බිංගෙයින් එළියට විහිදෙන ආලෝක ලපය

Share post:

“වැල්මී හාදු ගණනාවක තෙත
ඉතා පරිස්සමට
මංජුසාවක බහා….”

ඔහුගෙ පෙම් කතා කැපී පෙනෙන ලස්සනකින් යුක්තයි. ඒ කැපී පෙනෙන ලස්සන එන්නෙ භාෂාවෙන්. කවි බසක් තමන්ටම තනාගන්න කවියෙක් සමර්ථ වුණාම ඔහුට ඇරෙනවා වෙනත් අයට නොඇරුණු කුඩා කවුළුවක්. මෙන්න මේ කවුළුවෙන් එළියටත්-ඇතුළටත් අනුලෝමවත්, ප්‍රතිලෝමවත් ගලන සිතීමේ කලාපයේ ඉදගෙනයි ඊට පස්සෙ අපි කවි කියවන්න ගන්නෙ. ධනංජය බණ්ඩාර තමන්ගෙ පළමු කවි කලාපය පාඨකයාට විවර කරලා දෙන්නෙ ගෙදර වැඩ රාශියක් කිරීමෙන් අනතුරුවයි. ඔහුගේ කවි බස හරිම නැවුම්. අපූරු කාව්‍යෝක්ති බහුලයි. ‘වෙනත් කෙනෙක් පැමිණිලා’ වගේ රස පණිවිඩයක් ඔහුගේ කවි ඇතුළෙන් ඇහෙන්නේ. ඔහු කියවන්නාට විවර කරලා දෙන්නෙ වෙනත් කලාපයක රසයක්.

මම එහෙම කියන්නෙ මෑතකාලීන කවි පොත් රාශියක් කියවලා දැඩි මහන්සියක් දැනිලා සිංහලේ ගිහින්වත් වෙන ප්‍රවර්ගයක, වෙන රසයක කවි පොතක් හොයාගන්න ඕනා කියලා කල්පනාවෙ නිරතවෙලා හිටපු නිසයි.

වචන එකතු කරන්නෝ සහ වචන නිෂ්පාදනය කරන්නෝ පැහැදිලිවම දෙවර්ගයක්. අලංකාර වචන යම් තැනකින් උදුරගෙන ඒවා තමන්ගේ මිදුලේ පැළ කිරීම්වලට එහා ගිය යමක් ‘කවියක්’ ඉල්ලා සිටිනවා. මේ ඉල්ලා සිටීම නොතකා ඉන්නත්, ඊට එරෙහි වෙන්නත්, අනුකූල වෙන්නත් කවියෙකුට පුළුවන්. එහෙව් ඉල්ලා සිටීම් නොතකා සිටීම නිසා එකම අච්වුවේ වචන එකතු කරන කවිත්, අනුකූල වන්නන් නිසා රසවත් කවිත් බිහිවෙනවා. දැන් අපි හැරෙන්නෙ රසවත් කවි දිහාටයි.

29 වැනි කවිය, ‘ඈ ඉන්නල හාරපු තැන’ සුලබව අහලා තියෙන කතාවක් බොහොම හෘද සංවේදීව කවියකට ගෙනාපු අවස්ථාවක්. අලි-මිනිස් ගැටුම ගැන නොයෙක් කඹ ඇදිලි අතරේ තමයි ඈ අහිමි වෙන්නෙ. කවියම ශෝකී චිත්‍රයක්. ඔහු ශෝකය හඟවන්න පාවිච්චියට ගේන්නෙ, තෝරගන්නෙ වචනෙ සුඟයි. ඉතා ඉක්මනින් ශෝකීම අවස්ථාව කියලා ඉවර කරනවා. එතැනින් එහාට එළැඹෙන්නෙ සිතීමේ කලාපයයි. ඒ වගේම ශෝකය සහ ප්‍රමෝදයත් ඔහු එකම තැනක පටලවනවා. ඒ කවියේ අවසානයේ.

“මේ මෙතැන තමයි

ඉන්නල, හාරපු තැන
අලියට මුලිච්චි වුණ තැන
අප දෙදෙන
මත් වෙච්ච තැන”

මේ උඩින් උපුටලා තියෙන්නෙ ඒ කවියෙ අවසානය.

“කළු කුහරයකින්
දෑස් දැල්වෙයි නිවෙයි
ඔව්,
ඒ නුඹ තමයි
ඔබ ඇස්වලින්
අත වනයි”

ඇස්වලින් අත වනයි, කළු කුහරයකින් දෑස් දැල්වෙයි, නිවෙයි වගේ යෙදුම් නිසාම නැවත කවිය කියවන්න යොමුවෙනවා.
ඔහු තවත් තැනක ‘නිලමැස්සෝ බෙර ගහගෙන’ ආදී යෙදුමක් පාවිච්චියට ගන්නවා.

“ඉක්මනින් කේන්ති ගිය
ධාරානිපාත වර්ෂාවකට පසුව
මොනතරම් නිශ්ශබ්දද
අඳුරු බර මුහුණු”

‘නූල් පොටක් නැති අන්ධකාරේ’, ‘ඒ සුළං ශබ්ද බුදු අම්මෝ කියනවා වාගෙයි’, ‘මනමාලකම් කර වන මල් වැල’
මේ වගේ රස යෙදුම් රාශියක් ‘බිංගෙය පසුකර බිංගෙය’ කවි පොතේ දකින්න ලැබෙනවා.
අපි උපසර්ග වෙමුද?, තොටියෙක් වැනි කවි තවත් වැඩුණා නම් මම කැමතියි.
ලවන සහිත කවි දූපතකට අලුත් ගංගාවක රසක් රැගෙන ආවාට තුති ධනංජය!!

කාංචනා අමිලානි (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...