකු හා තුන් හැවිරිදි දියණියක වගා බිමට ඔවුන් විසින්ම අදින ලද විදුලි රැහැන්වල පැටලී මරණයට පත්වූහ. ඒ පවුලේ ඉතිරි දරු පැටවුන් අනාථ වූහ. අනවසර විදුලි රැහැන්වල පැටලී තරුණ ජීවිත විනාශ වූ අවස්ථා එකක් දෙකක් නොවේ. කුඹුරට ගොවිබිමට විදුලි රැහැන් ඇදීම ගම්වල සාමාන්‍ය පුරුද්දක් බවට පත්ව තිබේ.
ඊයෙ ගම්මුන් විසින් අදින ලද අනවසර විදුලි රැහැනක පැටලී දැවැන්ත දළ ඇතුන් දෙදෙනෙකු මරණයට පත්විය. ඒ ගැන වග කියන්නට කෙනෙක් නැත. තායිලන්තය වැනි රටක නම් අද ආණ්ඩුවේ ලොක්කෝ එතනය. ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට කටමැත දොඩන ආරක්ෂක අංශවල ලොක්කෝ මර උගුල් ඇටවීම වළක්වන්නට ක්‍රියා කරන්නේ නැත. ආණ්ඩුවේ නියෝජිතයින් ගමට එන්නේ අලියෙක් හෝ මිනිහෙක් මළහොත් මරණ පරීක්ෂණය පවත්වන්නටය. ග්‍රාම නිලධාරීන්ට ගමේ තිබුණු අධිකාරී බලය බල්ලාට ගොස් ඇත. දීමනාවක් ලැබේ නම් ඡන්ද නාමලේඛන පිරවීම ඔහු දේවකාරිය සේ කරයි.
ඓතිහාසික රාජධානි සමයේ පමණක් නොව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේ මේ රටේ ගම් මෙවැනි අරාජික භාවයකට පත්වූයේ නැත. අප කතා කරන්නේ සාම්ප්‍රදායික ගමේ සංස්කෘතික සාරධර්ම බිඳවැටීම පිළිබඳව නොවේ. ඒ ගැන කතා කරන්න නම් වෙනම පොතක් ලියන්නට සිදු වේ.
මේ කතා කරන්නේ භෞතික වශයෙන් ගමට සිදුවී තිබෙන වින්නැහිය ගැනය.
ගමේ විධිමත්ව සිදු කෙරෙන එකම දේ යටිබිම්ගත රාජ්‍ය අනුග්‍රහය ඇතිව මත්ද්‍රව්‍ය බෙදා හැරීම පමණි. පවුලේ එකම කොල්ලා කුඩු වලට ඇබ්බැහි වීම නිසා කර කියාගත හැකි දෙයක් නොමැතිව අම්මලා හිසේ අත් ගසා ගනිමින් අඳෝනා දෙති.
කොටි සංවිධානය යටතේ උතුරු නැගෙනහිර පාලනය පැවති සමයේ එම පලාත් වල ගොඩනැගී තිබූ අරාජික ස්වභාවය මේ වන විට ලංකාවේ බොහෝ ගම්වල දකින්නට තිබේ. දරුවන් පමණක් නොව වැඩිහිටියෝ ද ගර්භණී මාතාවන් ද මන්දපෝෂණයෙන් පෙළෙති. කුලී රැකියාවක් කර ගන්නට නැති නිසා
දරුවන්ට කවන්නට පැපොල් ගෙඩියක්, කොල මැල්ලුමකට වැඩි දෙයක් ගම්වල ඉතිරිවී නැත.
දොස්තරලා රට හැර ගොස් ඇති නිසා බොහෝ ග්‍රාමීය රෝහල් පවතින්නේ නම ට පමණය. පාරවල් කැඩී ඇති නිසා වෙනදා පැමිණි බස් එක ගමට එන්නේ නැත. ත්‍රීවිල් වලට දෙන්නට සල්ලි නැති නිසා ලෙඩ්ඩු මාරයා පැමිණ කැඳවන් යනතුරු ගෙදර ඇඳේම වකුටු වී සිටිති.
මේ මොනවා නැතත් වැට් බද්ද ගමට පැමිණ තිබේ. සෑම බද්ද කින්ම බොටුව මිරිකන්නේ පොඩි මිනිසාගේය. මීට වඩා විපතක් ගමකට පැමිණිය හැකිදැයි අපි නොදනිමු. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ගමේ පාලනය අතහැර තිබේ.
මාතලේ මිනිස්සු බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව 1948 කැරලි ගැසුවේ මෙවැනිම පීඩනයකට මුහුණ දී සිටියදීය. යටත්විජිත ආණ්ඩුව ඔවුන් මත මරාල බද්ද, බලු බද්ද, ආදී විවිධාකාර බදු පටවන්නට වූ නිසාය. වර්තමානයේ පවතින පුදුමය නම් මෙවැනි තතවයන් යටතේ මිනිසුන් ආණ්ඩුවට විරුද්ධව කැරලි නොගැසීමය.