රත්පැහැ සලකුණක නෙක පැහැ දකිමි

Share post:

හද්දා පිටිසර ගොවිබිමක සිට ගාලු මුවදොර අරගල බිම දක්වා පොළොව මත ඇඳුණු මිනිස් පැල්ලම් රැසක කාව්‍යමය හැඩතල රත්පැහැ සලකුණක් කවි සමුච්චයෙහි සටහන් ව තිබේ. මේ කිවිඳිය අසංගි විජේසූරියයි. අසංගිගේ රූපකාය සාහිත්‍ය මණ්ඩප, වැඩබිම් අරගල බිම්, සද්පුරුෂයන් දිරිගන්වන සමාජ ක්‍රියාකාරකම්හි ප්‍රිය මනාප දසුනක් වන අතර ම එසැණින් මැකී නොයන නාමකායක්ද ඇයට තිබේ.පැතිරුණු අත්දැකීම් කලාපයක් මත ඇයට තම කවිය වර්ණවත් කිරීමේ භාග්‍යය හිමි ව තිබේ.

මේ නිසා ම බොහෝ විට සිදුවිය හැකි අමු බව,අත්දැකීම්වලින් ඔබ්බට නොයෑම යනාදී දුබලකම්වලින් අත්මිදීමට ඇය සමත් වී තිබීම මෙහි ඇතැම් කවිවල මුඛ්‍ය ලක්ෂණයක් ලෙස දකිමි.
හිනැහෙන්න චන්ද්‍රිකා කවිය උපුටමි.

ජීවිතේ ගැන ගැඹුරු නිසසල
කථාවක් පතුලේ තියා
බොර සිනා පෙණ කැටි දරාගෙන
ඇවිත් යන ඉවුරම සොයා
ඇඹිලිපිටියට ඉහළ අහසේ
කඳු පෙළට දුක කිය කියා
චන්ද්‍රිකා දැන් වැලපුණා ඇති
ටිකක් හිනැවෙනවද ඔයා

කෙනෙක් ආගිය පා ලකුණු ඇති
ඉවුර මත තැන තැන රැඳී
කොතෙක් දිය පිට සැනසුණාදැයි
හොඳට නුඹ මතකේ ඇතී
කලාතුරෙකින් අයෙක් නතර ව
පතුලටම ගුලිවී නිදී
දරාගත් ඒ කතාවද මේ
කියන්නේ ඉවුරේ වැදී

අඳුරු බියකරු අතීතයෙ පිටු
මක මකා අලුතෙන් ලියා
දරාගනු බැරි සත්‍යයේ
රළු රහස් උඩු හුළඟේ ගියා
රතට ලේ බිඳු උරාගත් බව
බොර ඇසින් ඉඟි කර කියා
දවා අළු කළ යෞවනය ගැන
තවම වැළපෙනවද ඔයා

මෙහි නිමිත්ත ඇඹිලිපිටියෙහි චන්ද්‍රිකා වැවයි.කිවිඳියටමේ වැව අජීවී වස්තුවක් නොවේ.රූපකයකි.වැව හුස්ම ගනී.ඇය දරාගෙන සිටින වෘත්තාන්ත බොහෝය.වැව පිහිටියේ දරිද්‍රතාවෙන් බැට කන පීඩිතයන් බහුල කලාපයකය.විෂම සමාජය වෙනස් කිරීමේ යහපත් අරමුණෙන් අරගල කර මියගිය තරුණ පිරිස්හි රුහිරු ද මෙහි කිඳී ඇත.එමෙන්ම එහි දියවරින් නිවී සැනසුණු අය ද දියෙහි කිඳී දිවි අත්හළ අයද වශයෙන් මේ වැව දරාගෙන සිටින කතා බහුල ය.
කවියෙහි ප්‍රස්තුතයට උචිත වන ළයාන්විත රිද්මයක් පවත්වා ගැනීමට කිවිඳිය සමත්වෙයි.

මේ වැව නම් කර ඇත්තේ ප්‍රකට දේශපාලන නායිකාවක් පැටි වියෙහි සිටියදී ඇයට ඇති ආදරය සිහිවටනයක් වනු පිණිස වැඩිහිටි දේශපාලකයකු විසිනි.ඒ අනුව මේ නම කියැවෙන විට ම තත්කාලීන විඥානය අනුව වියපත් දේශපාලන නායිකාවක් නිරායාසයෙන් සිහිපත් වීම ද නොවැළැක්විය හැකි සත්‍යයකි.වියපත් මිනිස් දුවකගේ ජීවන විත්තිය ද වැවේ ජීවන විත්තය පරිදි ම වැලපුමකි.

“චන්ද්‍රිකා දැන් වැලපුණා ඇති
ටිකක් හිනැහෙනවද ඔයා”

රසිකයකු හැටියට මට දැනෙන දේ සමහර විට කිවිඳිය අපේක්ෂා නොකළ දෙයක් වන්නටද පුලුවන.කවියක් විඳීමේ ස්වභාවය එයයි.

මහරු සමරු කවියට ප්‍රස්තුත වී ඇත්තේ රජරට ගොවි පියෙකුගේ වියෝවයි.ආරම්භක කවිය මෙසේය.

නිල් සළුව පොරවගෙන කැකිරාවෙ සරු කුඹුරු
මද සුළඟෙ සැලෙනකොට මා දෙසට වී නැඹුරු
තිරප්පන වැවේ එක රටාවට පිපි තඹුරු
කතාවක් මිමිනුවා නුඹ ගැනම හරි සොඳුරු

මේ කවියෙහි මාතෘකාවෙහි වචන දෙක අවසන් වන රු අක්ෂරය කවිපෙළෙහි හැම පාදයක් ම අවසන යොදාගෙන ඇත.
අවසන් පාද දෙක මෙසේය.

සෙනෙහසින් ලියාදී පාඩමක් මට මහරු
ගියාදෝ සීයෙ නුඹ රජරටම කර අඳුරු

කව්පෙළ අවසන් වන්නේ අඳුරු යන වචනයෙනි.ගොවි පියෙකුගේ වියොව නිසා අඳුර ඇති වන බව කීව ද කවිය පුරාම ගලායන්නේ ගොවි දිවිය හා බැඳුණු සෞන්දර්ය ප්‍රවාහයකි.

අනුප්‍රාස ලක්ෂණ සහිත කව්පෙළෙහි නිල් සළුව,හිරුමඬල,පිපියතඹුරු,මඳ සුළඟ,ආදරේ ගල්කුළ යනාදී වදන් වහර ගොවි පියකු ජීවත් වූ පරිසරයෙහි රමණීයත්වය ගැන කියයි.

ගුණදාස අමරසේකර කිවියාණන් 95 වැනි විය සපුරන මොහොතේ සිංහල කවියෙහි නිදහස් යුගයට ඔහු දුන් සුවිසල් දායකත්වයද සිහිවන්නේ ඔහු විසින් බහුප්‍රචාරයට පත් කරන ලද පස්මත් විරිත අසංගිගේ ඇතැම් කවිවලට ද නිරායාසයෙන් පිවිස තිබෙනු දැකීමෙනි.

කිවිඳියගේ බොහෝ කවි හිරුට සම්බන්ධ වෙයි.
කවි කිහිපයක ආරම්භය දක්වමි.

නැගිටින් මගෙ පුතේ නැගිටින් කියාගෙන
ඉර මල වගේ කවුළුව ළඟ උදෑසන……
අතින් බඩු මලු දෙකක් අරගෙන
ඉරක් කන්දක් නගිනු දැක්කා…..

එහෙත් ඒ ඒ කවිවල සංකල්ප රූප ගොඩනගා ඇති ආකාරය අනුව ඉර ඒකාකාරී බවක් නොහැඟේ.
සැවැන්දරා මිත්තණිය කවිය ද අපූරුය.

මිත්තණිය පරිහරණය කළ බොහෝ දේවල් අතපත ගාන මිණිබිරියට අතීත මිහිර සිහිවෙයි.

“අතීතය රන් මංජුසාවකි
බොහෝ කලකින් බැලු විවර කර”

මේ සුන්දර වියමන පළුදු වන අවස්ථාවක් උපුටමි.

“වළකන්න බැරි කඳුළු සයුරකි
සතේ කාසිය තිබුණු හැඹිලිය.”

කඳුළු සයුර යෙදුම කවියෙහි සුබෝධතාව,සංගත බව පළුදු කරන්නක් යැයි හැඟේ.
ඉරක මළගම,කොහොඹ ගස,බදුලු යන ගමන්,උදා ගීය යනාදී කවි කිහිපයකම කිවිඳියගේ ප්‍රතිභා ශක්තිය කැටපත් වෙයි.
සාර්වික සත්‍යය(Universal Truth) කෙරෙහි කිවිඳියගේ නැඹුරුව ද දැනේ.
සංකල්ප රූප භාවිතය පිළිබඳවද ඇය සැලකිලිමත් වෙයි.

සුබෝධතා ගුණය සහ සංක්ෂේපන ගුණය කෙරෙහි වඩා සැලකිලිමත් වීම ඇගේ අනාගත කවියට මහරු අගයක් ලබා දෙන බව නිසැකය.

තිඹිරියාගම බණ්ඩාර

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...