ක්‍රිස් සිල්වර්වූඩ් සහ මහේල ජයවර්ධන

Share post:

සමාජ මාධ්‍ය ඔස්සේ හෝ මිනිසුන් නිවැරදි තොරතුරු වලින් දැනුවත් වීම කොතරම් වැදගත් දැයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ඊයේ පැවැති මාධ්‍ය හමුවෙන් පැහැදිලි වුණා.
මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමත් සමග වැඩ කරන්නේ බොහෝ කාලයක ඉඳලා.

නමුත් පෙර කිසිම දිනෙක ඔහු කණ්ඩායම හෝ සිය වගකීම් පිළිබඳව හෝ කතා කිරීමට මාධ්‍ය ඉදිරියේ පෙනී සිට නැහැ.
මින්පෙර මහේල, ඔහුට හැකි දිනවල දී කණ්ඩායම සමග හිටියා.
විදෙස් ලීග පැවතෙද්දී කණ්ඩායම හැර ගියා.

සිටි, නොසිටි සෑම තරගාවලියකම තේරීම් සම්බන්ධ අවසන් බලධාරියා මහේල වුණා.
නමුත් ඒ කිසිම අවස්තාවක මහේල මාධ්‍යයේ හෝ ජනතාවගේ ප්‍රශ්න කිරීමකට ලක් වුණේ නැහැ.
එයට හේතුවක් තිබුණා.

රටේ බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ මහේල කරන්නේ ස්වේච්ඡා සේවයක් කියලා.
මහේල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් රටට සහ ජනතාවට හඟවලා තිබුණේ ඒ විදියට.
නමුත් එය එසේ නොවන බව හෙළිවුණේ සමාජ මාධ්‍යයෙන්.

ඔහු සතු වගකීම්, ඔහු සතු බලය සහ ඔහුගේ ගෙවීම් සියල්ල හෙළිවුණේ සමාජ මාධ්‍යයෙන්.
මහේල ජයවර්ධනට තිරය ඉදිරියට පැමිණ මාධ්‍යයට සහ රටේ ජනතාවට පිළිතුරු දීමට සිදු වුණේ ඉන් පසුවයි.
තමන් දරනා බලයට, තමන් ලබා ගත් තීරණ වලට ප්‍රථම වතාවට වගකීමට මහේලට සිදු වුණා.
එය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය පැත්තෙන් යහපත් ප්‍රවණතාවයක්.

වගකීම් දරනා, තීරක බලයන් හිමි කිසිවෙකුත් තිරය පසුපස සැඟව සිටිය යුතු නැහැ.
මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග නවයක් ක්‍රීඩා කළා.
ඉන් තරග හතක් ක්‍රීඩා කරද්දී මහේල කණ්ඩායම සමග හිටියා.

තරග දෙකක් මහේලට මගහැරුනා. ඒ ඔහු තාවකාලිකව යළි ශ්‍රී ලංකාවට පැමිණි නිසා.
මහේල කණ්ඩායමේ සිටිමින් සැලසුම් සකස් කළ තරග හත ශ්‍රී ලංකාව පරාජය වුණා.
මහේල මගහැරුනු, ක්‍රිස් සිල්වර්වූඩ් පමණක් කණ්ඩායම මෙහෙයවූ තරග දෙක (නෙදර්ලන්තය සහ එංගලන්තය සමග) ශ්‍රී ලංකාව ජය ගත්තා.

මෙහි අදහස මහේල නිසා ශ්‍රී ලංකාව පරාජය වීම හෝ, මහේල නොසිටියා නම් ශ්‍රී ලංකාව තරග ජයග්‍රහණය කිරීමට තිබුණා ය යන්න නොවෙයි.
ක්‍රිස් සිල්වර්වූඩ් යනු මේ මොහොතේ ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨ පුහුණුකරුවෙක්.
ඔප්පු කර තිබෙනා පුහුණුකරුවෙක්.

එවැන්නෙකුට ශ්‍රී ලංකා කණ්ඩායම භාරදීම හොඳ තීරණයක්.

නමුත් ගැටලුව නම් ක්‍රිස් සිල්වර්වූඩ් කණ්ඩායමේ සිටිය දී ඔහුට ඉහළින්, මහේල හෝ වෙනත් ඕනෑම පුහුණුකරුවෙකුගේ සේවය කණ්ඩායමට අවශ්‍ය ද යන්නයි.
තනිව කණ්ඩායමක් ගොඩ නැගීමට නොහැකි තරම්, තනිව සැලසුමක් සකස් කිරීමට නොහැකි තරම් ක්‍රිස් සිල්වර්වූඩ් දුර්වල ද යන්නයි.
ලොව කිසිදු කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරුට ඉහළින් තවත් මෙවැනි පුහුණුකරුවෙකු හෝ ප්‍රධාන පුහුණුකරුවන් දෙදෙනෙකු නැහැ.
නැවක සිටිය යුත්තේ එක් ප්‍රධාන කප්පිත්තෙකු පමණයි.

කෝකියන් ප්‍රමාණය වැඩිවීම ඇතැම්විටෙක සූප් බාල්දියේ ගුණාත්මකභාවය අඩු කිරීමට හේතුවක්.
අප ක්‍රිස් සිල්වර්වූඩ් හෝ ලොව වෙනත් හොඳ ඕනෑම ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කළත්, ඔහුට වැඩ කිරීමට සහ තීරණ ගැනීමට අවශ්‍ය නිදහස නොමැති නම් එය ගැටලුවක්.

ක්‍රිකට් පුහුණුකරුවන්ට තමන්ටම ආවේණික ක්‍රම සහ සැලසුම් තිබෙනවා.
ඔවුන් දිගුකාලීන ඉලක්කයක් යටතේ ඒවා ක්‍රියාවට නංවනවා.

ක්‍රිස් සිල්වර්වූඩ් හෝ වෙනත් ඕනෑම ප්‍රධාන පුහුණුකරුවෙකුට සිය සැලසුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිදහස සහ බලය තිබිය යුතුයි.
එම වගකීම් බෙදීයාමෙන් සිදුවන්නේ එක් නිශ්චිත, දීර්ඝ කාලීන සැලසුමක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රියාත්මක නොවීම පමණයි.
මෙරට ක්‍රිකට් ගොඩනැගිය හැක්කේ දේශීය පුහුණුකරුවන්ට පමණක් යැයි බොහෝ කලෙක සිට මෙරට හිටපු දේශීය ක්‍රීඩකයන් මතයක් ගොඩනගමින් සිටිනවා.

ඒ සඳහා ඔවුන් විවිධ හේතූන් ද ඉදිරිපත් කරනවා.

මෙරට ක්‍රිකට් සංස්කෘතිය සහ ක්‍රීඩකයන් පිළිබඳ ඇති වැටහීම, භාෂාමය ගැටලු නොමැතිවීම ඉන් කිහිපයක්.
නමුත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රහණ ලැබූ කාලයේ, ඒ සියලූම ජයග්‍රහණ පසුපස සිටියේ විදෙස් පුහුණුකරුවන්.
ඩේව් වට්මෝ, ටොම් මූඩි ගේ සිට ට්‍රේවර් බේලිස් දක්වා ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයන් පසුපස විදෙස් පුහුණුකරුවන් සිටියා.
ශ්‍රී ලංකාව වැනි රටකට දේශීය පුහුණුකරුවන්ට වඩා, විදෙස් පුහුණුකරුවන් ගැලපීමට එක් හේතුවක් තිබෙනවා.
මෙරට දේශීය පුහුණුකරුවන් ලෙස පත්වන්නේ හිටපු ක්‍රීඩකයන්.

ඔවුන්ට තදින් බැඳුණු, මෙරට ක්‍රීඩා සමාජයක් තියෙනවා.
ඔවුන් ආදරය කරනා මෙරට පාසලක් තියෙනවා.
මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය පුරා විහිදුනු මිතුරු ජාලයක් සිටිනවා.
ඔවුන් පුහුණුකරුවන් ලෙස පත් වූ පසුව ඔවුන්ගේ ක්‍රීඩා සමාජය, ඔවුන්ගේ පාසල සහ ඔවුන්ගේ මිතුරන් කෙරෙහි පක්ෂපාතීත්වයක් ගොඩනැගෙනවා.
එය ස්වාභාවිකයි.
ඉතින් එම පාසලෙන්, ක්‍රීඩා සමාජයෙන්, මිතුරු ජාලයෙන් පැමිණෙන ක්‍රීඩකයන්ට විශේෂ අවස්තාවන් සහ වරප්‍රසාද හිමිවෙනවා.
ඉතිහාසය පුරාවටම මෙරට තේරීම් කමිටු වලට සහ ජාතික පුහුණුකරුවන් ලෙස පත් වූ හිටපු ක්‍රීඩකයන් එම පක්ෂපාතීත්වයෙන් කටයුතු කර තිබෙනවා.
එවන් පක්ෂපාතීත්වයකින් මිදීම දේශීය ක්‍රීඩකයෙකුට හෝ පුහුණුකරුවෙකුට අසීරුයි.
එම මිතුරු ජාලයෙන් මිදී, අපක්ෂපාතීව කටයුතු කරමින් ක්‍රිකට් ක්ෂේත්‍රයේ රැඳී සිටීමත් කළ නොහැක්කක්.
ක්‍රිකට් ක්ෂේත්‍රයේ රැඳී සිටීමට නම් මිත්‍ර ජාල නඩත්තු කිරීම අත්‍යවශ්‍යයි.
නමුත් විදෙස් පුහුණුකරුවන් සෑම විටකම වෘත්තිකයන් පමණයි.

ඔවුන්ට මෙරට පාසලක් හෝ ක්‍රීඩා සමාජයක් නැහැ.

ඔවුන්ට වෘත්තීමය සබඳකමක් මිසෙක පුද්ගලික මිතුරන් නැහැ.
ඔවුන්ට රැකියාවක් මිසෙක, මිත්‍රකම් නඩත්තු කරමින් බේරා ගත යුතු තනතුරක් නැහැ.

ඔවුන්ට මෙය උසස් ලෙස සිදු කර, සිය කීර්ති නාමය සහ සුදුසුකම් පත්‍රිකාව (CV) ඉහළ දමා ගැනීමට ලැබෙනා අවස්තාවක්.

එම නිසා බොහෝවිට ඔවුන් අපක්ෂපාතීව, නිවැරදිව කටයුතු කරනවා.
තමන් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හොදම ක්‍රීඩකයන් තෝරාගන්නවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයන් විදෙස් පුහුණුකරුවන් යටතේ ලියවීම පසුපස ඇති හේතුව එයයි.
මහේල ජයවර්ධනගේ ක්‍රිකට් ඥානය පිළිබඳවත්, ඔහු සකස් කළ ක්‍රිකට් සැලසුම් පිළිබඳවත් අපට කිසිඳු සැකයක් නැහැ.
මහේල ජයවර්ධන මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිටිය යුතුයි.

නමුත් ඔහුට ගැලපෙන්නේ මෙරට පලමු පෙල ආකෘතීන්, පාසල් ක්‍රිකට් ආකෘතීන් ගොඩනැගීමට බලය හිමි වගකීමක්.
කාලයක් තිස්සේ ඔහු මතු කළ කරුණු අනුව ඔහුට ගැලපෙන්නේත් එවැනි තනතුරක්.
එසේ නොමැතිව ක්‍රිස් සිල්වර්වූඩ් සිටියදී, ඔහුට ඉහළින් විශේෂඥ පුහුණුකරුවෙකු ලෙස මහේල ජයවර්ධන පත්කිරීම අනවශ්‍ය තීරණයක්.
දැනටමත් අපට ප්‍රධාන පුහුණුකරුවෙකු සිටිනවා.

ඔහු සුදුසුකම් සහිත පුහුණුකරුවෙක්. ඔහු වෙනුවෙන් අප ඉහළ ගෙවීමක් කරනවා.
ඔහු සිටියදී මහේල ජයවර්ධනත් පුහුණුකරුවෙකු ලෙස පත්කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අපතේ යැවීමක්.
නැවකට ප්‍රධාන කපිතාන්වරු දෙදෙනෙක් නොගැලපෙනවා සේම, කණ්ඩායමකට සිටිය යුත්තේ එක් ප්‍රධාන පුහුණුකරුවෙකු පමණයි.
එක්කෝ එය මහේල විය යුතුයි, නොමැති නම් සිල්වර්වූඩ් විය යුතුයි.

මහේල සහ සිල්වර්වූඩ් දෙදෙනාම එක හා සමාන තනතුරක කටයුතු කිරීම මහේලටත්, සිල්වර්වූඩ්ටත්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවටත් සිදු කරනා අසාධාරණයක් පමණයි.

ඉරේෂාන් සිරිවර්ධන

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...