2016 වසරේ අතපත් වූවත් හෙමින් කියවන්න අතපසු කළ මගේ දගෙස්ථානය පසුගියදා කියවා අවසන් කළෙමි. සැබවින්ම , කියවීම අවසන් කිරීමේ සිතක් නොතිබුනි. මේ දිනවල සෝවියට් පොත පත ඇසුරු කරන පාඨකයන් අවාර් කවියා රසුල් ගම්සොටොව් ගැන කියවා ඇතිවාට සැකයක් නැත. එබැවින් ඔහුගේ පෞද්ගලික තතු සඳහන් කිරීමෙන් වැළකෙමි. ඒ වෙනුවට කෘතියේ මගේ සිත් ගත් තැන් කිහිපයක් උපුටා දක්වන්නට සිතුවෙමි.
‘පෙරවදනක් වෙනුවට පොදුවේ පෙරවදන් ගැන’ ලියමින් කතුවරයා පොත අපට හඳුන්වා දෙයි. එහිදී ඔහු මෙසේ ලියයි . ‘ අලුත් පොතක් යනු මා කිසිදා ඇතුළු නොවූ දුර්ගයක් බඳුය. එහි ගල් බිතු මා ඉදිරිපිට දැනටමත් සතර අතින් ඇදවැටෙමින් තිබෙන්නේ මට නොපැහැදිලි දුර ඈත දෙසට මඟ පාමිනි. අලුත් පොතක් යනු මා කිසිදා සෑදල නොදෑ අසෙකි; කොපුවෙන් කිසිදා එළියට ඇද නොගත් සිරියකි. ‘ පාඨකයනට මේ ගැන මීට වඩා අදහසක් තිබේද ? අලුත් පොතක් අතට ගන්නා අප කොහේ කොතැනක නවතීදැයි අපම නොදනිමු.
පොතේ අදහස සහ එහි නම ගැන ලියන විට රසුල් මෙසේ ලියයි. ‘ අබුතාලිබ් වරක් මෙසේ කීය. කෙනෙක් ලියෝ තෝල්ස්තෝයි ගේ වගේ තොප්පියක් මිල දී ගත්තා. ඒත් ඔහු එවැනි වර්ගයේ හිසක් මිලදී ගන්නෙ කොහෙන්ද ?’ මෙය කොයි සමාජයටත් , කාටත් ගැළපෙන උපමාවකි.
‘මගේ දගෙස්ථානය ‘ මම කියවූයේ නිර්මාණකරුවනට අත්පොතක් ලෙස සිතාගෙනය. ඒ බැව් එය රසවිඳින කා හට උවත් තේරුම් යනු ඇත. නිර්මාණකරුවෙකුගේ භාෂාව කෙසේ විය යුතු දැයි රසුල් අපට පෙන්වා දෙන්නේ මෙසේය . ” මට නම්, මිනිසාගේ භාෂාවන් අහසේ තාරකා මෙනි. සියලු තරු එක් දැවැන්ත තරුවක් තුළට මුසුවී යනවාට මම කැමති නොවෙමි. හිරු තිබෙන්නේ ඒ වෙනුවටය. නමුත් , එවිට තරුද අහසේ බැබලිය යුතු ය. සෑම මිනිසෙකුට ම තමන්ගේම තරු තිබුනාවේ.” ඕනෑම නිර්මාණකරුවෙක් තමුන්ගේම බසක් , රටාවක් ගොඩ නගා ගත යුතුය. රසුල් මේ කෘතිය නිමවන්නේ ඔහුගේම අදහස් සමග අනෙක උපුටා ගැනීම්ද සමගය. උපමා කතා, ඔහුගේ පියා විසින් කියන ලද කතා සහ අදහස්,අබුතාලිබ් කියූ කතා ආදිය සමග ඔහුගේම කාව්‍ය නිර්මාණ ද සමගිනි. ඔහුගේ මේ කාව්‍ය යුගල සිත් ගත්තකි.
කඳුළු බිඳු දෙකක් කොපුලෙහි ගලයි කවියෙකුගෙ
එකක් වම් පසින් සහ අනෙක දකුණෙන් ගලයි
උදහසේ කඳුලක් ය, ආලයේ කඳුලක් ය
ශෝකයේ කඳුලක් ය, සොම්නසේ කඳුලක් ය
සුපැහැදිලි , නිසංසල පොඩි කඳුළු බිඳු දෙකක්
වෙන්වීමක දී බලයක් නැති බිඳු දෙකක්
එකට මුසු වී කවියක් බවට හැරුණු විට
විදුලියව පිපිරෙයි, වැස්සක්ව ඇද වැටෙයි
‘ශෛලිය ‘ ගැන ඔහු ලියන විට මෙසේපවසයි. අවාර්වරු මෙසේ කියති: ” කවියා උපදින්නේ ලෝකය නිර්මාණය කරන්නට අවුරුදු සීයකට පෙරය.” මෙමගින් ඔවුන් පැහැදිලිව අදහස් කළේ ලෝකය නිර්මාණයේදී කවියා කොටස්කරුවකු නොවුණි නම්,එය මෙතරම් රමණීය නොවන්නට තිබුණු බවයි.
රසුල් , ‘ ප්‍රතිභාව ‘ ගැන ලියූ සටහන මගේ සිත් ගත් යෙදුම් රැසකින් හෙබියේය. ‘ ප්‍රතිභාවෙන් යුතු අඳ මිනිසෙකුට , හොඳින් හොඳින් දෑස් පෙනෙන නමුදු ප්‍රතිභාවෙන් තොර මිනිසෙකුට වඩා පෙනේ. ලෝකය පුරා ඇවිදිමින් යන මෝඩයෙකුට වඩා තම අධ්‍යන කාමරයේ හිඳගෙන සිටින බුද්ධිමතා ලෝකය දකින බව කියා තිබේ’
‘සැක’ යනුවෙන් ලියන පරිච්ඡේදය කතා කරනුයේ සාහිත්‍ය ප්‍රකාශනය සහ සංස්කරණය පිළිබඳව ය. නිර්මාණකරුවෙකුගේ අදහස් කපා දැමීම බොහෝ විට සිදුවන්නේ පුවත්පත් , සඟරා ආදියේදීය. ඒ බොහෝ විට ඉඩ කඩ ඇවැසි විටදීය. නැතහොත් ග්‍රන්ථ ප්‍රකාශනයේදීය.
එසේම; හුදෙක් අදහස ඔබේ නොවූ පමණින් එය වැරදි යැයි නොකියන්න.
එසේම ; පාන්, සීනි , බටර් පමණක් නොව ඇණ වුවත් තරාදියකින් කිරන්නට හැකිය. නමුත් ආදරය එසේ නොහැකිය.
එසේම ; රෙදි මැනීමටත්, කාමරයක උස හෝ කනත්තක වැටක දිග මැනීමටත් මිස සුන්දරත්වය මැනීමට කෝදුවක් ගන්නේ නැත .
පොතේ පසු කවරයේ මෙසේ සඳහන් කර ඇත. ‘ මේ පොත එක්තරා අයුරකින් පාපොව්චාරණයකි. එය ජීවිතය සහ කලාව පිළිබඳව ලේඛකයාගේ සිතිවිලි පැහැදිලි කරයි.අපූර්ව උල්පතකින් පැන නගින එය පෙරදිග ආකාරයෙන් සංක්ෂිප්තාර්ථිත ය’ සැබවින්ම මා මුලින් කී ආකාරයෙන් ම මේ පොත , ‘ මගේ දගෙස්ථානය ‘ නම් අත්පොතකි.
බොහෝ කලකට පෙර මට මෙහි ඉංග්‍රීසි පිටපතක් ලැබුනද එය කියවීම අතපසු වූයේ මගේ අලස සුව නිසාය. එහෙත් , මහින්ද සෙනරත් ගමගේ සොයුරාගේ මේ පරිවර්තනය කියවීම අරඹද්දී ඉංග්‍රීසි පිටපතත් සමග කුඩා කොටසක් දෙකක් කවි පංතිත් සමග කියවූවෙමි. ඒ ප්‍රවීණ පරිවර්තකයෙකු ගැන සාංකාවකින් නොව මට මා ගැන ඇති සාංකාවෙනි. හිතවත් මහින්ද සොයුර , ඔබගේ මේ මෙහෙය ඇගයීමට මේ සටහන තබමි.