පසුගිය නොවැම්බර් 22 දින කොළඹ රුසියානු මන්දිරයේදී, රුසියානු සාහිත්‍ය කවය සංවිධානය කළ 2023 රුසියානු සාහිත්‍ය උලෙළේදී මහින්ද සෙනරත් ගමගේ විසින් සිදු කරන ලද කතාව.
“කෙනෙකුට කතා කරන්නට ඉගෙන ගන්නට අවුරුදු දෙකක් ගත වෙනවා. නමුත් කට පරිස්සම් කරගෙන කතා කරන්නට ඔහුට අවුරුදු හැටක් ගත වෙනවා.”
මේ කියමන කිසියම් තැනෙකින් උපුටා අප වෙත ගෙන එන්නේ, අද මෙතැන අපේ සම්භාවනාවට පාත්‍ර වන රසුල් ගම්සොටොව් නම් මහා කවියා. ඔහු එය කියන්නේ, ඔහුගේ එක ම ගද්‍ය කෘතිය වන ‘මගේ දගෙස්ථානය’ නමැති කෘතිය ලියමින්. ඔහු එය ලියමින් කියනවා, දැන් මගේ වයස අවුරුදු දෙකක් නොවෙයි, ඒ වගේ ම අවුරුදු හැටකුත් නොවෙයි. නමුත් ඒ දෙවැනි ඉමට මා ළඟා වෙමින් සිටින නිසා මම මගේ කට පරිස්සම් කර ගත යුතුයි කියා.
මට අද මේ කතාව කරන්න අවස්ථාව හිමි වන්නේ, ඔහුගේ එම කෘතිය සිංහලට නැඟීමේ දුර්ලභ වාසනාව මට හිමි වූ නිසා. මගේ වයසත් ඉහත දෙවැනි ඉමට ළං වෙමින් තිබෙන නිසා, කට පරිස්සම් කරගනිමින් මේ කතාව කරන්නැයි මගෙන් ඉල්ලා සිටි රුසියානු සාහිත්‍ය කවයටත්, කොළඹ රුසියානු මන්දිරයටත් මගේ ගෞරවය, ආදරය සහ කෘතවේදීත්වය…
රුසියාවේ උතුරු කොකේසියාවේ කැස්පියානු මුහුද ආසයන්නයේ කඳුකරය දගෙස්ථානය හැටියට හැඳින්වෙනවා. ලංකාවට වඩා කුඩා භූමි ප්‍රදේශයක්. නමුත් ජනගහනය අපට වඩා හුඟක් ම අඩුයි. මීට අවුරුදු සීයකට කලින් එහි ජනගහනය ලක්ෂ දහයක් පමණ. අද නම් ලක්ෂ තිහක් පමණ. මේ ජනතාව ජන වර්ග තිස් හයකට සහ ජන කොටස් නැත්නම් ජාතිකත්වයන් අසූවකට වඩා වැඩි ගණනකට බෙදී ගිහින්. කතා කරන භාෂා ගණන ගත්තොත් තිහකට වැඩියි.
දගෙස්ථානුවන් අතර කියැවෙන ජනකතාවක මෙහෙම කියැවෙනවා:
භාෂා බෙදා දෙමින් ලෝකය පුරා ගමන් ගත් දේව දූතයා දගෙස්ථානයට එද්දී සිටියේ හොඳ හැටි මහන්සි වී… ඔහු කළේ ඉතිරි වී තිබූ භාෂා මල්ල කඳුකරය දෙසට වීසි කර, ‘ඔන්න ඔය ටික උඹලට ඕන හැටියට බෙදාගනිල්ලා’ කියා යන්නට යාම.
දැවැන්ත කඳුවලින්, භයංකර පල්ලම්වලින් යුතු රමණීය භූමියක්, සුන්දර කඳු දර්ශනයන්… මෙන්න මේ පරිසරය තුළ දගෙස්ථානය පුරා මහා විශාල සාංස්කෘතික උරුමයන් රැසක්, සම්ප්‍රදායයන් සමුදායක් ඉතිරි වෙනවා.
ඔවුන් පොදු බවට පත් කළේ ඔවුන්ගේ ජීවිකාව වූ සතුන් ඇති කිරීම හා ගොවිතැන විසින් වගේ ම ඔවුන්ගේ ආගම වූ ඉස්ලාමය මගින් පමණයි.
මෙන්න මේ විවිධ වූ, විචිත්‍ර වූ සංස්කෘතික උරුමයන් පසුබිමේ සිටිමින්, දගෙස්ථානයේ ට්සුඩා නමැති කුඩා ගම්මානයේ, ඔවුන්ගේ වචනයෙන් කීවොත් ට්සුඩා කියන අවුලයේ දි 1923 සැප්තැම්බරයේ දී උපදිනවා එක කුඩා දරුවෙක්. ඔහුට නම් තැබෙනවා රසුල් හැටියට. ඒ අදට අවුරුදු සීයකුත් මාස දෙකකට උඩින්. රසුල් යන්නේ තේරුම පණිවිඩකරුවා, නැත්නම් නියෝජිතයා. ඔහු දගෙස්ථානු ජනයාගේත්, මුළු මහත් සෝවියට් රුසියානු ජනයාගේත්, මුළු මහත් ලොව පුරා අවංක සහ නිර්ව්‍යාජ මිනිසුන්ගේත් හදවතේ පණිවුඩකරුවා සහ නියෝජිතයා බවට පත්ව රසුල් ගම්සොටොව් ලෙසින් බෞතීස්මය ලබා අවුරුදු අසූවකට පසු, මීට හරියට අවුරුදු විස්සකට පෙර 2003 නොවැම්බරයේ අප අතරින් සමුගෙන ගියා. ඒ නිසා ඔහු ගැන කතා කරන්නට සුදුසු ම දවස රුසියානු සාහිත්‍ය කවය සහ රුසියානු මන්දිරය තෝරාගෙන තිබෙනවා.
රසුල් කවියට පෙම් බඳින්නේ බාල වියේ සිට ම. සමහරවිට දගෙස්ථානයේ එවකට ජනප්‍රිය කවියෙකු වූ ඔහුගේ ම පියාගේ ආභාසයත්, පියාගේ මිතුරු කවියා වූ අබුතාලිබ්ගේත් ඇසුරත් නිසා වෙන්නට ඇත.
මේ දගෙස්ථානය කෘතිය ආරම්භ වෙන්නේත් ඒ අබුතාලිබ්ගේ මෙන්න මෙහෙම කියමනකින්.
“ඔබ ඉතිහාසයට පිස්තෝලයකින් වෙඩි තැබුවොත්, අනාගතය ඔබට වෙඩි තබනු ඇත්තේ කාලතුවක්කුවකිනි.”
අබුතාලිබ් යනු හාස්‍යය නිතර මුවග රැව්දුන්, විසල් චින්තනයකට උරුමකම් කී, මහා කවියෙක්. රසුල්ගේ කවිතාව සහ චින්තනය ඔප මට්ටම් වෙන්නට මේ දෙදෙනා නිසැකව ම බලපාන්නට ඇති.
රසුල් මූලික අධ්‍යාපනය ලබන්නේ දගෙස්ථානයේදී. අවුරුදු විස්සක් පමණ පුරා ඔහු පෙර කී දගෙස්ථානු ඉතිහාසයේ මුල්වලින් පෝෂිත සංස්කෘතියත්, සම්ප්‍රදායයනුත් උකහා ගැනීමට කැප කළ බව අපට පෙනෙනවා. ඔහුගේ චින්තනයේ බරපතල ම කොටසකට පදනම වැටුණේ එමඟින්. ඉන්පසු ඔහු මොස්කව්හි මැක්සිම් ගෝර්කි සාහිත්‍ය ආයතනයට බැඳී උපාධිය ලබනවා.
මහා දේශප්‍රේමී යුද්ධයට කැප කළ ඔහුගේ පළමු කවි පොත 1943දී එළි දැක්වීමේ සිට ම ඔහුගේ ප්‍රතිභාව ලොවට දැන ගත හැකි වුණා. එතැන් සිට දගෙස්ථානයත්, අවාර් ජනයාත් මුළු ලොව හමුවේ කීර්තියට පත් කරවන්නට ඔහුට හැකි වුණා.
නව යොවුනෙකු හැටියට මේ ලද ප්‍රසිද්ධියෙන් ඔහු හිස උදුම්මා ගත්තේ නෑ. ඔහුගේ මේ කියමන බලන්න:
“මා දැන් රසුල් ගම්සොටොව් කවියා ලෙස මගේ උපන් ගමේ අය දනිති. මා මෝඩයෙකු හා හඩ්ඩෙකු ලෙස සැලකුණු කාලයක් ද තිබිණි. මේ මුළු කාලය පුරා මම එකක් ගැන සිතමින් තවත් කුමක් හෝ කළෙමි. එහි ඵලයක් ලෙස මම කමිසය නොපිටට අඳිමින්, කබායේ බොත්තම් වැරදියට දමාගෙන ඇවිදින්නට ගියෙමි.”
රසුල් පිළිබඳව, ඔහුගේ ජීවිතය පිළිබඳව ජීව දත්ත තොරතුරු ඉතා පහසුවෙන් අන්තර්ජාලය පීරා බැලීමෙන් සොයාගන්න පුළුවන්. ඔහු ලැබූ සම්මාන, පදක්කම්, අභිදානයන් ගැන විතරක් අපට දවසක් කතාකරන්න පුළුවන්.
නමුත් අපට වැදගත් වන්නේ එය නොවෙයි. ඔහු අපේ ජීවිතවලට බැඳෙන තැන කොතැන ද කියා සොයා බැලීමයි අපට වැදගත් වෙන්නේ. ඒ සඳහා ඔහුගේ කවි, ගීත, කියමන්, ඔහුගේ කතාවල උපුටනයන් සහ විශේෂයෙන් ඔහුගේ එක ම ගද්‍ය කෘතිය ‘මගේ දගෙස්ථානය’ කෘතිය කපා, කොටා විශ්ලේෂණය කොට බලන්නට අපට සිදු වෙනවා.
අපි මේ කතා බහට ‘මවුවරුන් දෙදෙනෙකුගේ පුතෙක්’ ලෙස නම් කළේ ම ඒ නිසා. එහි ගෞරවය යා යුත්තේ ආචාර්ය රංජන සේනාසිංහ සහෝදරයාට.
‘මවුවරුන් දෙදෙනෙකුගේ පුතෙක්’…. එහෙම වෙන්නේ කොහොම ද?
භාහිර කාරණා හැටියට සලකා බැලුවොත් ඇත්තට ම ඔහුට මවුවරු දෙදෙනෙක් සිට තිබෙනවා. අයෙක් ඔහු බිහි කළ මව. අනෙක් කෙනා, කිසියම් කලෙකට ඔහු වෙනත් ගමකට රැගෙන ගිය අවස්ථාවේ, හාමත්ව සිටි ඔහුට කිරිමව වී කිරි දුන් අවාර් මව.
නමුත් ඉන් එපිටට ගොස් සොයන විට අපට පෙනෙනවා, ඔහු එක අතෙකින් දගෙස්ථානයේ උපන් දරුවෙකු වගේ ම අනෙක් අතින් මුළුමහත් සෝවියට් රුසියාවේ ම දරුවෙකු බව. එක අතෙකින් අවාර් භාෂාවේ දරුවෙකු බව වගේ ම අනෙක් අතින් රුසියානු භාෂාව තුළින් ලෝකය හැඳින ගත් දරුවෙකු බව. එක අතෙකින් දේශප්‍රේමය මුළු මහත් සිරුර පුරා සුවඳ දෙවන දරුවෙකු බව වගේ ම අනෙක් අතින් ජාත්‍යන්තරවාදය මුළු මහත් ජීවිතයෙන් වැළඳගත් දරුවෙකු බව…
රසුල් ගැන විනාඩි ගණනකින් කතා කර අවසන් කළ නොහැකියි. ඔහුගේ එක කවියක් ගත්තත් පැය ගණනක් එහි සරල බව සහ ගැඹුර එකවිට රැගෙන කතා කරන්න අපට පුළුවන්. මේ නිසා ඔහුගේ මුළු මහත් කවිතාව පුරා ම රැඳී පැවති දේශප්‍රේමයේ සහ ජාත්‍යන්තරවාදයේ පරස්පර සමඟිය ගැන පමණක් ඉතා කෙටියෙන් ඔබේ අවධානය යොමු කරන්නට මම කැමතියි.
මම රසුල්ගේ පියා ගම්සට් ට්සඩාසාගෙන් අපි අරඹමු. අපි කලින් කීවා ඔහුත් කවියෙක්. දගෙස්ථානයේ කීර්තිමත් කවියෙක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. වියපත් අවදියේ ඔහු අසනීප වෙනවා. ඔහු මොස්කව් ක්‍රෙම්ලින් රෝහලට ඇතුළත් කෙරෙනවා. දගෙස්ථාන කඳුකර වැසියෝ රෝගාබාධවලදී විශ්වාසය තැබුවේ ඔසු පැළෑටි සහ ජලය මතයි. ඒ අනුව ගම්සට් තමන්ගේ පුතුන්ගෙන් ඉල්ලා සිටියා බුට්ස්රැක් කඳුවැටියේ එක්තරා උල්පතකින් ජලය රැගෙන එන ලෙස.
රසුල් කියනවා පියෙකුගේ වදන් පුතුන්ට නීතියක් කියා. ඉතිං පුතුන් කළේ, මොස්කව් සිට කිලෝමීටර දහස් ගණනක් ගෙවා ආපසු දගෙස්ථානයට පැමිණ, මේ කඳුවැටිය නැඟ වතුර ගෙන ඒමයි… රසුල් මෙහෙම කියනවා.
“ජලය පානය කළ තාත්තාට පහසුවක් දැනුණු බවක් පෙනුණි. ඔහු සුවපත් වීම පවා සිදුවිය. තාත්තා නොදැන සිටි දෙය වූයේ, එදින ම පිටරටින් ගෙන ආ කිසියම් අලුත් ඖෂධයක් එන්නත් කිරීම ඇරඹූ බවයි.
ජගත් වෛද්‍ය විද්‍යාව විසින් නිපදවන ලද ඔසුවලින් පමණක් සමහරවිට තාත්තාගේ සුවවවීම නොවෙන්නට ඉඩ තිබිණි. අපේ ගැමි ඔසුව වූ අවාර් ජලය සමහරවිට සුවවීම කෙරේ බලපෑවා වෙන්නට පුළුවන. නමුත් මේ ඔසු දෙක ම එකට ගත් කල ඔහුගේ සුවවීමට මඟ පෑදී ය.”
රසුල්ගේ කවිතාව පුරා, ඔහුගේ ජීවිතය පුරා පැවතුණේත් දගෙස්ථානු භූමියේ ජලය, දගෙස්ථානු භුමියේ සුළඟ, දගෙස්ථානු භූමියේ පස මෙන් ම මුළු මහත් ලෝකයේ ආදරය, මුළු මහත් මනුෂ්‍ය ප්‍රජාවේ ජයග්‍රහණ සියල්ල සමඟ එකට යි. රසුල් නමැති පුද්ගලයා, රසුල් නමැති කවියා, රසුල් නමැති අපට ළං වූ මිනිසා සෑදී තිබුණේ එලෙසයි.
මේ ඔහුගේ කවි දෙකක්:
හොඳ ම හොඳ වූ පූකුරු ගෙන හැර පාන
සෑදුණේ මැට්ටෙනි සුලබ හැම තැන පේන
හොඳ ම හොඳ කවිය ද ඒ වාගේ ම ය
සෑදුණේ වටපිට තිබෙන පොදු වදනින් ය
බසේ- සංගීතයේ නිධානය- අතරින්
හොඳ ම මිණි කැට සෑම පදයට ම තේරුවෙමි.
අමුත්තෙකු ආ විට, බිම් ගෙය සිසාරා
හොඳ ම හොඳ වයින් බෝතලය ගෙන එන ලෙසින්
ඒ සරල පොදු වදන් ඔහු සොයාගත්තේ කොහෙන් ද? ඔහු ඒ හොඳ ම වදන් තෝරාගත්තේ කොහෙන් ද? දගෙස්ථානු කඳුකරය පුරා අපි අර කලින් කියූ, අසූවක් වූ ජනවර්ගයන්ගෙන්, තිස් ගණනක් වූ භාෂාවන්ගෙන් පෝෂිත වූ, දගෙස්ථානු භූමියට මුල් ඇද්දා වූ මිනිසුන් වෙතින් ඔහු ඒවා සොයාගත්තේ. ඒ ජනතාව තමන්ගේ වැඩ අතර, තමන්ගේ විවේකය අතර, තමන්ගේ වේදනාව අතර, තමන්ගේ සතුට අතර, තමන්ගේ විවිධ වූ හැඟීම් හා භාවයන් අතර නිර්මාණය කරන ලද වචනයි ඔහු ඔහුගේ නිර්මාණවලට යොදනු ලැබුවේ. ඒ නිසා මයි ඒ වදන් අපට ද කිට්ටු වන්නේ. මොකද අපිත් මහ පොළොවේ මිනිස්සු. ඔවුන් මහ පොළොවේ මිනිසුන් නොවුණා නම්, අපි මහ පොළොවේ මිනිසුන් නොවුණා නම් ඒ සම්බන්ධතාව අප අතර සැදෙන්නේ නෑ.
අපි ඔහුගේ වචනවලට සවන් දෙමු…
“මගේ කල්පනාව නම්, කවියෙක් තමන්ගේ පුද්ගලික හැඟීම් කියන්නට සමත් වෙනවා නම්, ඔහු සාර්ථකයි. එය පොදු ජනයාගේ හැඟීම්වලට කිට්ට එකක් වෙනවා. එය පොදු ජනයාගේ කවියක් බවට පත් වෙනවා. එහෙත් කවියා, පොදු ජනයාගේ හැඟීම් ගැන කවියක් ලිවිය යුතුයි කියා වැඩට බැස්සොත්, ඔහුගේ හිස මත ඇද වැටෙන්නේ මහ බරක්. ඔසොවාගත නොහැකි තරම් එම පර්වතයක බර ඔහු තලා පොඩිකොට දමනවා. ඔහුට ඒ කවිය ලියාගන්න ලැබෙන්නේ නෑ. තමන්ගේ පුද්ගලික හැඟීමක් නොමැතිව පොදුජන හැඟීමක් තිබෙන්නට නොහැකි යි.”
ඔහු තවදුරටත් මෙහෙම කියනවා:
“කවියන් යනු සංචාරක පක්ෂීන් නොවෙයි. නිජ බිමක් පසක් නැතිව, උදුනක් නිවෙසක් නැති කවිය මුලක් නැති ගසකි. කැදැල්ලක් නැති කුරුල්ලෙකි.’‘
මේ තුළින් අපට කියවාගත හැකියි, රසුල්ගේ හදවත. අපට කියවාගත හැකියි, ඔහු නියෝජිතයෙකු වී සිටින්නේ කා වෙනුවෙන් ද කියා. එය තව දුරටත් විහිදුවාලමින් ඔහු මෙහෙම කියනවා:
“මට මගේ මගේ උපන් ගම සහ එහි පරිසරය නොමැති වී නම්, ඒවා මගේ මතකයේ ජීවත් නොවුණි නම්, මුළු ලෝකය මට පෙනෙනු ඇත්තේ හදවතක් නැති පපුවක් ලෙසිනි. දිවක් නැති මුවක් ලෙසිනි. කළු ඉංගිරියාව නැති ඇස් ලෙසිනි. එසේත් නැත්නම් කුරුල්ලන් නැති කැදැල්ලක් ලෙසිනි. ”
මහපොළොවත්, පරිසරයත්, තමන්ගේ වටපිටාවත් නැති මිනිසෙකුට අලුත් දේවල් නිර්මාණය කරන්න බැහැයි යන්නයි ඔහු කියන්නේ. ඔහු නිරන්තරව, හැම තැන ම කීවේ එය.
ඒ වගේ ම ඔහු එහි අනෙක් පැත්තත් කතා කරනවා.
“ඔබ හිතන්න එපා මම මගේ සක්ලිය (නිවෙස) තුළ ම, මගේ කඳුකර ගම්මානය තුළ ම, මගේ දගෙස්ථානය තුළ ම, මගේ හැඟීම තුළ ම අපේ ලෝකයේ සියලු සංසිද්ධීන් සොයා බලන බවක්. ඊට එහෙම පිටින් ම පටහැනිව මා කරන්නේ, මා දැක ඇති, අසා ඇති ලෝකයේ හැම අස්සක මුල්ලක ම ඇති මගේ සක්ලිය සොයා ගැනීමයි, මගේ හැඟීමක්, මගේ රට ගැන හැඟීමක් සොයා ගැනීම යි. ඒ හැඟීම තුළ වන මුළු මහත් ලෝකය මගේ තේමාව යි.”
ඔහුගේ ඒ හැඟීම් අපට මෙවැනි කවියකින් කියනවා:
කොතෙක් වෙර දැරූවත් මට ඕනෑ ලෙසින්
මට මගේ රට ගැන නොහැකිය කියන්නට
සෑදලය පිටුපස පිරුණු මලු එල්ලෙයි
කොතෙක් වෙහෙසුණත් ඒවා නම් නොලිහෙයි
මට මගේ මව්බසින් අලුත් වූ ගීයක්
ලෝකය ගැන ලියා ගන්නට නොහැකි ය
ලැබුණි මට නිදහනකින් පිරුණු පෙට්ටියක්
අරින්නට නොහැක එය මා වෙහෙසුනත් කොතෙක්
ඒ පද අතරෙහි ඇත්තේ අතිශය සරල, අතිශය නොගැඹුරු පිටත පෙනුමක්. ඒවා බොරු ආටෝපවලින් වසා නැහැ. ඒවා වෙස්වලාවන්ගෙන් වසා නැහැ. ඒ තුළ අපට හමුවන්නේ අමු නිර්ව්‍යාජත්වය.
ඒ නිර්ව්‍යාජත්වය නිසා මයි අපට ඒ කවි අපේ හදවත්වලට කිඳා බහින බවක් දැනෙන්නේ. අපට ඔහුගේ කවි කියවන විට අපට දැනෙන්නේ සියුම් සැතෙකින් අප කැපී යන බවක්. ඉතා මෘදු ලෙසින් ඒවා අපේ හදවත් අතරින් විනිවිද යනවා. කැපුණු බවක් අපට දැනෙන්නේ වත් නෑ. කවිය අප තුළට කිඳා බැස ගිය බව පමණයි අපට දැනෙන්නේ. කවිය කියවා අවසන අපට දැනෙන්වා කුමක්දෝ දෙයක් අප වෙතින් පිටාර ගලා යන සැටියක්. හරියට ම විසල් වැව් බැම්මක් බිඳී ජලය ගලා යනවා වාගේ.
හැබැයි, ගලායන්නේ අපේ හදවත්වල වූ මළකඩ… අපේ හදවත්වල තිබූ ව්‍යාජ ආටෝපයන්… ලෝකය පිළිබඳව හා අනෙක් මිනිසුන් පිළිබඳව වූ කුහක හැඟීම්… මේවායි අප තුළින් එසේ නික්ම පිටාර ගලා යන්නේ… ඔහුගේ කවි නිසා අවසානයේ අපේ හදවත්වල ඉතිරිවන්නේ මානව දයාව, මානව ප්‍රේමය, මිනිසා කෙරේ වූ සුන්දර හැඟීම්… රසුල්ගේ විශේෂය එයයි….
අවුරුදු හතළිහකට ආසන්න කාලයක් යුරෝපයේ ගත කරන මගේ මිතුරෙක් මට දින කීපයකට කලින් මෙහෙම කතාවක් මට කිවා:
“ ලෝකයේ අනෙක් රටවල් හා සසඳත් දී මට හැම වෙලාවෙ ම වගේ දැනුණේ මගේ රට මොන තරම් කාලකන්නි, දුප්පත්, ජරා රටක් ද කියලා. හැම තැන ම වංචාව, දූෂණය. එය ඉන්න හිතෙන රටක් කියා මට හිතුණේ නෑ. මෙහි ගත යුත්තක්, වටිනාකමක් කිසි තැනක මට පෙනුණේ නෑ. මිථ්‍යාව රජ වුණු, අනුන්ට උගුල් අදින තැනක් හැටියට පමණයි මට මගේ රට දැනුණේ. හැබැයි රසුල් කියවන්නට ගත් විට මට මහා ලැජ්ජාවක් ඇතිවෙන්නට පටන් ගත්තා. මට හිතුණා මං මගේ රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා, මං මගේ මිනිසුන් වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා. මව් භූමිය කියලා කියන්නේ නිකම් ම භූමි ප්‍රදේශයක් පමණක් ද? එතැනින් එහාට දෙයක් නැද්ද? මව් බිමට සමාන තැනක් මිනිසෙකුට වෙන තැනකින් සොයා ගන්නට පුළුවන් ද? මේ ප්‍රශ්න මට ඇති වුණා. මගේ පාපකාරී සිතුවිලි මකා සුභාරංචිය ගෙනා සුර දුතයා තමයි රසුල් ගම්සොටොව්. දේශප්‍රේමය ගැන මා කියැවූ හොඳ
ම කෘතිය ඔහු ලියූ ‘මගේ දගෙස්ථානය’ යි.”
ඒ කතාව සහතික කරන රසුල්ගේ උපුටනයක් මෙහෙමයි:
“දගෙස්ථානය. ඔබ මට මවකි. මා සමඟ දබර කරන අයට එය සිහිපත් කර දෙන්න. මට එදිරිව යොදන ඕනෑ ම කඨෝර වදනක් මම දරා ගන්නෙමි. එහෙත් මම මගේ දගෙස්ථානයට අත තබන්නට එකදු වදනකට හෝ ඉඩ නොදෙන්නෙමි.”
“දගෙස්ථානය, ඔබ මගේ ආදරය සහ ප්‍රතිඥාවයි. මගේ ආයාචනය සහ යාඤාවයි. මගේ සියලු පොත්වල සහ මගේ ජීවිතයේ ප්‍රධාන තේමාව ඔබ ම පමණයි. ”
එහෙම කියන රසුල් ම මෙන්න මෙහෙම කවියකින් කියනවා. අපට වැදගත් වන එතැන බවයි මගේ නම් කල්පනාව:
ඉස්පාසු නැති මගේ අශ්වයො
මඳකට පමා වී ඉඩ දියන්
හද වේදනාවෙන් පිරි හෙයින්
උපන් ගම දෙස වරක් බලන්නට
පියාඹන් ඉදිරියට අශ්වයෝ
හැරී නොබලන් කොහෙත් ආපසු
සොයුරන් මිතුරන් නිම නැති
ගම් බොහෝ සිටී අප එනතුරු
“අපි අපේ ගෙය තුළ, අපේ ගම තුළ, අපේ රට තුළ සිටියත් මුළු මහත් ලෝකය පුරා අපට මිතුරන් සිටිනවා. ඒ මිත්‍රයෝ සිටිනවා අප එන තුරු. අපේ සක්ලිය නැත්නම් අපේ අවුලය මුළු මහත් ලෝකය මයි. ඔවුන් ඔවුන්ගේ ගීත තබාගෙන බලා සිටිනවා අපේ ගීත රැගෙන එන තුරු.”
ඔහුගේ කවියේ අදහස එයයි. මම හිතන්නේ අපට වැදගත් වන්නේ අප අන්න එතැනට පැමිණීම කියා.
ඒ අයුරින් තමන්ගේ උපන් බිමටත්, මුළු මහත් ලෝකයටත් එකිනෙකට ප්‍රතිවිරෝධීව එහෙත් එකිනෙකට වෙළී ගිය සෙනෙහසකින් කවි ලියූ රසුල් තමන්ගේ අදහස් කවිය ඔස්සේ ලොවට බෙදා දුන්නා පමණක් නොවෙයි, විශිෂ්ට පරිවර්තකයෙකු වෙමින් තමන්ගේ ජනතාවට ලෝක සාහිත්‍යයේ දැවැන්ත නිර්මාණ රසවිිඳීමේ අවස්ථාව සැලසීම ද මඟ හැරියේ නෑ. පුෂ්කින්ගේ බොහෝ නිර්මාණ මෙන් ම ලෙර්මන්තව්. නෙක්රාසොව්, ෂෙව්චෙන්කෝ, මායාකොවුස්කි, යෙසේනින් වැනි දැවැන්තයින්ගේ නිර්මාණ ඔහු අතින් අවාර් බසට ආවා. රසුල් නමැති වචනයේ තේරුමට හරියන ලෙසින් ම ඔහු තමන්ගේ ජනයා වෙතින් ලෝකයටත්, ලෝකය වෙතින් තමන්ගේ ජනයාටත් නියෝජිතයෙකු වූ හැටි, පණිවුඩකරුවෙකු වූ හැටි අපට පෙනෙනවා. ඔහු පාලමක් බවට පත් වුණා. අපට වැදගත් වන්නේ අන්න එයයි. අප වැලඳගත යුත්තේ ඒ පාලමක් වූ රසුල්ව.
මේ කරුණු සිහියේ තබා ගනිමින් මම දැන් කැමතියි අපේ රට වෙත, අපේ ජනයා වෙත, අප වෙත හැරී බලන්න.
අප ළඟත් සිටිනවා දේශප්‍රේමීන්, අප ළඟත් සිටිනවා ජාත්‍යන්තරවාදීන්. මා කතා කරන්නේ දේශප්‍රේමය නමින්, ජාත්‍යන්තරවාදය නමින් බඩවඩා ගන්නා පිරිස ගැන නොවෙයි. මතවාදයන් වපුරමින්, ඉදිරියට ගෙන යමින් ඒවායේ ලාභය ගරා ගන්නා සුළු පිරිස ගැන නොවෙයි මා කතා කරන්නේ. අවංකව මාතෘභූමියට ආදරය කරන දේශප්‍රේමීත්වය සහිත මිනිසුන් ගැනයි මා කතා කරන්නේ. අවංකව ම ජාත්‍යන්තරවාදය ගැන සිතමින්, ලෝකය ම එක යායක් විය යුතු යැයි කතා කරන මිනිසුන් ගැනයි මා කතා කරන්නේ.
නමුත් පොඩි වැරැද්දක් වී තිබෙනවා අපට. අප අතර ඉතා ම ස්වල්ප පිරිසක් හැරුණු විට, අප වැඩි දෙනෙකුට දේශප්‍රේමය වැලඳ ගනිද්දී අමතක වී යනවා මුළු මහත් ලෝකය විසින් ලැබූ විජයග්‍රහණයන් ගැන. අමතක වී යනවා, මුළු මහත් ඉතිහාසය පුරා විවිධ සංස්කෘතීන්ගෙන් දායාද රැගෙන ආ මිනිසුන් ගැන. ඒ වගේ ම ජාත්‍යන්තරවාදය ගැන කතා කරන බොහෝ මිනිසුන්ට තමන්ගේ ම මූලය වුණු මව්බිම අමතක වෙලා යනවා.
මට මතු කරගන්නට ඕනෑ වුණු කාරණය එයයි. මෙන්න මෙතැනයි රසුල් අපට හමුවන තැන. එක පැත්තකින් මව්බිමේ සිටින ජනයා එක්තැන් කරගන්නා හැඟීම් සමුදාය ගැන ඔහු කතා කරනවා. ඒ වගේ ම ඔහු එතැනින් එපිටට මුළු මහත් ලෝකයේ ම ජනයා එක්තැන් කොට වැලඳගන්නා සැටි ගැන කතා කරනවා.
තව අවුරුදු දහයකින්, පණහකින්, සීයකින් හෝ දාහකින් පසු ලෝකය කොයි ආකාර වෙයිදැයි අපි දන්නේ නෑ. හැබැයි අපට නිසැකව ම කියන්න පුළුවන් එය වෙනස් වෙනවා කියලා. අද තියෙන ලෝකය හෙට නෑ කියන දේ අපි දන්නවා. මේ තිබෙන දේශ සීමාවන්, සිතියම් නිසැකව ම වෙනස් වෙනවා. එසේ ම භාෂාවන් සම්බන්ධයෙන් ගත් කල, භාෂාවල බාධකයන් බිඳවැටී ගිහින් අලුත් භාෂාවන් බිහිවීමට නියමිතයි. නමුත් අපි දන්නේ නෑ හරියට ම එය සිදුවෙන වෙලාව ගැන. එය නිසැකව ම කෙමෙන් වෙනස් වෙනවා. හෙමින් හෙමින් කෙරෙන වෙනස්කම් එක මොහොතක දැවැන්ත වෙනසක් බවට පත්වෙන බව නිසැකයි. එදිනට අපේ අද දවසේ භූමි සීමාවන් වත්, අපේ භාෂාවන් වත් මේ ආකාරයෙන් පවතින්නේ නෑ.
නමුත් මේ සිදුවෙමින් යන වෙනස වඩා යහපත් මිනිසුන්ගේ සුන්දරත්වයේ දෙයක් බවට පත්වෙන්නට නම්, අලුත් ලෝකය සැම කෙනෙකුට ම සමානාත්මයේ හා සාධාරණත්වයේ එකක් වෙන්නට නම්, කිසිවෙක් කිසිවෙකුගේ යටත් වැසියෙකු නොවී එකිනෙකාට සහෝදරත්වයේ හැඟීමෙන් කතා කරගන්නා සමාජයක් වන්නට නම් අපට ඕනෑ කරන මිනිසා වන්නේ රසුල් ගම්සොටොව්.
අපට ඕනෑ කරන්නේ ඔහු වැනි හදවත්, හැඟීම් ඇති මිනිසුන්. එනිසා මම ඔබ සැමගෙන් ඉතා ආදරයෙන් ඉල්ලන්නට කැමතියි, අපි ඒ කෝණයේ සිට රසුල් ගම්සොටොව් මුල සිට කියවමු. ඔහු දගෙස්ථානය නමැති කුඩා බිම් කඩේ සිට මුළු මහත් ලෝකය පුරා විහිදවූ මනුෂ්‍යත්වයේ අව්‍යාජ ආදරය සොයා යමු. ඔහුගේ පිරිපුන් හදවත වැලඳගනිමු. අපි ඔහුගේ ඒ හදවත බවට පත්වෙමු….
අපට ඔහු බවට පත්විය හැකියි. අපි ඔහු බවට පත්විය යුතුයි. එසේ නොවුණොත්, හෙට බිහිවන ලෝකය එච්චර සුන්දර වෙන්නේ නෑ.