ආදරය අපේ ජීවිතවලට සමීප වන්නා සේම වියෝව අප හුදෙකලා කරයි. මේ සමීප බව සහ හුදෙකලා බව ගෙත්තම් කළ නවකතාවකි කුසුම්සිරි විජයවර්ධන ලියූ ” වැව රවුම”.
මෙම නවකතාවට පසුබිම ගොඩ නැගෙන්නේ විශ්ව විවිද්‍යාල ජීවිතය තුළිනි. විශ්ව විද්‍යාල ජීවිතයේ ප්‍රේම සම්බන්ධතා ඇතිවෙයි. බොහෝ ප්‍රේම සම්බන්ධතා පසුව නැතිවෙයි. එහෙත් පෙරුම් පුරාගෙන ආ ප්‍රේමය නැති වන්නේ නැත. එය හදවත් අතර බැඳීම් ඇති කරයි. විශ්ව විද්‍යාල ජීවිතයෙන් පසුව ද ප්‍රේමය එලෙසම පවතී. මෙම ප්‍රේමය විවාහයෙන් සථිර වී ජීවිතයට මුහුණ දෙයි. ජීවිතයේ විවිධ හැල හැප්පීම්වලට ලක්වන්නේ ඉන්පසුවය. එය ජීවිතයේ ස්වභාවයයි. මේ අතර ආදරයෙන් බැඳුණු දෙදෙනකුගේ ජීවිතවලින් එක් ජීවිතයක් අහිමි වුවහොත් ජීවත්ව සිටින කෙනා එය දරාගන්නේ කෙලෙසින්ද? මේ වියෝ දුක දරාගත හැකිද? මෙම ප්‍රේමය සහ දරාගැනීම ” වැව රවුම” නව කතාවෙන් චිත්‍රණය වෙයි.
මුලදීම මෙහි කතා ආකෘතිය ගැනද සදහන් කළ යුතුය. මෙහි කතා ආකෘතිය ගොඩනැගී ඇත්තේ වර්තමානය සහ අතීතය අතර දෝලනය වන ආකාරයෙනි. එදා සරසවියේ සිටි මිතුරු මිතුරියෝ වර්තමානයේ මැදිවියේ පසුවෙති. සෑම පරිච්ඡේදයකම මුලින් දක්නට ලැබෙන්නේ වර්තමාන තත්ත්වයයි. දෙවනුව දක්නට ලැබෙන්නේ අතීත කතාවයි. සමස්ත කතාව ගොඩනගන්නේ අතීත කතාව තුළිනි.
“නිස්සංක” මෙහි කතා නායකයාය. “නිර්මලා” කතා නායිකාවයි. කතාව ඉදිරිපත් වන්නේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙනි. එනම් “මම” යනුවෙන් කතාව ඉදිරිපත් වන්නේ නිස්සංකගේ දෘෂ්ටි කෝණයෙනි. මුල සිට අග දක්වා වර්තමාන කතාවේ විකාශනය වන්නේ නිස්සංකගේ දුක වේදනාවයි. මානසික කඩාවැටීම සහ ඔහු එයට මුහුණ දෙන ආකාරයයි. එහෙත් අතීත කතාව සුන්දරය. ඔවුන්ගේ ආදරය දළුලා වැඩෙන ආකාරය අපේ සිත ඇඳ බැඳ ගනී. එය බොහෝ ප්‍රේමණීය ආදරයකි.
බාහිරෙන් දකින අය අකමැති නවක වදය සරසවි ජීවිතයේ අත්දැකීම් ලද අයට විශේෂ අත්දැකීමකි. මන්ද සරසවියේදී ඔවුනොවුන් හඳුනාගන්නේ මෙම නවක වදය තුළිනි. “වැවරවුම”තුළ දක්නට ලැබෙන වර්තමාන කතාව ආරම්භ වන්නේ සරසවියට අලුත් පිරිසක් එකතු වන නවක වද කාලය පසුබිම් කරගෙනය.
“උඹලට පේනවද අර ඈත පේන ගින්දර පිටවෙන දුම් බටේ”.එක් අයෙක් ඇසූහ.
“එහෙමයි උත්තමය.”ජයසිරි කීවේය.
“මොකක්ද ඒක…?”
“සපුගස්කන්දෙ තෙල් එකේ දුම් බටේ.”
“ඔව්…උඹලා දෙන්න එකතු වෙලා කටින් පිඹලා ඒක නිවන්න ඕනෑ.” ( පිට- 15)
නිස්සංක මුලින්ම නිර්මලා දකින්නේද නවක වදය අතරතුරය.
” ඒයි උඹලා විනෝදෙන් පුටු රත්කරනවා නේද…? රට වළ පල්ලට යනවා… නැගිටපල්ලා… කෙල්ලො කොල්ලො ඔක්කොම…ඔය මුකුළු නවත්තලා…”
“දැන් ඉස්සරහ පුටු පේළිය උඩ නැගපල්ලා.දැන් උසම එකා මැදින් ඉන්න විදිහට උස අඩු එවුන් දෙපැත්තේ හිට ගනිල්ලා…” ඔවුහු අණ කළහ…
ඉදිරිපස පේළියේ තරුණියන් දහ දහ දෙනෙක් පමණ සිටියහ. ඒ අතර සිටි එතරම් උස් නොවූ පැහැපත් සිරුරකින් යුත් තරුණිය දෙස මට බැලුණි. ඇයගේ නම මා තවමත් දැන සිටියේ නැත. ඇගේ දිගු කොණ්ඩයත් චාම් ඇඳුමත් ගැමි පෙනුමත් නිසා අන් අය අතර කැපී පෙනුණි. ඇය නිතරම ගැවසෙන්නේ මහනුවරින් පැමිණි පිරිස සමග නිසා මහනුවර කෙනෙකු යැයි මට සිතුණි.
“ඒයි කොණ්ඩෙ දිග කෙල්ල, උඹ උස මදි…කොණටම පලයන්…” දැන් පිරිස මැද සිටි විජේකෝන් සමග දෙපසට උස අඩු පිළිවෙළට සැකසී ඇත.”මේක තමයි හර බැර තොරණ. තොරණේ ලයිට් දාපල්ලා… ජ්‍යෙෂ්ඨයෙක් ගිගිරුවේය. අපි අත්වල ඇඟිලි දිග හරිමින් නවමින් අත් ඉහළට පහළට යවමින් ලයිට් නිවි නිවී පත්තුවන ආකාරය නිරූපණය කළෙමු.”
නවක වදය අවසන් වන්නේ බකට් කිරීම ලෙස හඳුන්වන නෑවීමෙන් පසුවය. එහිදී ද ඔහුට හමුවන්නේ ඇයමය.
“දැන් මෙතන ඉන්න කොල්ලො තමන් ළඟම ඉන්න කෙල්ලගෙ අතින් අල්ලාගෙන අර පීඨ බිල්ඩිමේ පිටිපස්සට දුවලා ගිහින් එතන වතුර ටැංකිය ළඟ නැවතියල්ලා. එතනදී කුණු ෆ්‍රෙෂාලා නාවලා පිරිසිදු කරනවා. ඊට පස්සෙ උඹලා කැම්පස් සංස්කෘතියේ කොටසක් වෙනවා.”
“හරි පටන් ගම්මු…එකායි…දෙකායි…තුනායි.
‘තුනායි’ කියන විටම මම අසල සිටි කොණ්ඩය දිග කෙල්ල වූ නිර්මලාගේ අත අල්ලාගෙන දුවන්නට වූයෙමි. දුවන්න බලාපොරොත්තුවකින් නොසිටි ඇය පිටු පස බැලුවේ මේ කව්ද යැයි හඳුනා ගැනීමටය.”
විශ්ව විද්‍යාලයේදී දෙදෙනා අදහස් සිතුම් පැතුම් අතින් සමීප වෙති.ඇය නිහඬ අහිංසක චරිතයකි. ඔහු කලාවට, පුරා විද්‍යා ගවේෂණවලට, විවිධ ස්ථාන ගවේෂණය කිරීමට කැමතිය. දෙදෙනාගේ අදහස් ගැලපීමෙන් ඔවුහු ආදරවන්තයෝ බවට පත්වෙති.
“ඔයා වගේ හොඳ යාළුවෙක් හමුවෙච්ච එක මට ලොකු සතුටක්. එදා චිත්‍ර ප්‍රදර්ශනේ බලන්න ආපු දවසෙ තමයි මම දැනගත්තෙ ඔයාට හොඳ කලා රසිකත්වයක් තියෙන බව.”
රියදුරා බසයේ පිටුපස විදුලි පහන් නිවා දැමුවේ නිදාගන්නා අයට බාධාවක් නොවනු පිණිසය. ජෝතිපාලගේ සින්දු හෙමින් ඇසෙයි. මුහුදේ මාළු ඔරුවල නිවි නිවී දැල්වෙන ලාම්පු එළි යාන්තමින් පෙනෙයි. ඊට ඉහළ ආකාසයේ තරු මතුවන්නට පටන්ගෙන ඇත. නිර්මලා වාහනයේ ජනේලය අතරින් ඈත බලමින් කල්පනා කරමින් සිටියාය. ඉන්පසු මා දෙස බලා මගේ අත මත තම අත තබමින් මෙසේ ඇසුවාය .
“ඔයාට මාව යාළුවෙක් විතරද?”
“නෑ අනේ, ඔයා මගේ හොඳම යාළුවා වෙලා ඉවරයි. මම කැමති දේවල්වලට ඔයත් කැමතිනේ. කාටත් උදව් කරන්න කැමති හිත හොඳ කෙනෙක් කියල මට තේරුණා.”මම කීවෙමි.
“අනේ මං එච්චරට හොඳද?” ඇය ලජ්ජාවෙන් ඇසුවාය.
රියදුරා ජෝතිපාලගේ සින්දුව නවත්වා ඇත.
ඔහු වාදනය කිරීමට වෙනත් කැසට් පටයක් හොයනවා විය යුතුය. ටික වේලාවකින් අමරදේවගේ ගීතයක් ඇසෙන්නට පටන් ගත්තේය. පිරිස නින්දෙන් ගොරවන හඬ විටෙක ගීතයේ හඬ පරයමින් ඇසෙමින් තිබේ. මුහුදෙන් එන සීතල සුළඟ කවුළු අතරින් බසය තුළට ඇදී එයි. මම වීදුරුව සම්පූර්ණයෙන් වසා දැමුවෙමි.
“ඔයාගෙ හොඳම යාළුවා වුණු එක ගැන මට සතුටුයි.” ඇය පැවසුවාය.
“ඔයා හිතන තරම් මගේ අගයක් නෑ නිර්මලා. මම බොහොම දුප්පත් පන්තියේ කෙනෙක්. වත්කමකුත් නෑ.”
“එහෙම හිතන්න එපා.”
“නිර්මලා, මගේ හිතේ නිතරම හිස් බවක් පිරිල තිබුණ. මගේ සිතුවිලි තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හිටියෙ නැති හන්දා. ඉතින් ඔයා මට ඉන්නවා. දැන් ඉතින් පාළුවක් නෑ.”
ඇය කිසිවක් නොකියා මගේ අත තදින් අල්ලා ගත්තාය. හිස උරහිසට හේත්තු කර ගත්තාය. ඇගේ දෑසින් කඳුළු බිඳුවක් වැටෙණු මුහුණ දෙස බැලූ විට මම දුටුවෙමි.
“ඔයා මට කැමති වුණු එක ගැන ගොඩාක් සතුටුයි. ඒත් ඔයා පහුගිය කාලයේ හිතින් විඳපු දුක ගැන මටත් දුකයි. “ඇය කොඳුරමින් කීවාය.
කිසි ලකයක් නැති ඇඳුම් අඳින, රබර් සෙරෙප්පු පලඳින කඩවසම් පෙනුමක් නැති මට, සැපට හැඳී ඇති බව පෙනෙන නිර්මලා කැමති වූයේ ඇයි දැයි මට නොතේරේ. ටික වේලාවකින් ඇය මගේ උරහිසට හේත්තු වී නිදන්නට වූවාය.” (55 – 56 පිටු)
ඔවුන්ගේ සරසවි ජීවිතය ඉතා සුන්දර වුවත් නිස්සංක ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස මතු කිරීමට ගන්නා උත්සාහය එතරම් සාර්ථක බවක් නොපෙනේ. ඔහු ශිෂ්‍ය දේශපාලනය තුළ කුමන ස්ථාවරයක සිටිනවාද යන්න පැහැදිලි නැත. පැහැදිලි දේශපාලන මතවාදයක් ඔහු තුළින් නොපෙනේ. එහෙත් ඔහු අවංක පුද්ගලයෙකි. සැබෑ ආදරවන්තයෙකි. කුමන ප්‍රශ්න පැමිණියද ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙයි. මේ ශක්තිය ඔහුට ලබා දෙන්නේ නිර්මලාය. ඇය සියලු දේවල් දෙස බලන්නේ අන්තගාමීව නොවේ. හැම දේම උපේක්ෂාවෙන් ඉවසයි. චාම් ජීවිතයකට හුරුවූ යුවතියකි.
ඇයට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් ලැබුණ ද ඇයගේ සරල ගතිගුණ වෙනස් නොවේ. නිස්සංකගේ ජීවිතයට ශක්තිය වන්නේ ඇයයි.
නිස්සංක මාධ්‍යවේදියකු ලෙසත්, දැන්වීම් ආයතනවලත් රැකියා කරමින් ඔවුන්ටම කියා නිවසක් ඉඳිකරයි. මේ සඳහා ද ඔහුට ශක්තිය වූයේ නිර්මලාය. ඔවුහු විවාහ වී ඔවුන්ගේ කැදැල්ලේ සතුටෙන් ජීවත් වෙති.
එහෙත් ජීවිතය පුදුමාකාර ලෙස වෙනස් වීම්වලට භාජනය වන්නේ කිසිවකු නොසිතන ආකාරයෙනි. නිස්සංකගේ සහ නිර්මලාගේ කුළුදුල් දරුවා ලැබීමට ආසන්නව ඇය මහනුවර ඇයගේ මහගෙදර සිට රෝහල් ගත කෙරේ.
“හවස පහ වනවිට මම රෝහලේ දොස්තර සුරනිමලගේ මාතෘ වාට්ටුවට දුවමින් සිටියෙමි. එය පිහිටියේ තෙවන මහලේය. මා ඇඳ අසලට ගියවිට නිදාගෙන සිටි නිර්මලා මා දෙස බලා සිනාසුනාය. මම ඇගේ අත අල්ලා ගත්තෙමි. “ඔයා ආපු එක කොච්චර දෙයක්ද? මට අද රෑ බබා ලැබේවි. නෝමල් ඩිලිවරි එකක් කරන්න තමයි ඩොක්ටර් හිතන් ඉන්නෙ.”
“අම්ම ඔයාට කෑම උයල දුන්න.”
“දැන් කන්න අමාරුයි. මගේ ඔළුවෙ කැක්කුමකුත් තියනවා.” ඇය කීවාය. මම කපාගෙන පැමිණි පෙයාර්ස් ගෙඩියේ කැබලි ඇයට දුන්නාය. ඇය අසල ඇඳේ අම්මාටත් කෑලි කිහිපයක් දී එය හපන්නට වූවාය.
“ඒයි අපිට එක පුතෙක් හිටියාම ඇති නේද? මේක එපා වෙනව අනේ.”ඇය පැවසුවේ ලජ්ජාශීලී අයුරිනි.
“ඔව් නිර්මලා,එක පුතෙක් අපට ඇති.” යයි කියූ මම රැගෙන ගිය බාම් එක ඇගේ හිසේ ගල්වමින් හිස අත ගෑවෙමි.”( පිට – 257)
එහෙත් සියල්ල වෙනස් වන්නේ නොසිතූ අයුරිනි.
“මල්ලී නිර්මලාට ලේ නවත්වන්න බෑ. ගර්භාෂෙ, ඔපරේෂන් එකකින් අයින් කරන්න ඕනෙ. එයාට මේ ඉන්ජෙක්ෂන් එක ගෙනත් දෙන්න” යයි රෝහලේ ඥාතිවරිය බෙහෙතක නමක් කීවාය”.(පිට – 258)
අපේ ජීවිත අප නොසිතන ආකාරයට වෙනස් වීමට පුළුවන.
“හිමාලය තරම් උසට ගොඩ ගැසී තිබූ බලාපොරොත්තු බිඳ වැටුණේ ඒ දින තුන ඇතුළතය. නිර්මලා සිහි නොලබා කා සමඟවත් කතා නොකර වෙන්ව ගියාය. පුතාටද අත්වූයේ එම ඉරණමමය.”(පිට-260)
අවසානයේ වැව රවුම අසල නිස්සංක තනිවිය. ජීවිත කාලය පුරාවට ගොඩනැගී තිබූ බලපොරොත්තු දෑස් ඉදිරියේ බොඳවී යන්නට විය. ජීවිතයේ ස්වභාවය එයයි. එයට මුහුණ දීමට ආත්ම ශක්තිය තිබිය යුතුය. සත්‍යය සහ කල්පිතය අතර දෝලනය වන නිර්මාණයකදී ද අපට මෙම සත්‍යය අවබෝධ විය යුතුය.
කර්තෘ- කුසුම්සිරි විජයවර්ධන
ප්‍රකාශනය – දයාවංශ ජයකොඩි සහ සමාගම