මෙවර බුකර් සම්මානය අයර්ලන්ත ලේඛක පෝල් ලින්ච්ට

Share post:

සුප්‍රකට බුකර් සම්මානය මෙවර හිමිවූයේ අයර්ලන්ත ලේඛක පෝල් ලින්ච් ගේ Prophet Song නම් නවකතාවට යි.

ඊයේ (26 ඉරිදා) රාත්‍රියේ ලන්ඩනයේ දී පැවැති උත්කර්ෂවත් සම්මාන උළෙලේ දී, අවසන් වටයට තේරුණු පොත් 6 අතුරින් සම්මානිත කෘතිය ලෙස තෝරාගැනුණු මෙම කෘතියට සම්මානය සමග මුදලින් පවුම් 50,000ක් හිමිවිය.

අයර්ලන්තය ඒකාධිපතිවාදය සහ යුද්ධය කරා ඇදීයන පසුබිමක සිය පවුල ආරක්ෂා කර ගැනීම උදෙසා කාන්තාවක විසින් කරනු ලබන අරගලය ගැන කියැවෙන Prophet Song බුකර් විනිශ්චය මණ්ඩලය විසින් හඳුන්වන ලද්දේ “අපගේ වර්තමාන මොහොතේ සමාජ හා දේශපාලන කනස්සල්ල ග්‍රහණය කර ගන්නා” “ආත්මය කම්පාකරවන සුළු සහ සැබෑ” නවකතාවක් ලෙසිනි.

ලින්ච්ට සම්මානය පිරිනැමීමට ගත් තීරණය “ඒකාබද්ධ තීරණයක්” නොවූ බවත්, “පැය හයක් පමණ සාකච්ඡා කිරීමෙන්” හා “ඡන්ද වට ගණනාවකින්” අනතුරුව එළැඹි තීරණයක් බවත් විනිශ්චය මණ්ඩල සභාපති එසී එඩුගියන් (Esi Edugyan) පැවසීය. එඩුගියන් යනු බුකර් ත්‍යාගය සඳහා දෙවරක් කෙටි ලැයිස්තු ගතවූ කැනේඩියානු නවකතාකරුවෙකි.

අන්ත දක්ෂිණාංශික ෆැසිස්ට් පාලනයක් කරා පිරිහෙලී යන මනඃකල්පිත පසුබිමක අයර්ලන්තයේ ඩබ්ලින් නගරය පිහිටුවන Prophet Song, ‘බටහිර සමාජවල එවැනි තත්ත්වයක් ඇතිවිය නොහැකිය’ යන උදාසීන කල්පනාව බිඳදමන ප්‍රබල කෘතියක් ලෙස විචාරක අවධානය දිනාගන්නා ලද්දකි.
මේ නවකතාව ලිවීමට තමන්ට නිර්මාණාවේශය සැපයූවේ සිරියානු යුද්ධය හා සරණාගත අර්බුදය විසින් බව පෝල් ලින්ච් (Paul Lynch) පැවසීය.
46වැනි වියේ පසුවන අයර්ලන්ත ජාතික ලින්ච් ගේ පස්වැනි නවකතාව වන Prophet Song අවසන් කිරීම සඳහා ඔහුට වසර 4ක කාලයක් ගතවී ඇත.
ජාත්‍යන්තර සාහිත්‍ය සම්මාන අතර ප්‍රමුඛතම සම්මානයක් ලෙස පිළිගැනෙන බුකර් සම්මානය, පසුගිය වසරේ හිමිවූයේ ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක ගේ The Seven Moons of Maali Almeida නම් කෘතියට යි.

සම පොත්

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...