නඩු විභාගයකින් තොරව සැකකරුවන් වසර 2ක් සිරගත කිරීමට ගෝඨාභය පැනවූ රෙගුලාසි අනුමත කරන්න තියා සංශෝධනය කරන්නවත් බෑ : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සෘජු තීන්දුවක් !

Share post:

පලවාහරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නිකුත් කළ රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

2021 මාර්තු 12දා මෙම රෙගුලාසි සඳහන් අංක 2218/68 දරන ගැසට් නිවේදනය එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කෙරිණි. එම ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් 03ක තීන්දුව ලබාදෙමින් විනිසුරු මඩුල්ල තීරණය කර ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 01/2021 නම් මෙම රෙගුලාසි මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 10, 12(1) සහ 13 ව්‍යවස්ථා උල්ලංඝනය වන බවයි.

10 වැනි ව්‍යවස්ථාව

සෑම තැනැත්තකුට ම තමන් අභිමත ආගමක් වැළඳගැනීමේ හෝ ඇදහීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හර්දය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.

12(1) ව්‍යවස්ථාව

නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය.

13 වැනි ව්‍යවස්ථාව

මෙහි ව්‍යවස්ථා 07ක් මගින් අත්තනෝමතික ව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබාගැනීමෙන් සහ දඬුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන පරිදි දණ්ඩන නීති පැනවීම තහනම් කිරීමේ නිදහස දැක්වේ.

මෙම රෙගුලාසි ව්‍යවස්ථානුකූල කිරීම සඳහා සංශෝධන ඉදිරිපත් කිරීම ප්‍රයෝගික නොවන බව ද අදාළ තීන්දුවේ සඳහන් කර ඇත. ඊට හේතුව එසේ ඉදිරිපත් කරනු ලබන සංශෝධන මගින් අදාළ රෙගුලාසිවල ආවේනික අඩුපාඩු සියල්ල සකස් කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කොට ඇති මූලික අයිතිවාසිකම් සියල්ලට අනුකූල වන ලෙස පෙළගැස්වීමට නොහැකි වීම බව ද එහි දක්වා තිබේ.

මීට අදාළ  SC/FR/91/2021 පෙත්සම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු විසින් ද, SC/FR/106/2021 පෙත්සම සිතාරා ශ්‍රින් අබ්දුල් සරූර් විසින් ද, SC/FR/107/2021 පෙත්සම අම්බිකා සත්කුනනාදන් විසින් ද ගොනුකර තිබිණි. පෙත්සමේ තීන්දුව ලබාදෙමින් බුවනෙක අලුවිහාරේ, මුර්දු ෆර්නෑන්ඩු සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වැඩිදුරටත් නියෝග කර ඇත්තේ පෙත්සම් ගාස්තු ලෙස රුපියල් 25,000 බැගින් රජයෙන් පෙත්සම්කරුවන්ට ගෙවිය යුතු බවයි.

ගෝඨාභය රාජපක්ෂගේ මෙම රෙගුලාසිවලට එරෙහිව අතරමැදි පෙත්සම් දෙකක් ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ ආචාර්ය මල්කාන්ති හෙට්ටිආරච්චි සහ අල්හාජ් අබ්දුල් ජවාඩ් අලීම් විසින් ය.

පෙත්සම්වල වගඋත්තරකරුවන් වූයේ නීතිපති, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න, පොලිස්පති චන්දන වික්‍රමරත්න, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි ය.

2021 මාර්තු 21 විභාගය අරඹන ලද මෙම පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ඊයේ (13) ලබාදෙන ලදි.

මෙම රෙගුලාසි සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි විරෝධයක් එල්ල විය.

නඩු විභාගයකින් තොරව වසර දෙකක් දක්වා අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීමට ඉඩ සලසන ශ්‍රී ලංකාවේ නව ‘රැඩිකලීකරණ’ රෙගුලාසි හෙළාදකින බව නීතිවේදීන්ගේ ජාත්‍යන්තර කොමිසම හෙවත් අයිසීජේ සංවිධානය එම රෙගුලාසි නිකුත් කළ අවස්ථාවේ ම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.

එම රෙගුලාසි මගින් සුළුතර ආගමික හා ජනවාර්ගික ප්‍රජාවන් වෙනස් කොට සැලකීමට භාජනය වන ආකාරයෙන් ඉලක්ක කළ හැකි බව ද එම සංවිධානය එමගින් පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ මැදිහත්වීමකින් තොරව විධායකය විසින් පනවන ලද මෙම රෙගුලාසි මගින් ප්‍රජාවන් අතර ආගමික හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වය, අසමගිය වැනි ක්‍රියාවන් ඇතිකිරීමට හේතුවන වචන හෝ සංඥා භාවිත කළ බවට සැකකරන පුද්ගලයන් නඩු විභාගයකින් තොරව වසර 02ක් දක්වා කාලයක් පුනරුත්ථාපනය කිරීමට ඉඩ ලබාගැනීම අරමුණු කරගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් අයිසීජේ හි නීති සහ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ඉයන් සයිඩර්මන් මෙසේ පවසා තිබිණි.

‘විධායක රෙගුලාසි මගින් නියම කර ඇති මෙම රෙගුලාසි මගින් පුද්ගලයන් නඩු විභාගයකින් තොරව සිරගත කිරීමට ඉඩ සලසයි. එම නිසා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය සහතික කිරීම් මෙන්ම ජාත්‍යන්තර නීතිමය බැඳීම් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

නව රෙගුලාසි කේවල් කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කිරීමට ඉඩ ඇත. එහිදී රැඳවියකුට නීත්‍යානුකූල චෝදනා මත සාධාරණ නඩු විභාගයක් වෙනුවට වසරක් හෝ දෙකක් පුනරුත්ථාපනයේ සිටීම හෝ අවිනිශ්චිත කාලයක් රැඳවුම් බාරයේ සිට නඩු කටයුතුවලට මුහුණ දීම යන තෝරාගැනීම් දෙකෙන් එකක් කිරීමට සිදු වේ.’

එසේ ම ඔවුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්විණි.

‘ශ්‍රී ලංකාව එකඟ වී සිටින සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 9 වන වගන්තිය මගින් ඕනෑම පුද්ගලයෙකුට ඔවුන්ගේ නිදහස අහිමිවූවන්ට අදාළ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් සහතික ගණනාවක් ලබාදී ඇති අතර, ඒවායින් බොහොමයක් මෙම නව රෙගුලාසියේ ඇතුළත් නොවේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් නැවත-නැවතත් තහවුරු කර ඇති පරිදි පරිපාලනමය රඳවා තබාගැනීමකට අවසර නැත.

නව රෙගුලාසි ප්‍රකාශයට පත්කිරීමට පෙර පවා ශ්‍රී ලංකා බලධාරීන් විසින් සුළුතර ප්‍රජාවන්ට හිංසා කිරීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ අයිසීසීපීආර් රෙගුලාසි භාවිත කර තිබිණි. නමුත් සුළු ජාතීන්ට එරෙහිව වෛරය හෝ ප්‍රචණ්ඩත්වය අවුස්සන පුද්ගලයන්ට එරෙහිව බලධාරීන් විසින් සුළු හෝ ක්‍රියාමාර්ග ගෙන නොමැත.

වෙනස්කම් කොට සැලකීමට, ප්‍රචණ්ඩත්වය හෝ සතුරුකමට හේතුවන වෛරී කතා වෙනුවෙන් පෙනීසිටීම තහනම් කරන අයිසීසීපීආර් පනතේ 3 (1) වගන්තිය මෙතෙක් සුළුතර ප්‍රජාවන්හි සාමාජිකයින් ඉලක්ක කිරීම සඳහා අනිසි ලෙස භාවිතා කර ඇත.

කොවිඩ් -19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් අනිවාර්ය ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියට එරෙහිව දෘෂ්ටිවාදාත්මක ‘ජිහාඩයක්’ ඉල්ලා සිටිමින් ෆේස්බුක් සටහනක් පළකළැයි 2020 අප්‍රේල් මාසයේදී විශ්‍රාමික රජයේ සේවකයෙකු වන රම්සි රසීක් අත්අඩංගුවට ගනු ලැබීය.

අයිසීසීපීආර් පනත යටතේ මාස පහකට වැඩි කාලයක් රඳවා සිටි ඔහු 2020 සැප්තැම්බර් මාසයේ වෛද්‍ය හේතූන් මත ඇප මත මුදාහැරිණි.

2020 මැයි මාසයේදී තරුණ මුස්ලිම් කවියෙකු වන අහ්නාෆ් ජසීම් දෙමළ භාෂාවෙන් ප්‍රකාශයට පත්කරන ලද කවි එකතුවක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම කවිවල අන්තවාදී පණිවුඩ අඩංගු බවට සිංහල බලධාරීන් විසින් වැරදි ලෙස අර්ථකථනය කරනු ලැබ ඇත.

නව රෙගුලාසි ප්‍රකාශයට පත්කිරීමෙන් දින කිහිපයකට පසු අහ්නාෆ්ගේ නීතිඥයින් අනතුරු ඇඟවූයේ අන්තවාදී ඉගැන්වීම්වල නිරත වූ බවට පිළිගන්නා ලෙසට අහ්නාෆ්ට සහ ඔහුගේ පියාට බලපෑම් කරන බව ය.

මානව හිමිකම් නීතීඥ හිජාස් හිස්බුල්ලා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ දීර්ඝ ලෙස රඳවා තබාගැනීම පිළිබඳව අප සංවිධානය මීට පෙර කරුණු ඉදිරිපත් කර තිබිණි. අත්අඩංගුවට ගැනීමට හේතුවක් ඉදිරිපත් නොකර මාස 10ක් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීමෙන් පසුව, ඔහු දැන් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ අයිසීසීපීආර් පනත යටතේ කථන ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් නඩු පවරනු ලැබ සිටී.

සැකකරුවන් මාස ගණනාවක් සහ බොහෝ විට වසර ගණනාවක් තිස්සේ කිසිදු චෝදනාවක් හෝ නඩු විභාගයක් නොමැතිව අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම, වධහිංසා පැමිණවීම සහ වෙනත් අපයෝජනයන්ට පහසුකම් සැලසීම සඳහා භාවිත කරනු ලබන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස අප සංවිධානය නිරන්තරයෙන් ඉල්ලා සිටී.’

මෙම රෙගුලාසි 2021 අංක 01 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ (දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවාගැනීමේ) නියෝග ලෙස ගැසට් නිවේදනයේ හඳුන්වා ඇත. එහි අංක 05 යටතේ ඇති 04 වැනි කොටසේ සඳහන් කර ඇත්තේ මේ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තෙකු නඩු විභාගයකින් තොරව පුනරුත්ථාපනය සඳහා යොමුකිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට හැකි බවයි.

ඒ සඳහා අවශ්‍ය වන්නේ නීතිපතිවරයාගේ ලිඛිත අනුමැතියක් පමණක් බව ද එම කොටසේ වැඩිදුරටත් දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් වන්නේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකුට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ මූලික අයිතියක් ඇති බවයි. එසේ තිබියදී මේ ආකාරයට නීතිපතිවරයාගේ මතය මත පමණක් පුද්ගලයෙකු පුනරුත්ථාපනයට යොමුකිරීමේ තීරණය ගැනීම බරපතළ කරුණක් බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

අදාළ ගැසට් පත්‍රයේ මෙසේ ද දැක්වේ.

‘(4) බාරවන්නෙකු හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තෙකු සිදුකරන ලද වරදේ ස්වභාවය අනුව එකී තැනැත්තාට එරෙහිව නඩු පැවරීමට විකල්පයක් වශයෙන් ඔහු මධ්‍යස්ථානයක් තුළ පුනරුත්ථාපනයට ලක්කිරීම සුදුසු බව නීතිපතිවරයාගේ මතය වන විට, නීතිපතිවරයාගේ ලිඛිත අනුමතය සමග එකී බාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා 3 වැනි නියෝගයේ සඳහන් වැරදිවලට අමතරව වෙනත් වැරදි සිදුකර ඇද්ද යන කාරණය පිළිබඳව සලකා බැලීමෙන් පසුව එකී තැනැත්තා වසරකට නොවැඩි කාලයක් පුනරුත්ථාපනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ හැකිය.’

1979 වර්ෂයේදී එවකට පාර්ලිමේන්තුව විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්මත කරන ලද්දේ තාවකාලික පනත් කෙටුම්පතක් වශයෙනි. නමුත් ඒ තාවකාලික පනත අද දක්වාම වසර 44ක කාලයක් මෙරට නීති පද්ධතිය තුළ රඳවාගෙන සිටී.

මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් සහ නිදහස සම්බන්ධ ප්‍රතිපාදනවලට පටහැනි ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සෑම සැකකරුවෙක්ටම තහවුරු කර ඇති නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට පටහැනි ය. නඩු නොමැතිව දීර්ඝ කාලයක් රඳවාගැනීම ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති වධහිංසාවන්ගෙන් සහ කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් වැළකීමේ නිදහසට පටහැනි ය.

මෙම පනත යටතේ බොහෝ පුද්ගලයන්, දේශපාලන ක්‍රියාකාරීන්, ආණ්ඩු විරෝධී මතධාරීන් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනිණි. වධහිංසා පමුණුවන ලදි. උතුරේත්, නැගෙනහිරත්, දකුණේත් ජීවිත දහස් ගණනක් මෙම නීතිය යොදාගෙන මර්දනයට ලක් කර ඇත.

අවස්ථා ගණනාවකදී මෙම පනත අහෝසි කරන බවටත්, සංශෝධනය කරන බවටත් පැවති ආණ්ඩු විසින් මෙරටට සහ ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු ලබා දී තිබේ.

මෙම රෙගුලාසි ප්‍රකාශයට පත්කොට මාස 07කට පසු, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත කඩිනමින් සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුරෝපා සංගම් නියෝජිත පිරිසකට දැනුම් දී තිබිණි. ඒ, 2021 ඔක්තෝබර් මාසයේදී ය. එය කඩිනමින් සිදුකරන බවට ජනාධිපතිවරයා ඔවුන්ට පොරොන්දු වී තිබිණි. එසේ ම මානව හිමිකම් සම්බන්ධයෙන් ලෝකයේ පවතින තත්ත්වයන්ට ගරු කරමින් කටයුතු කරන බවට ද එවකට ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බව මාධ්‍ය වාර්තා කළේය.
2021 ඔක්තෝබර් 04දා මෙම යුරෝපා සංගම් නියෝජිත පිරිස මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේදී ඔහු හමු වූ බව ද මාධ්‍ය වාර්තා කළේය. ජීඑස්පී සහනය ලබාදීම සහ ඊට අදාළ කටයුතු ලංකාව තුළ විධිමත්ව සිදුවන්නේ ද යන්න සම්බන්ධයෙන් නිරීක්ෂණය කොට වාර්තාවක් සකස් කිරීම සඳහා මේ කණ්ඩායම ලංකාවට පැමිණ තිබිණි.
මීට‌ පෙර ද ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීම සඳහා සිදුකෙරෙන කාර්යයන් පිළිබඳව යුරෝපා සංගමයට දැනුම් දුන් බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සමාලෝචනය කිරීමට සහ තෙමසක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් සහ එම අමාත්‍ය මණ්ඩලයීය අනුකමිටුවට සහාය වීම සඳහා නිලධාරීන්ගේ කමිටුවක් පත්කිරීමට 2021 ජුනි 21 දා අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවට ද යුරෝපා සංගමයට දැනුම් දුන් බව විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ කාලයේදී පැවසීය.
මීට අදාළ ව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් විය.
‘ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව සලකා බලමින් ලංකාවට ලබාදී ඇති ජීඑස්පී සහනය අහෝසි කිරීමට කටයුතු ආරම්භ කිරීම ඇතුළු කරුණු ඇතුළත් යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුව පසුගිය 10 වැනිදා සම්මත කළේය. මේ සඳහා ප්‍රධාන හේතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම බව එම යෝජනාවේ දැක්විණි.
ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජීඑස්පී+ සහනය සහ එයින් ලැබෙන ප්‍රතිලාභ තාවකාලිකව ඉවත් කර ගැනීම සඳහා වන ක්‍රියා පටිපාටියක් ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් හේතු තිබේද යන්න පිළිබඳව තක්සේරුවක් කරන ලෙස ද යුරෝපා පාර්ලිමේන්තුව යෝජනා කර තිබිණි. ජීඑස්පී+ සඳහා ශ්‍රී ලංකාවේ සුදුසුකම් තක්සේරු කිරීමේදී වර්තමාන සිදුවීම් නිසි ලෙස සැලකිල්ලට ගන්නා ලෙස ද මෙමගින් යෝජනා කර තිබිණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව භාවිත කිරීමට එරෙහිව දැඩි විරෝධය පළකරන බවත්, එම පනත සමාලෝචනය කිරීමට හා අවලංගු කිරීමටත් එය අන්තර්ජාතික නියමිත භාවිතයන්ට අනුකූල වන ත්‍රස්ත විරෝධී නීති මගින් ප්‍රතිස්ථාපනය කිරීමටත් දුන් පොරොන්දුව ඉටු කරන ලෙස යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය.’
මීට පෙර 2021 ජනවාරි මාසයේදී ද ආණ්ඩුව යුරෝපා සංගමයට මේ සම්බන්ධයෙන් පොරොන්දුවක් ලබාදී තිබිණි. ඒ වාර්ෂික ද්විපාර්ශ්වීය ඒකාබද්ධ සාකච්ඡාවේදී ය. ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව සලකා බලමින් ලංකාවට ලබාදී ඇති ජීඑස්පී සහනය අහෝසි කිරීමට කටයුතු ආරම්භ කිරීම ඇතුළු කරුණු ඇතුළත් යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුව විසින් සම්මත කළ අතර, එහිදී ද මේ පොරොන්දුව පිළිබඳව අවධානය යොමු කෙරිණි. මේ සඳහා ප්‍රධාන හේතුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම බව 2021 ජුනි මාසයේදී ඉදිරිපත් කෙරුණු එම යෝජනාවේ දැක්විණි.

  • ශාලික විමලසේන

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...