මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස වරදකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මගින් ආර්ථික අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස වක්‍ර ව පිළිගෙන තිබීම අතිශය වැදගත් බව නීති විශාරදයෝ අවධාරණය කරති.
මූලික අයිතිවාසිකම් පෙත්සම් 02ක්
රටේ ආර්ථික අර්බුදයට මෙම තිදෙනා ප්‍රමුඛ ආර්ථික කළමනාකරණය බාර ව සිටි පිරිස වගකිවයුතු බවට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් ව තිබිණි. ඒ අතරින් එක් පෙත්සමක් SC/FR/212/2022 ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය, ආචාර්ය චන්ද්‍රා ජයරත්න, ජෙහාන් කනගරත්න සහ ජූලියන් බෝලින් ගොනුකර තිබූ අතර, අනෙක් පෙත්සම වන SC/FR/195/2022 ගොනුකර තිබුණේ ආචාර්ය අතුලසිරි සමරකෝන්, ආචාර්ය මහීම් මෙන්ඩිස් සහ එස්. මොරායස් විසිනි.
වරදකරුවන් කවුද ?
මෙම පෙත්සම්වල තීන්දුව ලබාදෙමින් අග විනිසුරු ජයන්ත ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතරය තීන්දු කර ඇත්තේ රට තුළ මතු වී ඇති ආර්ථික අර්බුදයට පහත පිරිස වගකිවයුතු බවයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ
හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ
මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්.ඩි. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්
මහා භාණ්ඩාගාරයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල
මුදල් මණ්ඩලයේ සහ හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර
4 – 1
අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් කේ. මලල්ගොඩ, මුර්දු ෆර්නෑන්ඩු යන විනිසුරුවරුන්ගේ අනුමැතියෙන් තීන්දුව ලබාදී ඇති අතර, පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන එය අනුමත කර නැත.
වන්දි ඉල්ලා නැත !
ඉහත වගඋත්තරකරුවන්ගේ ආර්ථික කළමනාකරණය මගින් ආර්ථික අර්බුදයක් ඇති වූ බවටත්, එමගින් වගඋත්තරකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මහජන විශ්වාසය කඩ කර ඇති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. පෙත්සම්කරුවන් වන්දි ඉල්ලා නැති අතර, අධිකරණය නියෝග කර ඇත්තේ පෙත්සම් ගාස්තු ලෙස එක් පෙත්සම්කරුවෙකුට රුපියල් 150,000 බැගින් ගෙවන ලෙසයි.
වැදගත් නිරීක්ෂණ
මෙම තීන්දුව මගින් අධිකරණය පහත කරුණු නිරීක්ෂණය කර තිබේ.
- වගඋත්තරකරුවන්ගේ හැසිරීම වර්තමාන ආර්ථික අර්බුදයට සෘජු ව දායක වී ඇත.
- වගඋත්තරකරුවන් අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය තීරණ නොගැනීම නිසා රටට පොදුවේ ලබාගත හැකිව තිබූ ධනාත්මක බලපෑම් අහිමි වීම.
- ජනතාවට වැඩි ප්‍රතිඵල ලැබෙන ලෙස කටයුතු කිරීමේ වගකීම රාජ්‍ය සේවකයන්ට ඇත.
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධාන අනුව මහජන විශ්වාසය ආරක්ෂා කරමින් රාජකාරි ඉටුකිරීමට වගඋත්තරකරුවන් බැඳී ඇත.
- රජයේ ප්‍රතිපත්තිමය තීරණවලට අදාළ වගකීම් නොතකා හැරීමට වගඋත්තරකරුවන්ට හැකියාවක් නැත.
- වගඋත්තරකරුවන්ට මෙම විපත්තිදායක තත්ත්වය වලක්වාගැනීම සඳහා අවශ්‍ය උපරිම බලය සහ දැනුම තිබිණි.
- ජනතාවට පොදු යහපතක් වන පරිදි මෙම ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම සඳහා වගඋත්තරකරුවන් කටයුතු කර නැත.
- වගඋත්තරකරුවන්ගේ අකර්මන්‍යතාව නිසා ආර්ථික අර්බුදයේ සීග්‍රතාව ඉහළ ගොස් ඇත.
- වගඋත්තරකරුවන් වෙත උපරිම මහජන විශ්වාසය ප්‍රදානය කර ඇති නිසා ගැටළු විසඳීමේදී වගකීමෙන් කටයුතු කිරීමට බැඳී සිටී.
- වගඋත්තරකරුවන්ගේ ක්‍රියා, අතපසු කිරීම් සහ හැසිරීම් ආර්ථික අර්බුදයට දායක වී ඇත.
මෙහිදී SC/FR/212/2022 පෙත්සම වෙනුවෙන් එස්.ඒ. බේලින්, චින්තක ප්‍රනාන්දු, සයුරි ලියනසූරිය, මනිෂා දිසානායක යන නීතිඥවරුන් සමග ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙනීසිටියහ.
SC/FR/195/2022 පෙත්සම වෙනුවෙන් නීතිඥ ශිරන්ති ගුණවර්ධනගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, විශ්වක පීරිස්, සඳමල් රාජපක්ෂ, ඉරංග පෙරේරා, සම්පත් විජේවර්ධන, ප්‍රමෝද් පෙරේරා සහ කේ. මොහොමඩ් පෙනීසිටියහ.
කොස්ටාරිකා උදාහරණය
කොස්ටාරිකා රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන නිගුවෙල් ඇන්ජල්ට මෑතකදී වසර 05ක සිරදඬුවමක් හිමිවූයේ විදුලි සංදේශ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අල්ලස් ලබාගැනීම නිසා ය. එම රාජ්‍යයේ ම හිටපු ඇමතිවරයෙකුට මාස 09ක සිරදඬුවමක් හිමිවූයේ ෆින්ලන්තය සමග කරන ලද ගනුදෙනුවකදී අල්ලස් ලබාගැනීම නිසා ය. මේ ආකාරයට රටවල් රැසක රාජ්‍ය නායකයන්, ඇමතිවරුන් සහ රජයේ ඉහළ නිලධාරීන් විසින් සිදුකරන ලද මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනු දැකිය හැකි විය.