හෙල්මලී ගුණතිලකගේ ‘සහස් පියවර’

Share post:

විල් දියේ ඇඳි දිය සිත්තමක් වාගෙ සුමටව, සුමුදුව, ‍සරැළි නංවන සැනසුම් රිද්මයකින් දිවි තතු කියන විලසින්, මුල් බසින් පෙරළා විදෙස් කවියට පණ පොවන හෙල්මලීගේ කවි නිමැවුම් මට කියවන්නට ලැබුණේ මෑතක දී, ඇගේ කවි සහ කතා පළකෙරෙන මුහුණුපොතේ පිටුවෙන්. එනම්, Hot chocolate days තුළින්. ඒ කවිවලට වශී වුණු මම් ඒ අනුව ඇය ලියූ පොත් ඇත්දැයි හොයා බලාගෙන ගියා. ඒ සුවදායී කවි, පොතකට ගෙන නැති බව දැනගන්න ලැබීම මට විස්මයක් වුණා. නමුත්, ඈ මුලින් ම ලියූ කතා එකතුව වන ‘සහස් පියවර’ මගේ ම පුදුමයට හේතුවන පරිදි පොත් එකතුවේ තිබී හොයාගන්න ලැබුණා.

ජීවිතයෙන් පෙති පෙති අරගෙන ඒවා පෙඳ පුළුනේ තියා, සූකිරි වැනි මිහිරක දවටා, නැළවිල්ලකින් පිරිමැද ඇය තබන ‘සහස් පියවර’ පොතේ රැව්දෙනවා. ජීවිතේ එක පොඩි මොහොතක් දෙකක් ගැන, ඇය ලියන කෙටි කතා පොඩි නැහැ. ලොව පුරා පාඨක අවධානය දිනූ,’Chicken Soup For The Women’s Soul’ පොත් මාලාවේ කතා සේ (අසිරි සිරිනි ලෙසින් පරිවර්තනය වන) ‘සහස් පියවර’ රස ගුණ දෙමින් භාව කලාපවලට අපිව ගෙනියනවා. හිතේ සුව සදනවා.

අනික, හෙල්මලීගේ මේ ලිවීම්, ඇගේ පරිවර්තිත කවි වගේම අමුතු චාම් බවක් අරා සිටිනවා. ඒ චාම් බව උනන්නේ ඇගේ අනන්‍යතාවක් ලෙසින් ද නැතිනම් එවැනි කවි කියවා පසුව මේ කතා කියවන නිසා ද කියන්න තේරෙන්නෙ නෑ. ඒ වගේ ම, රසවත් ව හෘදසංවේදී ව ලියන්න ඇය දන්නවා. කොහොම වුණත්, ඇගේ කතාවල විදෙස් ලකුණක්, යුරෝපියානු ඇඟවුමක් දැනෙන්න ගන්නවා. අපට සමීපවෙන්න පහසු බවක් ඒ තුළ තිබීමයි විශේෂ.

“පුතෙක්? ක්‍රිකට් ගහන්න උගන්නන්න?

  • නෑ දුවෙක්!… දිගට කොණ්ඩෙ වවන්න!
    දූලාටත් පුළුවන් ක්‍රිකට් ගහන්න!
    -එහෙනම් පුතාලටත් පුළුවන් කොණ්ඩේ වවන්න!” [ පුතෙක් | 41 පිට ]

“ඉන්පස්සේ කො‍යිතරම් නම් දුම්රිය මෙතැනින් යන්න ඇති ද? කොයිතරම් නම් මිනිස්සු මේ වේදිකාවල බලාගෙන ඉන්න ඇති ද? පුංචි දේවල් වෙනස්වෙන්න ලොකු කාලයකුත්, ලොකු දේවල් වෙනස්වෙන්න පුංචි කාලයකුත් තරම් වෙන බව මම ඉගෙනගත්තේ මෙතැනදී ද?” [ Reminds me of Sunshine | 77 පිට ]

“මේ දවස්වල නින්දත් නොනින්දත් අතරමැද අළුපාට තීරුව පිරිලා යන්නේ පුරුදු තියුණු සද්දයකින්. ඉහ ඉද්දරින් මතුවෙනවා වගේ දැනුනත්, මේ වත්තේ එහා ම කෙළවරින් එන තාලයක් බව මම දන්නවා. මාත්‍රා දෙකකින් උස්පහත් වෙන මේ තාලය, පහුගිය වසන්ත කාලය පුරාවට ම වගේ නිතර ම ඇහිලා බලෙන් මතකෙට රිංගා ගත්තු තරමක් ගොරහැඬි කුරුලු ගීයක්. ලෝකෙ ම ඇහැරවන්න සින්දු කිව්වත් ගස් මුඳුන්වල හැංගුන මේ ගායකයගේ කුලෑටිකම නිසා හැඩරුව නම් කවදාවත් හරියට පෙනුණේ නැහැ” [ වොට්ල් කුරුල්ලා | 13 පිට ]
සුළඟට සැලෙන ඩැන්ඩලියන් මල් තුනක් සහ එයින් විසිරි පෙති සහිත එක් මලක් සහිත පොත් කවරයත් මේ කෙටි කතාවල සුලකුණ පෙන්වන කැඩපතක් වාගේ.

ඇගේ පරිවර්තිත කවිත් පොතකට ගන්නවා නම්, මං වඩාත් සතුටුයි.

හෙල්මලීගේ වචන අප කෙරේ පාන නොතිත් ප්‍රාතිහාර්ය කියවන සිතැතිව මීළඟට ‘සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව’ට පිවිසෙනු රිසින් පසුවෙම්. ‘සුළු’ යි කීවත් ඇය ‘සුළු’ කොට නොසිතම්, මම් !

ඩිල්ශානි චතුරිකා දාබරේ

Related articles

ගල් අඟුරු ටෙන්ඩරයේදී ස්වභාවික යුක්ති මූලධර්ම උල්ලංඝනය කරලා – නලින්ද පාර්ලිමේන්තුවේ කියපු 2016 නඩු තීන්දුව මෙන්න !

අධිකරණයේ හෘදය සාක්ෂිය කම්පනයට පත්කරන මට්ටමේ ගනුදෙනුවක් ගල් අඟුරු සම්බන්ධයෙන් සිදු වී ඇති බව 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය...

ගල් අඟුරු වංචාවලට පූර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් : නඩු දාන්නත් සූදානම් : අපි ලෑස්තියි සියල්ල අනාවරණය කරන්න – ඇමැති නලින්ද ජයතිස්ස

මෙතෙක් කාලයක් ගල් අගුරු ගෙන ආ සියලු නැව් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පුර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරන බව...

ජෙයරාජ් ඝාතනයට සැක පිට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට...

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...