රත්පැහැ සලකුණක නෙක පැහැ දකිමි

Share post:

හද්දා පිටිසර ගොවිබිමක සිට ගාලු මුවදොර අරගල බිම දක්වා පොළොව මත ඇඳුණු මිනිස් පැල්ලම් රැසක කාව්‍යමය හැඩතල රත්පැහැ සලකුණක් කවි සමුච්චයෙහි සටහන් ව තිබේ. මේ කිවිඳිය අසංගි විජේසූරියයි. අසංගිගේ රූපකාය සාහිත්‍ය මණ්ඩප, වැඩබිම් අරගල බිම්, සද්පුරුෂයන් දිරිගන්වන සමාජ ක්‍රියාකාරකම්හි ප්‍රිය මනාප දසුනක් වන අතර ම එසැණින් මැකී නොයන නාමකායක්ද ඇයට තිබේ.පැතිරුණු අත්දැකීම් කලාපයක් මත ඇයට තම කවිය වර්ණවත් කිරීමේ භාග්‍යය හිමි ව තිබේ.

මේ නිසා ම බොහෝ විට සිදුවිය හැකි අමු බව,අත්දැකීම්වලින් ඔබ්බට නොයෑම යනාදී දුබලකම්වලින් අත්මිදීමට ඇය සමත් වී තිබීම මෙහි ඇතැම් කවිවල මුඛ්‍ය ලක්ෂණයක් ලෙස දකිමි.
හිනැහෙන්න චන්ද්‍රිකා කවිය උපුටමි.

ජීවිතේ ගැන ගැඹුරු නිසසල
කථාවක් පතුලේ තියා
බොර සිනා පෙණ කැටි දරාගෙන
ඇවිත් යන ඉවුරම සොයා
ඇඹිලිපිටියට ඉහළ අහසේ
කඳු පෙළට දුක කිය කියා
චන්ද්‍රිකා දැන් වැලපුණා ඇති
ටිකක් හිනැවෙනවද ඔයා

කෙනෙක් ආගිය පා ලකුණු ඇති
ඉවුර මත තැන තැන රැඳී
කොතෙක් දිය පිට සැනසුණාදැයි
හොඳට නුඹ මතකේ ඇතී
කලාතුරෙකින් අයෙක් නතර ව
පතුලටම ගුලිවී නිදී
දරාගත් ඒ කතාවද මේ
කියන්නේ ඉවුරේ වැදී

අඳුරු බියකරු අතීතයෙ පිටු
මක මකා අලුතෙන් ලියා
දරාගනු බැරි සත්‍යයේ
රළු රහස් උඩු හුළඟේ ගියා
රතට ලේ බිඳු උරාගත් බව
බොර ඇසින් ඉඟි කර කියා
දවා අළු කළ යෞවනය ගැන
තවම වැළපෙනවද ඔයා

මෙහි නිමිත්ත ඇඹිලිපිටියෙහි චන්ද්‍රිකා වැවයි.කිවිඳියටමේ වැව අජීවී වස්තුවක් නොවේ.රූපකයකි.වැව හුස්ම ගනී.ඇය දරාගෙන සිටින වෘත්තාන්ත බොහෝය.වැව පිහිටියේ දරිද්‍රතාවෙන් බැට කන පීඩිතයන් බහුල කලාපයකය.විෂම සමාජය වෙනස් කිරීමේ යහපත් අරමුණෙන් අරගල කර මියගිය තරුණ පිරිස්හි රුහිරු ද මෙහි කිඳී ඇත.එමෙන්ම එහි දියවරින් නිවී සැනසුණු අය ද දියෙහි කිඳී දිවි අත්හළ අයද වශයෙන් මේ වැව දරාගෙන සිටින කතා බහුල ය.
කවියෙහි ප්‍රස්තුතයට උචිත වන ළයාන්විත රිද්මයක් පවත්වා ගැනීමට කිවිඳිය සමත්වෙයි.

මේ වැව නම් කර ඇත්තේ ප්‍රකට දේශපාලන නායිකාවක් පැටි වියෙහි සිටියදී ඇයට ඇති ආදරය සිහිවටනයක් වනු පිණිස වැඩිහිටි දේශපාලකයකු විසිනි.ඒ අනුව මේ නම කියැවෙන විට ම තත්කාලීන විඥානය අනුව වියපත් දේශපාලන නායිකාවක් නිරායාසයෙන් සිහිපත් වීම ද නොවැළැක්විය හැකි සත්‍යයකි.වියපත් මිනිස් දුවකගේ ජීවන විත්තිය ද වැවේ ජීවන විත්තය පරිදි ම වැලපුමකි.

“චන්ද්‍රිකා දැන් වැලපුණා ඇති
ටිකක් හිනැහෙනවද ඔයා”

රසිකයකු හැටියට මට දැනෙන දේ සමහර විට කිවිඳිය අපේක්ෂා නොකළ දෙයක් වන්නටද පුලුවන.කවියක් විඳීමේ ස්වභාවය එයයි.

මහරු සමරු කවියට ප්‍රස්තුත වී ඇත්තේ රජරට ගොවි පියෙකුගේ වියෝවයි.ආරම්භක කවිය මෙසේය.

නිල් සළුව පොරවගෙන කැකිරාවෙ සරු කුඹුරු
මද සුළඟෙ සැලෙනකොට මා දෙසට වී නැඹුරු
තිරප්පන වැවේ එක රටාවට පිපි තඹුරු
කතාවක් මිමිනුවා නුඹ ගැනම හරි සොඳුරු

මේ කවියෙහි මාතෘකාවෙහි වචන දෙක අවසන් වන රු අක්ෂරය කවිපෙළෙහි හැම පාදයක් ම අවසන යොදාගෙන ඇත.
අවසන් පාද දෙක මෙසේය.

සෙනෙහසින් ලියාදී පාඩමක් මට මහරු
ගියාදෝ සීයෙ නුඹ රජරටම කර අඳුරු

කව්පෙළ අවසන් වන්නේ අඳුරු යන වචනයෙනි.ගොවි පියෙකුගේ වියොව නිසා අඳුර ඇති වන බව කීව ද කවිය පුරාම ගලායන්නේ ගොවි දිවිය හා බැඳුණු සෞන්දර්ය ප්‍රවාහයකි.

අනුප්‍රාස ලක්ෂණ සහිත කව්පෙළෙහි නිල් සළුව,හිරුමඬල,පිපියතඹුරු,මඳ සුළඟ,ආදරේ ගල්කුළ යනාදී වදන් වහර ගොවි පියකු ජීවත් වූ පරිසරයෙහි රමණීයත්වය ගැන කියයි.

ගුණදාස අමරසේකර කිවියාණන් 95 වැනි විය සපුරන මොහොතේ සිංහල කවියෙහි නිදහස් යුගයට ඔහු දුන් සුවිසල් දායකත්වයද සිහිවන්නේ ඔහු විසින් බහුප්‍රචාරයට පත් කරන ලද පස්මත් විරිත අසංගිගේ ඇතැම් කවිවලට ද නිරායාසයෙන් පිවිස තිබෙනු දැකීමෙනි.

කිවිඳියගේ බොහෝ කවි හිරුට සම්බන්ධ වෙයි.
කවි කිහිපයක ආරම්භය දක්වමි.

නැගිටින් මගෙ පුතේ නැගිටින් කියාගෙන
ඉර මල වගේ කවුළුව ළඟ උදෑසන……
අතින් බඩු මලු දෙකක් අරගෙන
ඉරක් කන්දක් නගිනු දැක්කා…..

එහෙත් ඒ ඒ කවිවල සංකල්ප රූප ගොඩනගා ඇති ආකාරය අනුව ඉර ඒකාකාරී බවක් නොහැඟේ.
සැවැන්දරා මිත්තණිය කවිය ද අපූරුය.

මිත්තණිය පරිහරණය කළ බොහෝ දේවල් අතපත ගාන මිණිබිරියට අතීත මිහිර සිහිවෙයි.

“අතීතය රන් මංජුසාවකි
බොහෝ කලකින් බැලු විවර කර”

මේ සුන්දර වියමන පළුදු වන අවස්ථාවක් උපුටමි.

“වළකන්න බැරි කඳුළු සයුරකි
සතේ කාසිය තිබුණු හැඹිලිය.”

කඳුළු සයුර යෙදුම කවියෙහි සුබෝධතාව,සංගත බව පළුදු කරන්නක් යැයි හැඟේ.
ඉරක මළගම,කොහොඹ ගස,බදුලු යන ගමන්,උදා ගීය යනාදී කවි කිහිපයකම කිවිඳියගේ ප්‍රතිභා ශක්තිය කැටපත් වෙයි.
සාර්වික සත්‍යය(Universal Truth) කෙරෙහි කිවිඳියගේ නැඹුරුව ද දැනේ.
සංකල්ප රූප භාවිතය පිළිබඳවද ඇය සැලකිලිමත් වෙයි.

සුබෝධතා ගුණය සහ සංක්ෂේපන ගුණය කෙරෙහි වඩා සැලකිලිමත් වීම ඇගේ අනාගත කවියට මහරු අගයක් ලබා දෙන බව නිසැකය.

තිඹිරියාගම බණ්ඩාර

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...