නමක් නැති හිතවතකුගේ හෘද ස්පන්දනය.
“නමක් නැති හිතවතෙක්” කාව්‍ය සංග්‍රහය තුළ හමුවන සියුම් කාව්‍ය භාවිතය ඉතාම සිත් ඇදගන්නා සුළුයි. ඇයගේ කවියේ පෞද්ගලික අත්දැකීම් ඉක්මවා පොදු සමාජ යථාර්ථයන් සහා දාර්ශනික ඉසව් කරා ගමන් කරන කවි හමු වෙන්වා. ඇය කවියේ වදන් සමඟ මෙන් ම රිද්මය සහ හැඩය සමඟත් ගනු දෙනු කරනවා. ඇය යොදා ගන්නා සමහර කාව්‍යෝක්ති ඉතා ම නැවුම්.
“ආදර කාලගුණයෙන් පිරී
මේ දවස් මේතරම් ඇයි දිග” ‘ආදර කාලගුණය” යන යෙදුම එයට එක් උදාහරණයක්.
සමහර කවියක් දිගේ රසිකයාට ගමන් කරන්න ඉඩ දී ඇය එක් වර කවිය මල් වෙඩිල්ලක් වගේ පුපුරවා හරින අවස්ථා තියෙනවා. නයින් ඉලෙවන් නම් කවියේ අවසානය එවැන්නක්.
“ඉතින් මෙතනින් ඉදිරියට
නිත්‍යානුකූලයි තනිකම
ලියුවෙන් බරට කොළයක
ඒක පාර්ශ්වීක ව තීන්දුව”
ඇය පුරාණෝක්ති අරන් අලුතෙන් කාව්‍යාත්ම වෙත ජීවිතය දෙනවා. “ජිනදාසගෙන් වින්නඹු අම්මාට” නමින් හමුවන කවිය ඒ වගේ අපූරු නිර්මාණයක්.
ගරා වැටී ගිය මහ ගෙදර
බිත්තියට කන තියා අහන්න
දරු සෙනෙහෙ නිසා ආ
හීල්ලුම් හඬවල් ඇරෙන්න
පරණ කුල මල කතන්දර
එහි තියෙනව ද බලන්න
සිංහලේ වෙත පලා නො ගොසින්
හැකි වුණොත් මට රැඳෙන්න
සිඟිති හසරැලි එක්ක පුළුවන්
ජීව්තේ අලුතින් දකින්න.
දැණ් නුඹට විතරයි පුළුවන්
අපව මේ අනතුරෙන් මුදන්න
කවදාක හරි ඉඩක් ලැබුණොත්
අතීතෙට පිය නඟන්න
මතක් කරලා පෙකණි වැල
ඔය අලුත් කතුරෙන් කපන්න.
චේත්‍යාගෙ සමහර කවි කියවන විට සාමාන්‍ය සරල කවියක් වගේ දැනෙන නමුත් ඒ කවිය නැවත වරක් – දෙවරක් කියවන විට මුල් වතාවේ නොදැනුන යමක් දැනෙන්නට පටන් ගන්නවා. කවියෙන් මතු කරගත හැකි යම් ජීවිත අවබෝධයක් ඒ කවි තුළින් පෙනෙන්නට ගන්නවා. ඇයගේ කවිය තුළින් ජීවිතය අත් දකින්න කියන ආරාධනාව ඒ කවියෙන් හැඟෙන්න ගන්නවා. මම හිතන්නේ එය කවියක තිබිය යුතු ගැඹුර කියන කාරණයේ වෙනත් ස්වරූපයක් විදියටයි. අපි ඒකචාරී නමින් හමුවන කවිය දෙස හැරී බලමු.
ඒකචාරී
පසුකරන් මහ වනය
යන්නෙමි මම ප්‍රියය
ඔබ නැත ද මා අසල
ඔබ සිහිවන කැඳවුම් ය
ඔබේ ප්‍රිය භාෂණය
මතු කරන ගුමුගුමු ය
භයංකර තුරු වියන
මා හිසට නිවහන ය
හඬන ජල ධාරාව
මට මධුර තනුවක් ය
නපුරු වග වලසුන් ද
මා කෙරේ බිය ඇති ය
මධුර බව මිසක මට
අන් කිසිත් නොහැඟේ ය
එකලා ව වන අරණ
තරණයට හිත දැඩි ය
මෙම කවිය මතු පිට විප්‍රයෝගී ප්‍රේමයක Nostalgia ගුණය පෙනෙන්න තියෙනවා. ඒ සේරටමත් වඩා තනි වූ ස්ත්‍රියකගේ සන්තානගත Melancholy ලක්ෂණ මතු වෙනවා. වග වලසුන් වන් මිනිසුන් පරදවන නිර්භය කාන්තාවක් එහි වසන බවට සලකුණු දක්නට ලැබෙනවා. කවිය කියවා අවසන් වන විට කිවිඳිය යොදා ගන්නා සියළු රූපක රසිකයා සමඟ සංවාදයකට එළබෙනවා. එතන දී ඒ කවිය නැවත උපදිනවා. දැන් රසිකයා තනිව ම හිතන්න ගන්නවා, ඒකචාරීව සරණ මේ ස්ත්‍රීය කවුද කියන කාරණය. ඒ සිතුවිළි හරහා රසිකයාට තමන් දන්නා කියන චරිත සිහි වෙන්න ගන්න වා. ඇයට මේ මහ වනය පසුකරගෙන යාමට හැකි වේ ද කියන සාධාරන සැකය රසිකයාට ඇති වෙන්වා. රසිකයා දන්නවා නොස්ටැල්ජියාවෙන් පමණක් ජීවිතය ජය ගත නො හැකි බව. රසිකයා පවා මේ කථකයා සමඟ ඒකාචාරි ව ගමන් කරන්න ගනන්වා. ජීවිතයේ ඇති දුක් දෝමනස්ස සමඟ ගැටෙමින් ජීවිත ගමන යා යුතු බව රසිකයා වටහා ගන්නවා. ඒවා ජීවිතයේ ම කොටසක් බව තේරුම් ගන්නවා.
මේ කවිය නැවත කියවන කෙනෙකුට මම කියන රසිකයාට නොදැනෙන බොහෝ දේ දැනෙන්න පුළුවන් විදියට මේ කවිය නිර්මිත වී තිබෙනවා. ඒ ඇය යොදා ගන්නා රූපක නිසා කවියට ලැබුණ බහු ශාබ්දිකබව නිසා විය හැකියි.
මානව සම්බන්ධතාවල ඇති සංකීර්ණ බව ඉඟි කරන කවියක් ලෙස නමක් නැති හිතවතෙක් යන හිසින් එන කවිය දකින්නට අපට පුළුවන්. ගැහැනු පිරිමි අතර පවතින සම්බන්ධතා ශරීර සම්භෝගයෙන් තොරව ම වුනත් ජීවිතයේ ගැඹුරු ඉසව් කරා ගමන් කරන්නට පුළුවන්.
නමක් නැති හිතවතෙක්
බෙදා නොගෙන ම හදේ නිවහන
මගේ සිහිනය බෙදා ගන්නා
ජීව්තේ හැම උදෑසනකම
ආදරේ මල් පොකුරු ගේනා
නමක් නැති හිතවතෙක් උන්නා
තටු සලා යන කිරිල්ලක සේ
පියඹන්නට මලට හිතුණා
ඉගිල්ලී යන හදවතක් හිමි
මලට අත්තටු දෙකක් ගේනා
නමක් නැතු හිතවතෙක් උන්නා
එකට එක් වී බෙදාගනු බැරි
සැබෑ වෙන්නැති හීන තිබුණා
සිනා සී කලය නවත්වා
දුරින් හිඳගෙන බලා ඉන්නා
නමක් නැති හිතවතෙක් උන්නා.
මේ දෙන්නා හැම උදෑසනක ම හමුවෙන දෙන්නෙක්. ඒ දෙන්නා එකිනෙකා හා කතා කරනවා, තමන්ගේ සිහින බෙදා ගන්නවා, ඔහු ආදර මල් ඇයට දෙනවා, ඇගේ සිහින වලට තටු දෙනවා ඔවුන් රන් රස සේ ගැලපෙන බවක් හැඟෙනවා. ඒත්, හදවතේ නිවහන බෙදා නොගන්නත් ඔවුන් වග බලා ගන්නවා. නෙළුම් පතක් මත දිය බිඳක් සේ නො ඇලී ඉන්න බවක් ඉඟි කෙරෙනවා. ඒ අතර ඔවුන්ගේ ජීවිතවල බොහෝ දේ සිදු වෙනවා. මොකක්දෝ නොදන්නා හේතුවකට ඒ හීන සැබෑ නොවෙනා හීන බවට පත් වෙනවා.
මේ හීන සැබෑ නොවුණේ සමාජියීය ප්‍රශ්න නිසා වෙන්නත් පුළුවන් ඔවුන් අතර ම සිදු වූ සිදුවීමක් නිසා වෙන්නත් පුළුවන්. නමුත් අපට වැදගත් වන්නේ ඉන් අනතුරුව මේ සම්බන්ධය මොනවගේ ස්වභාවයක් ගත්තා ද කියන කාරණයයි. රසිකයා කම්පනය වන්නේ එතැනින් බව අපගේ වැටහීම යි. මේ පෙම්වතා සිනා සී කාලය නවත්වා දුරින් හිඳ බලා ඉන්නා කෙනෙක් බවට පත් වූ බව කිවිඳිය අපට පවසන්නේ ඒ කම්පනය රසිකයා තුළ ඇති කරන්න යි. අප කලින් කතා කළ මානව සම්බන්දධතාවේ සංකීර්ණ ම ඉසව්ව රසිකයාට හසුවන්නේ එවිටයි.
මේ නමක් නැති හිතවතා යනු “නම නොදන්නා කෙනෙක් ද?” නමක් දිය නො හැකි සම්බන්ධයක හිමි කාරයෙක් ද? කීවිඳිය රසිකයා ව පාෂාණභූත කරන්නේ කවිය එතැනින් අවසන් කිරීමෙන්.
නමක් නැති හිතවතෙක් ගෙන කාව්‍ය ලොවට ආ චේත්‍යා විද්‍යාපතිරණ කිවිඳියට සිංහල කවි සමාජය තුළ නමක් ඇති කිවිඳියක වන්නට අවැසි ශක්තිය ලැබේවා කියා සුබ පැතුම් එක් කරන අතර ම, රසික ඔබටත් එම කවි කියවන්න මම යෝජනා කරනවා.
නිරෝෂ ප්‍රනාන්දු
11/19/23