“මල් සුවඳැති හිසරදයක්” වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි

Share post:

වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චිගේ තෙවන කාව්‍ය ප්‍රයාණය “මල් සුවඳැති හිසරදයක්” කාව්‍ය සංග්‍රහයයි. වසන්තගේ ” මිහිර සැඟවුණු නිම්නයක සිට” කාව්‍ය සංග්‍රහයෙන් ඔහු ප්‍රකට කළ කවිතාව මෙවර වඩාත් තීව්‍ර තැනකට ගෙන ගොස් තිබේ. වසන්තගේ කවිය ද දිවිසැරුමෙහි ඉසියුම් ඉම් පෙදෙස් වෙත නාභිගත වෙයි. ඒ සෑම අවස්ථාවකදී ම ඔහු එම අනුභූතීන් වෙතින් කිසියම් දේශපාලනික කියවා ගැනීමකට අර අඳින බවක් ද ප්‍රකට කෙරෙයි. එමෙන් ම ඔහු කවිය තුළ බහුමානී අරුත් ජනනය කිරීමෙහිලා උත්සුක වෙයි. වසන්තගේ කවි පොතෙහි පළමු කව වන ” දෙවැන්නෙකුගේ කෙටි සටහන්” නම් කාව්‍ය නිර්මාණය දේවල්වල අපූර්වත්වය පිළිබඳ අදහස විසංයෝජනය කරයි. ශිෂ්ටාචාරයේ මිනිස් පා සලකුණු පිළිබඳ අප තුළ ඇති ‘නොදැනීම’ ඔහු ප්‍රශ්න කරයි.

” කිසිවෙකුත් එහි පා තබා නැත
කියා හටගත් හැඟීමක් මත
නොවිමසා කෙනෙකුගෙන් කිසිවක්
ළඟා වෙද්දී එකඳු මුදුනට..
රිටක ඇවිණී ලෙලෙන කොඩියක්”

වසන්තගේ කවියෙහි මුල සිට ම පැවති විශේෂත්වය වන්නේ කවියෙහි සංරචනමය පක්ෂය කෙරෙහි සාවාධාන වීමයි. කවිය නැමති සෞන්දර්‍ය අඩවියෙහි දෘඩකාංග කෙරෙහි මෙන් ම මෘදුකාංග කෙරෙහි ද ඔහු සැලකිලිමත් වෙයි. විශේෂයෙන් කවියක ආරම්භයේ ඔහු හඳුන්වා දෙන රූපකයක් පරිපාකය දක්වා ඒකමිතික ව වර්ධනය කරමින් කාව්‍යමය ගුණය පෝෂණය කර ගැනීමට වසන්තට හැකි වෙයි. “අප අතර තුර කවුළු තිර” නම් කව ‘තිර’ ඇසුරෙහි ස්ත්‍රීත්වයට හිමි කලාපයක් අනාවරණය කරයි. කවුළු තිර දැමීමත් ඒවා පිළිවෙළට නඩත්තු කිරීමත් ස්ත්‍රීත්වයට අයත් කාර්‍යයකි. තිරවලින් සිදුවන්නේ මුවා කිරීම වසා දැමීම සහ රාමුව අවහිර කිරීමයි. අනෙක් අතට රාමුව අවහිර කරන තිර වූ කලී මල් ලියකමින් හැඩ කළ සෞන්දර්‍යත්මක අලංකරණයකි. එය නියෝජනය කරන්නේ ස්ත්‍රීත්වයට හිමි කලාපයකි. අනේකාකාර මල්කමින් පිරි දොර ජනෙල් තිර සල්පිල් ඉතිරී ගිය වීදියක අතීත දවසක සැන්දෑවරුවක ඔවුහු මුණ ගැසෙති. ඈ ආයාසයෙන් තුරුලු කර ගත් කවුළු තිර පොදිය වැටෙන්නට යන විට ඔහු එය ඔසවා ගැනීමට උපකාර කරයි. එවිට පහසුවෙන් ම ඈ ඇගේ නිල් දෑස් තිර විවර කරයි. කවියා තිර පිළිබඳ කතිකාව අරඹන්නේ එතැනිනි.

” වැටෙන්නට ළං වෙමින් තිබු පොදි
සකස් කර දෙනු පිණිස යළි
ළඟා වූ උපකාර දෙනෙතට
පහසුවෙන් හැර දැමුවාය ඇය
නිල් දෑස් තිර…”

තිර ඇත්තේ වසා දැමීමට ම නොවුණත් වසා දැමීමේ අවශ්‍යතාව හා ආශාව එමඟින් ඉඟි කෙරෙයි. වසා දැමීමට ඉවහල් වන තිරය සෞන්දර්‍යමය අලංකරණයක් ලෙස ඇගේ ස්ත්‍රී කලාපය පෝෂණය කරයි. ගෙහසිත ජීවිතයක් පිළිබඳ සිතුම් දුරස් ව පැවති යුගයක පවා ඇය තැන් තැන්වලට ගැළපෙන තිර පිළිබඳ උනන්දුවක් පළ කළ බව කථකයා පවසයි. අනතුරුව ඔවුන්ට තිර පිළිබඳ අවශ්‍යතාවක් පැන නැඟුණු අවස්ථාවක් සිහිපත් වෙයි.

” සුරත මිරිකා ගැනුණු බසයෙක
උරහිසට හිස තැබූ මොහොතක
වසාලනු හැකි තිර නොවීමෙන්
නොසිතු ලෙස ඇය නොසන්සුන් විය”

තිර තිබිය යුත්තේ ලොවින් වසන් වීමට යන හැඟුම ඉන් ජනිත කෙරෙයි. ලොවින් වසන් වන්නට සිදු වීම ම ‘තිර’ මඟින් වසා දමන රාමුව කුමක් ද යන්න පිළිබඳ කතිකාවක් ගොඩනඟයි. විවාහයෙන් පසුව ද තම ගෙතුළ සෑම රාමුවක ම බරැති ගනකම් තිර ඇය විසින් දමනු ලබයි. මේසා විසල් තිර අතර ජීවිතය අපහසු නැති දැයි ඔහු අසන විට ඈ ඒ කිසිත් ගණනකට නොගෙන මෑත් වූ තිර තිර ව පියවයි. තිර අතර අපහසු ව ඇයට නොදැනෙයි. ඇයට තිර නොමැති වීම හෝ තිර නිරාවරණය වීම අපහසුවකි. කවියා ස්ත්‍රී කලාපයක සෞන්දර්‍යාත්මක් ඉම් පෙදෙස් විවර කිරීමට ගත් උත්සාහය ඉන් ජනිත කෙරෙයි.

” මෙපමණ විසල් තිර අතර
අපහසු නැති ද ජීවිතය?
ඇසුව ද මා කොපමණ
එබස් දෙසවන වෙත නොගෙන
යන්තමින් වුව මෑත් වූ තිර
තිර ලෙසට පියවයි ඇය නිතර”

වසන්තගේ “මිදුල ඇමදීම” නම් කව ද ස්ත්‍රීත්වයට අයත් එක්තරා අඩවියක් ගැන කවකි. මිදුල අතු ගැම ස්ත්‍රීත්වයට අයත් කාර්‍යයකි. කුඩා අවදියේ දී පිරිමි ළමුන් හට ගෙදර මිදුල ඇමදීමේ කටයුත්ත පැවරෙන්නේ තම දෙමව්පියන්ගේ දෛනික කටයුතුවලට උදව් කිරීමක් ලෙසිනි. සෙල්ලම් කිරීම සඳහා අවසර ලබා ගැනීමට හිලව්වක් ලෙස ඔහු මිදුල අමදියි. එහෙත් මිදුල අතු ගෑම ස්ත්‍රීත්වයට පැවරුණු කටයුත්තකි. එය ස්ත්‍රී ශ්‍රමයකි. පසු කලෙක කථකයා හට දක්නට ලැබෙන්නේ සඳවතුරෙන් තෙමාලූ මිදුලකි. සඳ වතුරෙන් තෙමාලූ මිදුල, මිඳුලක ස්ත්‍රීත්වය උරගා බැලූ රාත්‍රියක හමුවන්නකි. වලා රටාවක හැඩයක් මුසු කළ නිවස අප්‍රමාණ දීප්තියකින් සමන්විත ව දිස් විය.

” කල් ගත වී ගොස් සඳ වතුරක් විත්
මිදුල තෙමාලන කලක් උදා විය
වලා රටාවක හැඩයක් මතු කළ
ගෙමිඳුල හැම දා දිදුලා දිස් විය”

එහෙත් කථකයා පවසන පරිදි ඒ මිදුල තෙමාලන සඳ වතුරෙන් ධ්වනිත කෙරෙන්නේ කථකයා රැගෙන ආ සහකාරිය විය නොහැකි ද? ඉන්පසු ඇමඳුමෙන් විචිත්‍රත්වයට පත් මිදුලට ආ ගිය අය එහි රටාව නොනසා ඉමහත් බැතියෙන් එහි සැරි සැරූහ. කවියා එමඟින් සංකේතාත්මක ව, ධ්වනිත කර ඇත්තේ ස්ත්‍රියගේ සෞන්දර්‍යාත්මක දැරිම කෙරෙහි පුරුෂ සාවධානශීලීත්වය යි. එහෙත් තෙත් සඳ කැල්මෙන් මිදුල දොවාලන කාලය එක වර ඇනහිටියි. යලිත් කුඩා කල මෙන් ම කථකයාට ම මිදුල අතට ගැනීමට සිදු වෙයි. එවිට පෙර මෙන් නොව මෙවර මිදුල, ඇමදුමෙන් සීරුම් ලබයි.පෑරුණු තැන්වල පැල්ලම් ගැසෙයි. ඒ මතින් යන අය පවා යනුයේ ගොරහැඩි ලෙසින් පියවර මනිමිනි. ස්ත්‍රී දැරීමෙහි මේ යැයි හසු නොවන සෞන්දර්‍යාත්මක අඩවිය පිළිබඳ ඉසියුම් ඉඟියක් වසන්ත මේ කව මගින් ලබා දෙයි.

” මිදුල පෙර ලෙස ම සීරුම් ලබාය
පෑරුණු තැන්හී පැල්ලම් බොහෝය
අවුදින් යන අය එමතින් යනුයේ
ගොරහැඩි විලසින් පියවර තබාය”

” වෙනස් දෙන්නෙක් එකෙක් වේවි ද” නම් කව මඟින් වසන්ත, ප්‍රේමයේ සුලබ පැතිකඩක් කාව්‍යාත්මක ව විවරණය කරයි. ප්‍රේමයේදී බොහෝ විට ආදරවන්තයන් දෙදෙන එක් අයෙකු බවට පත් විය යුතු යැයි අදහසක් අසන්නට ලැබෙයි. විවාහ මංගලෝත්සවයන්හි කෙරෙන වැඩිහිටියන්ගේ ආශිංසනාත්මක දෙසුමක පවා කිය වෙන්නේ මෙතැන් සිට මොවුන් දෙදෙනෙකු නොව එකෙකු විය යුතු බවයි. එහෙත් සැබවින් ම දෙවිධියක ආශා ඇති දෙදෙනෙක් එකෙකු වන්නේ කෙසේ ද? එසේ වන්නට සිදුවන්නේ අනෙකා වෙනුවෙන් තම ආශා ලෝකය කැප කිරීමෙන් නොවේදැ යි කවියා මෙහිදී ප්‍රශ්න කරයි. මෙහිදී කථක පෙම්වතා අවස්ථා කිහිපයක දී තම ආශාව කැප කරන ආකාරය පිළිබඳ සමීප රූප කිහිපයක් සියුම් ව චිත්‍රණය කිරීමට සමත් වෙයි.

” වෙරළක දි හෝ උයනක දි
හිම කිරම ගැන කතාබහක දි
ඔබේ ඇවිටිලි අබියස
වැනිල වැනිලා අවසන දි මට
නතර වෙන්නට වෙන තැන..
” මටත් එහෙනම් හොඳයි වැනිලා”
දිවි පුදන චොක්ලට් අයිස්ක්‍රීම් අහිමි කරගෙන”

මේ දිවි පිදීම වන්නේ චොකලට් අයිස් ක්‍රීම් ආශාවට හෝ පැණි රසැති පොප්කෝන් ආශාවට පමණක් නොවේ. ඒ දිවි පිදීම ඔවුන්ගේ පෙම් බැඳුමෙහි හෙට දවසට ද අදාල විය හැකි බව කවියා අනතුරු අඟවයි.

” දැනටමත් පොප් කෝන්, අයිස් ක්‍රීම්
එපා වී ඉවරයි මට
ඉංග්‍රීසි ගීයක් ඇසෙන්නේ
හින්දි ගීතෙක තාලෙට
ක්‍රීම් සෝඩාවක් පෙනෙන්නෙත්
තැඹිලි ගෙඩියක පාටට
හෙට දවස ගැන හිතෙන්නෙත් දැන්
කොහොඹ යුෂ වැනි රසකට”

වසන්තගේ කවියෙහි විශේෂතම ලක්ෂණය වන සංරචනමය ගුණය ප්‍රකට කෙරෙන නිර්මාණ රැසක “මල් සුවඳැති හිසරදයක්” කාව්‍ය නිර්මාණාවලිය තුළ දැක ගත හැකි ය. අනුත්සුකව ගලා එන භාව ප්‍රවාහයන් එලෙසින් ම ඉදිරිපත් නොකර කවියා එය කාව්‍යමය සංරචනය මඟින් තමන්ට අවැසි මානයක් වෙත රැගෙන යාමටත් සුලබ අත්දැකීමකට පවා නව්‍ය පර්‍යාලෝකයක් ගෙන එන්නටත් සමත් වෙයි. ” හැඟීමක් ලෙස උපදිනා සංසාරමය බාධකය” නම් කව ඊට නිදසුන් කළ හැකිය. එහි ඇත්තේ වැන්දඹු ගැහැනියකගේ ආත්ම භාෂණයකි. සති අන්ත සැඳෑවක පැටවුන් දෙදෙනා සමග නිදා සිටින මෙම යුවතිය හදිසියේ නිදි දැහැනින් මිදී උදෑසන හැර දමා තිබුණු උස් යකඩ ගේට්ටුව වසා දමන්නට සැරසෙන විට එහි පියන් පියවිය නොහැකි ලෙස යමක ගැටෙන වග දැනෙයි. යළි යළිත් තැත් කරන විට ඇයට දැක ගන්නට ලැබෙන්නේ බොරළු පොළොවෙන් මතු වී නැගෙන ගල් හිසකි. ළං වී බැලූ විට දැක ගන්නට ලැබෙන්නේ මුලින් උපුටා දැමිය නොහැකි ලෙස වර්ධනය වන දැඩිව පිපෙන සෙල් මලකි. කවියා ඇගේ උස් යකඩ ගේට්ටුව පියවිය නොහැකි ලෙස ලියලා වැඩෙන සෙල්මලින් සංකේතවත් කරන්නේ කුමක් ද? කවියා එහි රූපකාර්ථය කවිය තුළ සියුම් ව වැඩෙන්නට සලස්වයි.

” ළං වී බැලූ කල හොඳින්
නියගින් නැතොත් උලකින්
මුලින් උපුටා දමනු බැරි ලෙස
දැඩි ව පිපෙනා සෙල්මලක් වග අවබෝධ කර ගතිමි”

ඈ වැන්දඹුවක් බව කවියා හඟවන්නේ නිසි අවැසි තැන දී ය. ඊට කවියා සතු ව ඉවසීමක් තිබේ. පුරුදු ලෙස මාසය අග ඇගේ සැමියාගේ මාපියන්, පැටව් සනසනු පිණිස පැමිණ තම පුතුගේ රුවට අලුත් මල්මාලයක් පළඳවා ” සත් වසක් ගත වුවත් සිටිනවා සේ හැඟෙයි” යනුවෙන් පවසයි. එහෙත් ඈ ගේට්ටුව නොවැසෙන සේ දිවා රෑ මතු ව ලියලා එන සෙල්මල ඔවුන්ගෙන් සඟවයි. එම ගල් හිස දැක ගත හැක්කේ ඇයට ම පමණි. ගැහැනියකට ඇගේ සැමියා අකල්හි මිය ගිය විට සැමදා ඈ නිවස ඉදිරි පිට මල්වඩම් තබා ගෙන ජීවත් වීමට පොළඹවන ගතානුගතික වැඩිහිටියන් සිටින සමාජයක අපට ජීවත් වීමට සිදුව තිබෙයි. එය කොතරම් වේදනා සහගත ද ? උස් යකඩ ගේට්ටුව වැසිය නොහැකි ලෙස වැඩෙන සෙල් මලෙන් නැතහොත් ගල් හිසෙන් හැඟවෙන්නේ සදාචාරය හෝ වෙනත් වැඩිහිටි සිතැඟිවලට සීමා මායිම් දැමිය නොහැකි ඇගේ ආශාව නොවේ ද? ඇගේ මනුෂ්‍ය හැඟීම්වලට පුපුරා ගලන්නට ඉල්ලන අවකාශය නොවේ ද?

” දෙනෙන් දින මතු වෙමින්
ගේට්ටුව නොවසමින්
එසවෙනා එගල් හිස
නොපෙනෙනා තැනක සිට
පැහැදිලි ව දකිමි මම”

නූතන ම සිංහල කවිය තුළ රත්න ශ්‍රී විජේසිංහගේ කවිය මඟින් පෑදී ලියලා වැඩුණු ජනතාවාදී තිරස් ආස්ථානය මෙන් ම ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ වැනි කවින්ගේ කාව්‍යමය ප්‍රභාවෙන් ප්‍රක්ෂේපණය වූ අන්තරාවර්තී සිරස් ආස්ථානය ද සමෝසමේ ගෙන ගොඩ නගා ගත් කාව්‍ය මාර්ගය වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චිගේ කවිය වෙතින් ද විශද කෙරෙයි. වසන්ත කවියෙහි ප්‍රවීණත්වය කරා ළඟා වීමට අවැසි කවියේ තාක්ෂණික කලමනා කෙරෙහි සාවධානව සිටින කවියෙකුගේ ගති සොබා පළ කිරීම ප්‍රශංසනීය ය.

සුජීව සිරිමෙවන්

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...