ඉරිදාට කොළඹ සාපේක්ෂව පාළු ය. අපරභාගය විශේෂය. තව හෝරාවකින් දෙකකින් නිදහස් චතුරශ්‍රය ව්‍යායාම පිණිස සරන්නන්ගෙන් පිරෙනු ඇත. දැනට ජාතියේ පියා හට තිබෙනුයේ චීන ආධිපත්‍යයේ සළකුණක් වන නෙළුම් පොකුණ දෙස ගෝඨාමය නා තුරු දෙපෙල අතරින් බලා සිටීමය. මම ඒ බැල්මට හසුනොවී පුස්තකාල මණ්ඩලය දෙසට ඇවිදගෙන ගියේ එහි පැවැත්වෙන පාඨමාලාවක සාහිත්‍ය පරිවර්තනය ගැන දේශනයක් තිබුණ හෙයිනි. මණ්ඩලයේ පිවිසුමෙහි පෙර වරක් හමුව ඇති තරුණයෙකි. ‘අද මගෙ කවි පොතක් පිටවෙනවා.’
‘මගෙ වැඩේ හතර වෙනකං තියෙනවා. ඊට පස්සෙ ඔයාගෙ වැඩේ ඉවර වෙලා නොතිබුණොත් මම එතනටත් ඇවිත් යනවා.”
මගේ කාරිය හමාර වන විටත් ඔහුගේ කාරිය පැවතියෙන් එහි ගොඩවැදුනෙමි. ශාලාව පිරෙන්නට රසිකයන් සිටිනු දැක දැනුනේ සතුටකි. කොහොමත් කවිය මේ වසරේ ඉදිරියෙනි. සංඛ්‍යාත්මක වශයෙන් පිටවූ පොත් ප්‍රමාණය වැඩිය. දැන් කවිය අරභයා බරසාර කතිකාවත් අරඹන්නට හැකිය.
මේ තරුණ කවියාද අන් බොහෝ කවියන් මෙන්ම සංක්ෂිප්ත කවියෙහි වැඩි දක්ෂතාවක් දක්වන්නේ යයි මට ඔහුගේ කවි කියවාගෙන යනවිට හැඟිණි. තමන්ට ජීවත්වන්නට, හැර යන්නට නැතිනම් විඳවන්නට නියම කර ඇති සමාජය සමග වන ගනුදෙනුවේදී ඔවුන් බොහෝ දෙනකුට අත්දැකීම් පරාසය වනුයේ එකක්මය. ඉදින් එහිදී ඒ පොදු අත්දැකීම් වෙනස් ආකාරයකින් රසිකයා වෙත ගෙන ඒ මේ අභියෝගය ඔවුන් වෙතය. මේ ඔහු තුළ ජීවිතය යනු පිළිසකර කල හැකි දෙයක්ද යන පැණය නැගෙනා ආකාරයයි.
කාලයක් ඔප දමා සිත් තුටින් පැලැන්දූ
ගෙවුනු විට විසි කරයි පරණ යැයි සපත්තූ
ගෙවුන මුත් ඔප දමන් යළිත් ඒ සපත්තූ
අඩි ගසාගෙන තවත් අලුත් ලෙස පැලැන්දූ
මේ ඔහු ජීවිතයේ කටුක සත්‍යය තමන් හමුවේ දිස්වන ආකාරය ප්‍රතිනිර්මාණය කරන ආකාරයයි.
ලංසු තියපු ආදරය
වෙන්දේසි වෙන ලස්සන
අලුත් කඩේ
උසාවිය කෙලවරක
අප අද ජීවත් වනුයේ විද්‍යාව ඉහලින්ම රජයන්නේ යයි කියනා ලොවකය. අපේ සිහින යොමු වන්නේ අඟහරු නැතිනම් අභ්‍යාවකාශයේ තනනා හෝටලයක විවේක ගන්නා දිනක් දකින්නටය. එහෙත් අප තවමත් වාසය කරනුයේ අන්ත දරුණු මිථ්‍යා මත ගොන්නක ගොදුරු ලෙසටම බව වටහා ගන්නට පුවත් පතක මංගල දැන්වීම් තීරය කියවීමම ප්‍රමාණවත්ය. විද්‍යාව වෙනුවෙන් ඉදිකරන ගොඩනැගිල්ලකට පවා මුල් ගල තබන්නට නැකැත් සාදන රටක අපේ ජීවිත දේශපාලන සහ අහසේ ඇති ග්‍රහයන්ගේ හස්තයෙහි මිරිකෙයි.
ගවු ගනනක්
දුරින් ඉඳගෙන
කොටු දොළහක්
සිර කරගෙන
විසඳපු හැටි
මගේ ජීවිතය
සෙනසුරා…
හමුවුණා නම් උඹ
සත්තයි සිර කරනවා
හතර රියනක
ඉඩ දෙන්න
සිකුරුට
අපේ ජීවිත ඇත්තෙ බිඳී විසිරී යමිනි. තව දුරටත් එහි සම්බන්ධතාවනට ඉඩක් නැත ජීවිතයම ලාබ පාඩු බලනා ගනුදෙනුවකි. මහ ගෙදර යන ස්ථානය නෙක වර මේ ස්වභාවය නිරූපණය කරන්නකි. අම්මාගේ තුන් මාසෙ දානෙටත් කලින් යන නිර්මාණය හරහා ඔහු මේ කරුණ විමසීමට ලක් කරයි.
මහගෙදර
කුස්සියේ
ලිප ලඟ
ලුණු පොල් කට්ටෙත්
රටා අඳියි
මකුළුවෙක්
සිත් සේ
ඔහු යළිත් මේ පවුල් ඒකකයේ බිඳීයාම ගැන අන්තිම කැමැත්ත නම් කවියට විෂය කරගනියි. ජීවිතය යනු දවසින් මාසයෙන් වසරින් තීරණය වන්නක් නොව පැයෙන් මිනිත්තුවෙන් විසඳාගත යුත්තක්ව ඇති කොල්ලකාරී වර්තමානයක මානව සම්බන්ධතා යනු විහිලුවකි. ඔහු මේ කවියෙන් විමසන්නට තැත් කරනුයේ කැණි මඩළ බිඳී ගිය සැණින් නිවෙසක හට ගන්නා අර්බුදයයි.
චිතකයේ ගිනි දළුත්
නිම වුනා විතරමයි
මහගෙදර සාලයේ
රැස්වෙලා දරු පැටවු….
මේ කවියා සම්භෝගය සිත්තම් කරනා ආකාරයයි.
සඳ එළිය ගලාවිත් මල් කිනිති මත වැටිලා
අනුරාග හැඟුමන් සුසුමකින් තවරලා
සුමුදු මල් පෙති සඳ දියෙන් තෙමලා
රාත්‍රිය මේ තරම් කෙටිදැයි තරුවකින් ඇසුවා
ලංකාවේ වතුකර ජනතාව ගැන අදටත් අපට ඇත්තේ ඉතා මද අවධානයකි. ඔවුන් මේ රටට අයිති නැති පිරිසකිය යන මතය තවමත් සමාජය තුළ බලවත්ව තිබේ. මේ මිනිසුන්ගේ වේදනාවන් කෙතරම් දැයි බලන්නට අප වරක් හෝ ලැයිං කාමර යයි අප පොදුවේ හඳුන්වන ඔවුන්ගේ ජීවන කලාපයට අප පිවිසිය යුතුමය. මට මෙහිදී සිහි වන්නේ වරෙක මගේ මිතුරු වෙදුදරකු සමගින් එවන් වතු කලාපයක දිවි ගෙවනා කම්කරුවන්ගේ වැසිකිලි ගැටලුවකට විසඳුම් සොයන්නට ගිය ගමනකි. එහිදී ලද අත්දැකීම් යනු තවමත් සිත පාරන මතකයකි. කවියාගේ ගණපතිට හෑල්ලක් යන කවිය අවදි කළේ ඒ මතකයන්ය.
බේබිලත් කංකානි අයියත් වින්ද උණුසුම පපුතුරේ
කියන්නට බෑ අම්ම එක්කල වෙච්ච සිද්ධිය සනුහරේ
කෝපි මල් පිපි ලැයිම අස්සෙදි නාවද්දි පොඩි කර කලේ
එහෙවු දවසට පස්සෙ දවසෙයි පොඩි වුනේ පෙත් හත් මලේ
කියන්නට දුක කෝවිලේ දෙවි නොසිටි දිනයක සීතලේ
පූසාරි උතුමණුත් තැබුවා රතු වෙන්න කුංකුම ගෙලේ
දුකම ඉසිලූ වතු පඳුරු යට රොන් ගන්න විට මල් විලේ
අනුන්ගේ දුක් ගිය කර මත උසුලගෙන රාගිණි ජලේ
කවියා භාෂාව හසුරුවන ආකාරය ඔහු වෙතැති ඉවසීම සහ කවිය කෙරෙහි වන ආශක්ත බව කියා පායි. එහෙත් ඔහු කවියෙහි සිය වදන් සංවිධානය කරනා ආකාරය ගැන සැලකිලිමත් විය යුතු බවක් ඔහුගේ කවි කියවන විට හැඟෙයි. එසේම කවියට විෂය කරගන්නා අත්දැකීම් පරාසය පුළුල් කරගත හැකි ආකාරයේ සියුම් නිරීක්ෂණයක් වර්ධනය කරගත හැකි නම් ඔහුගේ කවිය තව බොහෝ ඉදිරියට ගෙන යාමට ඔහුට ඉන් අවසර ලැබෙනු ඇති බව කිව යුතුය.