හෙල්මලී ගුණතිලකගේ ‘සහස් පියවර’

Share post:

විල් දියේ ඇඳි දිය සිත්තමක් වාගෙ සුමටව, සුමුදුව, ‍සරැළි නංවන සැනසුම් රිද්මයකින් දිවි තතු කියන විලසින්, මුල් බසින් පෙරළා විදෙස් කවියට පණ පොවන හෙල්මලීගේ කවි නිමැවුම් මට කියවන්නට ලැබුණේ මෑතක දී, ඇගේ කවි සහ කතා පළකෙරෙන මුහුණුපොතේ පිටුවෙන්. එනම්, Hot chocolate days තුළින්. ඒ කවිවලට වශී වුණු මම් ඒ අනුව ඇය ලියූ පොත් ඇත්දැයි හොයා බලාගෙන ගියා. ඒ සුවදායී කවි, පොතකට ගෙන නැති බව දැනගන්න ලැබීම මට විස්මයක් වුණා. නමුත්, ඈ මුලින් ම ලියූ කතා එකතුව වන ‘සහස් පියවර’ මගේ ම පුදුමයට හේතුවන පරිදි පොත් එකතුවේ තිබී හොයාගන්න ලැබුණා.

ජීවිතයෙන් පෙති පෙති අරගෙන ඒවා පෙඳ පුළුනේ තියා, සූකිරි වැනි මිහිරක දවටා, නැළවිල්ලකින් පිරිමැද ඇය තබන ‘සහස් පියවර’ පොතේ රැව්දෙනවා. ජීවිතේ එක පොඩි මොහොතක් දෙකක් ගැන, ඇය ලියන කෙටි කතා පොඩි නැහැ. ලොව පුරා පාඨක අවධානය දිනූ,’Chicken Soup For The Women’s Soul’ පොත් මාලාවේ කතා සේ (අසිරි සිරිනි ලෙසින් පරිවර්තනය වන) ‘සහස් පියවර’ රස ගුණ දෙමින් භාව කලාපවලට අපිව ගෙනියනවා. හිතේ සුව සදනවා.

අනික, හෙල්මලීගේ මේ ලිවීම්, ඇගේ පරිවර්තිත කවි වගේම අමුතු චාම් බවක් අරා සිටිනවා. ඒ චාම් බව උනන්නේ ඇගේ අනන්‍යතාවක් ලෙසින් ද නැතිනම් එවැනි කවි කියවා පසුව මේ කතා කියවන නිසා ද කියන්න තේරෙන්නෙ නෑ. ඒ වගේ ම, රසවත් ව හෘදසංවේදී ව ලියන්න ඇය දන්නවා. කොහොම වුණත්, ඇගේ කතාවල විදෙස් ලකුණක්, යුරෝපියානු ඇඟවුමක් දැනෙන්න ගන්නවා. අපට සමීපවෙන්න පහසු බවක් ඒ තුළ තිබීමයි විශේෂ.

“පුතෙක්? ක්‍රිකට් ගහන්න උගන්නන්න?

  • නෑ දුවෙක්!… දිගට කොණ්ඩෙ වවන්න!
    දූලාටත් පුළුවන් ක්‍රිකට් ගහන්න!
    -එහෙනම් පුතාලටත් පුළුවන් කොණ්ඩේ වවන්න!” [ පුතෙක් | 41 පිට ]

“ඉන්පස්සේ කො‍යිතරම් නම් දුම්රිය මෙතැනින් යන්න ඇති ද? කොයිතරම් නම් මිනිස්සු මේ වේදිකාවල බලාගෙන ඉන්න ඇති ද? පුංචි දේවල් වෙනස්වෙන්න ලොකු කාලයකුත්, ලොකු දේවල් වෙනස්වෙන්න පුංචි කාලයකුත් තරම් වෙන බව මම ඉගෙනගත්තේ මෙතැනදී ද?” [ Reminds me of Sunshine | 77 පිට ]

“මේ දවස්වල නින්දත් නොනින්දත් අතරමැද අළුපාට තීරුව පිරිලා යන්නේ පුරුදු තියුණු සද්දයකින්. ඉහ ඉද්දරින් මතුවෙනවා වගේ දැනුනත්, මේ වත්තේ එහා ම කෙළවරින් එන තාලයක් බව මම දන්නවා. මාත්‍රා දෙකකින් උස්පහත් වෙන මේ තාලය, පහුගිය වසන්ත කාලය පුරාවට ම වගේ නිතර ම ඇහිලා බලෙන් මතකෙට රිංගා ගත්තු තරමක් ගොරහැඬි කුරුලු ගීයක්. ලෝකෙ ම ඇහැරවන්න සින්දු කිව්වත් ගස් මුඳුන්වල හැංගුන මේ ගායකයගේ කුලෑටිකම නිසා හැඩරුව නම් කවදාවත් හරියට පෙනුණේ නැහැ” [ වොට්ල් කුරුල්ලා | 13 පිට ]
සුළඟට සැලෙන ඩැන්ඩලියන් මල් තුනක් සහ එයින් විසිරි පෙති සහිත එක් මලක් සහිත පොත් කවරයත් මේ කෙටි කතාවල සුලකුණ පෙන්වන කැඩපතක් වාගේ.

ඇගේ පරිවර්තිත කවිත් පොතකට ගන්නවා නම්, මං වඩාත් සතුටුයි.

හෙල්මලීගේ වචන අප කෙරේ පාන නොතිත් ප්‍රාතිහාර්ය කියවන සිතැතිව මීළඟට ‘සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව’ට පිවිසෙනු රිසින් පසුවෙම්. ‘සුළු’ යි කීවත් ඇය ‘සුළු’ කොට නොසිතම්, මම් !

ඩිල්ශානි චතුරිකා දාබරේ

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...