මේ ඕස්ට්‍රේලියාවයි …

Share post:

අපේ ළමා කාලය ගෙවුනේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අධිරාජ්‍යයක.

ඒ කාලයේ අපි ඕස්ට්‍රේලියානු කණ්ඩායම දැක්කේ යෝදයො වගේ.

ඔවුන් සෙසු සෑම කණ්ඩායමකටම වඩා ඉදිරියෙන් හිටියා.
කහ පාට ජර්සියට මුලු ක්‍රිකට් ලෝකයම බිය වුණා.

ග්‍රිල්ක්‍රිස්ට් ලා, මැතිව් හේඩ්න් ලා, ඩේමියන් මාර්ටින් ලා, ග්ලේන් මැක්ග්‍රාත් ලා, බ්‍රෙට් ලී ලා හිටපු ඒ ඕස්ට්‍රේලියාව තමයි ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨතම කණ්ඩායම.

ආක්‍රමණශීලි රිකී පොංටින් කණ්ඩායමත් එක්ක පිටියට එද්දි මැවෙන චිත්‍රය සැබැවින්ම ගැමුණු රජු සහ දස මහා යෝදයන්ට සමානයි.
ඕස්ට්‍රේලියාව පරාජය කරමින් තරගයක් ජය ගැනීම ඒ කාලේ දුර්ලභ ජයග්‍රහණයක්.

එකල ඕස්ට්‍රේලියාව පරාජය කිරීමම ලෝක කුසලානයක් දින්නා වගේ සතුටක් වුණා.

1999 – 2007 ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අධිරාජ්‍යය පැවැති සමයේ, ඔවුන්ට අභියෝගයක් එල්ල කළ රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් හිටියා.
නමුත් සෑම තීරණාත්මක අවස්තාවකම ඔවුන් ජය ගත්තා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආධිපත්‍ය පැහැදිලි කළ හැකි දත්ත ඕනෑතරම් ඉදිරිපත් කළ හැකියි.
නමුත් එක් සුවිශේෂි දත්තයකින් පමණක් ඔවුන්ගේ එකල ක්‍රිකට් ආධිපත්‍යයේ තරම පෙන්වනවා.
නායකයෙකු ලෙස ක්‍රිකට් ලෝක කුසලානයේ දෙවන ස්ථානයට පිට පිට වැඩිම ජයග්‍රහණ ලබා ඇත්තේ මහේන්ද්‍ර සිං දෝනි. ඔහු පිට පිට තරග එකොලහක් ජයගෙන තිබෙනවා.

පිට පිට තරග දහයක් ජයගත් රෝහිත් ෂර්මා තෙවන ස්ථානයේ සිටිනවා.
පළමු ස්ථානය රිකී පොංටින් විසින් හිමිකර ගෙන ඇත්තේ පිට පිට ලබා ගත් ජයග්‍රහණ 24 ක් සමගයි.
ඒ තමයි එකල ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව.

2007 ලෝක කුසලානයෙන් පසුව ඒ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආධිපත්‍යය ක්‍රමයෙන් බිඳ වැටුණා.
ඔවුන්ගේ ජයග්‍රාහී කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ සාමාජිකයන් ක්‍රීඩාවෙන් සමුගැනීමත් එයට හේතු වුණා.
2008 වසර මුල් භාගයේ ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තුන්කෝන් තරගාවලියේ දී ඉන්දියාව ඕස්ට්‍රේලියාවේදීම ඕස්ට්‍රේලියාව පරාජය කළා.
ඕස්ට්‍රේලියාව එවැනි තරගාවලියක් පරාජය වුණේ බොහෝ කාලයකට පස්සේ.
මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ යොවුන් ඉන්දීය කණ්ඩායමක් ක්‍රිකට් ලෝකයේ නැගි එමින් සිටියා.
ක්‍රමක්‍රමයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අධිරාජ්‍යය බිඳවැටෙමින්, ඉන්දීය ක්‍රිකට් අධිරාජ්‍යයක් ගොඩනැගුණා.

2011 ලෝක කුසලානයේ ඉන්දියාව ලැබූ ජයත් සමග එය තහවුරු වුණා.
එම තරගාවලියේ අවසන් පූර්ව තරගයට හෝ සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියාවට නොහැකි වුණා.
2011 ලෝක කුසලානය සුවිශේෂයි.

90 දශකයේ 80 දශකයේ දරුවන්, කහ පැහැති ජර්සියෙන් සැරසුනු ඕස්ට්‍රේලියාව නොමැති ක්‍රිකට් ලෝක කුසලානයක් දැක්කේ පළමු වරට.
1996 සිට 2007 දක්වා වූ ක්‍රිකට් ලෝක කුසලාන හතරෙහිම ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට ක්‍රීඩා කළා.
ඉන් තුනක් ඔවුන් පිට පිටම ජය ගත්තා.

ඕස්ට්‍රේලියාව නොමැති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයක් ඒ කාලයේ අපිට තරමක මැජික් එකක් වුණා.
පිට පිට තෙවරක් ලෝක කුසලානය දිනූ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් අවසන් යැයි බොහෝදෙනා කිව්වා.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අධිරාජ්‍යයේ බිඳ වැටීම එකල අපට සැනසීමක් වූ බව බොරුවක් නොවෙයි.
නමුත් ඕස්ට්‍රේලියාව ක්‍රිකට් ලෝකයෙන් ඉවත් කිරීමට කිසිවෙකුට නොහැකි වුණා.

2015 වසරේදි සිය මවුරටේහි පැවැති ඊළග ලෝක කුසලානය ජයග්‍රහණය කරමින් ඔවුන් එය ඔප්පු කළා.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කඩා නොවැටුණු බවත්, එය කෙටි විවේකයක් පමණක් වූ බවත් ලෝකය අවබෝධ කරගත්තා.
රිකී පොංටින් ලාගේ අඩුව පිරවීමට සමත් යොවුන් තරු පිරිසක් ඕස්ට්‍රේලියාව යළිත් බිහිකර තිබුණා.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් කිසිදිනෙක ඕස්ට්‍රේලියාව නොසලකා හැරිය නොහැකි බව ඔවුන් ලෝකයටම කිව්වා.
ඊයේ දකුණු අප්‍රිකාව පරාජය කළ ඕස්ට්‍රේලියාව, 2023 ලෝක කුසලාන අවසන් මහා තරගයේත් සිය ස්ථානය ලියවා ගත්තා.
මේ පැවැත්වෙන්නේ දහතුන්වන ක්‍රිකට් ලෝක කුසලානය.

ඉන් තරගාවලි අටකම අවසන් මහා තරගයට ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබා තිබෙනවා.
මෙතෙක් පැවැති ලෝක කුසලාන දොලහෙන් පහක් ඔවුන් ජයග්‍රහණය කර තිබෙනවා.
ක්‍රිකට් යනු ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියතම ක්‍රීඩාව නොවෙයි.
ඕස්ට්‍රේලියානුවන් අතර දරුණු ක්‍රිකට් උන්මාදයක් නැහැ.

ඕස්ට්‍රේලියානු සාමාන්‍ය ජනතාව අතරින් ක්‍රිකට් ක්‍රීඩාවට විශාල බලපෑමක් හෝ පීඩනයක් ද නැහැ.
නමුත් ඕස්ට්‍රේලියාවේ ඉතාම ගුණාත්මක ක්‍රිකට් සංස්කෘතියක් තියෙනවා.

අළු බඳුන තරගාවලියේ සෑම දිනකම ක්‍රීඩා පිටි පිරෙන්න පැමිණෙන්නේ ඒ ක්‍රිකට් සංස්කෘතියට අයත් රසිකයන්.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරමින් පවත්වා ගෙන යන්නේ ඒ ක්‍රිකට් සංස්කෘතිය විසින්.
අවසන් ක්‍රිකට් ලෝක කුසලාන තුනම සත්කාරක රාජ්‍යය විසින් ජය ගෙන තිබෙනවා.
මෙවර ලෝක කුසලානයේදීත් එය සිදුවීමට ඉඩ වැඩියි.

එම සාධකත් සමග ඉන්දියානු කණ්ඩායමේ දක්ෂතාවයත්, ඔවුන්ට ඇති භූමියේ වාසියත් එක් වූ විට ඕස්ට්‍රේලියාවට මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේ පෙරලියක් කිරීමට ඇති අවස්තාව අඩුයි.

2023 ලෝක කුසලානයේ ජයග්‍රහණය කාට හිමි වුනත් ඉන්දියානු උපමහද්වීපයේ පැවැත්වෙන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිමින් ඕස්ට්‍රේලියාව විසින් නිශ්චිතව එක් දෙයක් ලොවටම කියනවා.

එනම් කිසිදිනෙක ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඕස්ට්‍රේලියාව මහගැරිය නොහැකි බවයි.

ඉරේෂාන් සිරිවර්ධන

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...