ගෝඨා – මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණ බොරුව : බලය වෙනුවෙන් ඔවුන්ට කළ නොහැක්කේ කුමක්ද ?

Share post:

නාමල් කුමාර නම් හදිසියේ මතු වුණු පුද්ගලයකු සිදු කළ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් වූ නඩුවෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීමේ හේතුව මත නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා නිදහස් කිරීමට නීතිපති උපදෙස් ලැබී තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නාලක ද සිල්වාට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල විය. ඉන්පසු අත්අඩංගුවට ගැනුණු ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඊට අදාළව සිදුකෙරුණු විමර්ශනවලදී එල්ල වූ චෝදනා තහවුරු කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන් අධිකරණයෙන් ඔහුට ඇප හිමි විය.

ඉන්පසු ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත 2023 මාර්තු මස ඔහු ව නැවත සේවයේ පිහිටවූ අතර, එහිදී වැටුපෙන් අඩක් පමණක් ලබාදීම, බස්නාහිර පළාතෙන් පිටත සුදුසු රාජකාරියක යෙදවීම සහ ඔහුට චෝදනා එල්ල වූ නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකිරීම යන කොන්දේසි පැනවීමට ද කොමිසම කටයුතු කර තිබිණි. සේවයේ පිහිටුවීමෙන් පසු ඔහු පුත්තලම දිස්ත්‍රික්කය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කෙරිණි.

2018 සැප්තැම්බර් 12දා නාමල් කුමාර විසින් හදිසියේ මෙම ප්‍රකාශය කරන ලදි. ඉන්පසු රාජ්‍ය මාධ්‍ය විසින් මෙම ප්‍රකාශය වාර්තා කළ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම වාර්තා පදනම් කරගෙන කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කෙරිණි.

‘ජනාධිපති සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සකස් කරන ලද පිටපතට අවශ්‍ය සාක්ෂි කඩිනමින් සකස් කරන ලෙස ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවේ (එවකට පැවතුණේ ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්වීමෙන් ආන්දෝලනාත්මක තත්තවයකට පත් ආණ්ඩුවකි.) ඉහළම පාර්ශ්වයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කරමින් සිටී.

ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නීතිඥයන් කිහිපදෙනකුගේ උපදෙස් ලබාගන්නා ලෙසද අදාළ පාර්ශ්වය අවධාරණය කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණයට අදාළව හඬ පට 124 ක් පරීක්ෂා කර ඇති බවත්, පුද්ගලයන් 87 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ය. එහෙත් මේ පරීක්ෂණවලදී ජනාධිපතිවරයා හෝ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව කිසිදු තොරතුරක් හෙළිදරව් වී නැති බවත්, සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පමණක් තොරතුරු හෙළිදරව් වී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ ප්‍රසන්න අල්විස් අතර දීර්ඝ කාලීන විරසකයක් තිබී ඇත. 2015 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස පත්ව ආ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නාලක සිල්වා පළමු රාජකාරිය ලෙස කර ඇත්තේ එහි සේවය කළ සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් මාරු කර යැවීමයි. ඒ තංගල්ල සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස ය. මේ සම්බන්ධයෙන් ප්‍රසන්න අල්විස් විසින් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් කර ඇත.

එසේම සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්, නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් නාලක සිල්වාගේ සුදුසුකම් පිළිබඳ ගැටළුවක් ඇති බව පවසමින් පොලිස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර ඇත. එහි සඳහන් වන්නේ නාලක සිල්වා සුදුසුකම් නොමැතිව පොලිස් දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සේවයට එක් වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් පවත්වයි. නාලක සිල්වාගේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵල සහතික මෙම විමර්ශන ඒකකයට ලැබී ඇතත්, මෙතෙක් නාලක සිල්වාගේ ඉන්දියාවේ උපාධි සහතිකය ලැබී නැති බව එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් නාලක සිල්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීමෙන් පසු, එවකට එම කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් එවකට හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන්ට ලිඛිතව දන්වා ඇත්තේ මෙම නිලධාරියාට පළිගැනීම් පිළිබඳ චෝදනා රැසක් ඇති නිසා ඔහුව වෙනත් තැනකට මාරු කරන ලෙසයි. එහෙත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත්වීමෙන් එම ලිපියට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මේ පරීක්ෂණයට අදාළ බී වාර්තාවේද මේ කරුණු ඇතුළත්ය. එම නිසා කෙසේ හෝ සාක්ෂි සකස් කර මෙම කුමන්ත්‍රණය ජනාධිපති සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් ලෙස තහවුරු කරන ලෙස අදාළ ඉහළ පාර්ශ්වයෙන් දැඩි බලපෑම් එල්ලවෙමින් තිබෙන බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.’

මීට අමතරව ද අප විසින් දිගින්-දිගටම සාක්ෂි සහිතව සඳහන් කරන ලද්දේ මෙය සකස් කරන ලද ප්‍රවෘත්තියක් බවයි.

  • ශාලික විමලසේන

Related articles

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...