පවුලේ සියලුම දෙනාගේ නාට්‍ය කලාව

Share post:

(‘සාම්ප්‍රදායික’ පවුලට අනතුරු ඇඟවීමක්!)

වේදිකා නාට්‍යය, චිත්‍රපටි ආදී ප්‍රසාංගික කලා සම්බන්ධයෙන් අපට නිතර අහන්න ලැබෙන දෙයක් තමයි පවුලේ සියලුම දෙනාට බලන්න පුළුවන් විදිහට නිර්මාණ හදන්න කියන එක. විශේෂයෙන් අප විවිධ ප්‍රේක්ෂකාගාර කරා නාට්‍ය පෙන්නගෙන යනවිට මේ අදහස එහෙන් මෙහෙන් ඇහෙන අවස්තා තියෙනවා. ඒ කියන සමහරුන්ට අනුව වඩා හොඳ නිර්මාණ යනු පවුලේ සියලුම දෙනාට නරඹන්නට පුළුවන් නිර්මාණයි. පවුලේ සියලුම දෙනාට ගැලපෙන කියන අදහස ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය දක්වා ගොස් නිර්මාණ කප්පාදුවට සහ අදහස් වාරණයට පවා හේතුවන, අපට තාමත් දැඩි ලෙස බලපෑම් කරන, එමෙන්ම ජනතාවගෙන් බහුතරයක් විශ්වාස කරන සම්මතයක් වී ඇති බැවින් මෙය යම් පරීක්ෂාවකට ලක් කර බැලීම කාලෝචිතයි කියලා මම හිතුවා.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රසාංගික නිර්මාණයක් පවුලේ සියලු දෙනාටම සුදුසුවීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සලකා බලන්නේ ප්‍රචණ්ඩත්වය වැනි විශයකටත් වඩා ලිංගිකත්වයයි.නිරුවත, සිප වැළඳ ගැනීම්, ලිංගික ජවනිකා හා ඊට අදාල සමහර වචන සහ ඉරියව් වැනි දේවල් මීට අදාලයි. අප අද ජීවත් වෙන්නේ ප්‍රසිද්ධියෙන් යුද්ධ කිරීමට වඩා සිප වැළඳ ගැනීම ලැජ්ජාවක් වුණු ‘විපරිත’ සමාජයකයි. පවුලේ සියලු දෙනාට කියලා කියනවිට ඉන් අදහස් වෙනවා අවුරුදු හතේ ළමයාටත් හැත්තෑවේ සීයාටත් එකට ඉඳන් බලන්න පුළුවන් නිර්මාණ විය යුතු බව. මේ දෙදෙනාගෙන් හැත්තෑවේ සීයාට කරපු නිර්මාණයක් හතේ ළමයාට ග්‍රහණය කරගැනීමට නොහැකි බැවින් සාමාන්‍යයෙන් දෙදෙනාටම ගැළපෙන ක්‍රමය වන්නේ වයස හතේ ළමයාට ගැලපෙන්නට නිර්මාණය කර එය හැත්තෑවේ සීයා දක්වා පවුලේ සියලුම දෙනා විසින් නැරඹීමයි. ලිංගිකත්වයේ සිට දේශපාලනය දක්වා ජීවිතයේ ප්‍රශ්න ළමයෙකුගේ මට්ටමට නිර්මාණය කර රසවිඳින පවුලක ජීවිත අවබෝධය සහ රසඥතා මට්ටම ඔබට හිතාගන්න පුළුවන් ඇති. ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න හදනවිට අපහසුවට පත්වන හෝ ඊට විරුද්ධ වෙන පුද්ගලයා (ගුරුවරයාද ඇතුළුව) නිර්මාණය වෙන්නේ මේ පවුල ඇතුලේ යි. එබැවින් පාසැල් මට්ටමින් හෝ පවුලක් ලෙසට විවෘතව සාකච්ඡා කිරීමෙන් හෝ ලිංගිකත්වය පිලිබඳව අවබෝධය හිගවුන සමාජයක භයානක ප්‍රතිඵල දැන් එම සමාජය දිනපතා ප්‍රවෘත්ති වලින් පවුලේ සියලු දෙනා එක්ව රසවිඳමින් ඉන්නවා.

ලිංගිකත්වය ඇතුළු විවිධ මාතෘකා වලට ශ්‍රී ලංකාවට වඩා වැඩියෙන් විවෘත බටහිර යුරෝපීය රටවල මෙය ඉතා දියුණු ලෙස හසුරුවන ක්‍රම තියෙනවා. පවුලක විවිධ වයස්වල සාමාජිකයන්ගේ අවශ්‍යතා උවමනාවන් වල ඇති සංකීර්ණ වෙනස්කම් වලට අනුව එම රටවල කුඩා දරුවන්ට, නව යෞවනයන්ට, තරුණ හෝ වැඩිහිටියන්ට සහ වයසක අයට ආදී වශයෙන් ඒ ඒ අයගේ ප්‍රශ්න ඔවුන්ට වඩා යෝග්‍ය වන ආකෘතිවලින් නිර්මාණ කෙරෙනවා. ඒවා ඒ ඒ වයසට අනුව ප්‍රවර්ග කර ඉදිරිපත් කරනවා. අවශ්‍ය නම් පවුලේ සියලුම දෙනාට නරඹන්නට පුළුවන් ප්‍රසංග ද ඇතිමුත් විවිධ වයස වල අයගේ ප්‍රශ්න පුළුල්ව කතා කිරීම සම්බන්ධයෙන් සියලුම දෙනාට ගැලපෙන ලෙස නිර්මාණ කරන්න යන විට සීමාවන් ඇතිවෙන බව ඔබට තේරුම් ගන්න අපහසු නෑ.

ලිංගිකත්වය සම්බන්ධයෙන් කතා කරනවිට, මිනිස් නිරුවත දැකීම නිසා පවුලක් ලෙසට හෝ ළමයින් ලෙසට ජීවිත වලට කවර හෝ විනාශකාරී බලපෑමක් සිදුවන බවට මෙතෙක් ලෝකයේ කිසිම තැනකින් තහවුරු වෙලා නැහැ. සමහර ගෝත්‍රික සමාජයන්වල නිරුවත සහ ලිංගිකත්වය විවෘත දෙයක් වන අතර අධ්‍යයනයන් වලට අනුව එම සමාජයන්වල ලිංගික හිංසනය අවමයි. හානිය සිදු විය හැක්කේ නිරුවත අභ්‍යාස කරන හෝ විඳින කෙනා කොන් කරන සමාජයෙන් එවැනි පුද්ගලයින්ට එරෙහිව කෙරෙන අමානුෂික සමාජ ප්‍රතිචාරවලිනුයි. එම සමාජයන් වල ලිංගික කෲරත්වය ගොඩනැගීමට ඇති අවස්ථාව ද වැඩි යි.සමහර ලිංගික ජවනිකා දැකීම සහ ප්‍රචණ්ඩත්වය ආදිය ඊට නුහුරු කුඩා ළමුන්ට නරක ලෙසට බලපාන්නට ඉඩ ඇති අතර එවැනි අමුද්‍රව්‍ය ඇති නිර්මාණ අදාල වයසට අනුව ප්‍රවර්ගකර නඹන්නට සැලැස්වීම වඩාම දියුණු පිළිවෙතයි.

මෙතනදී අපට ඇන්තනි ජූලියස් (Anthony Julius) ඔහුගේ Transgressions: The Offences of Art නම් ග්‍රන්ථයෙන් කලාව පිළිබඳ ඉතා වැදගත් කාරණයක් මතු කරනවා. එනම් කලාව එහි නෛසර්ගික ස්වභාවයෙන්ම වියුක්ත සංකල්පයක් වන අතර යම් කලා කෘතියක් නිවැරදිව ග්‍රහණය කර ගැනීම සඳහා කලාකෘතිය විසින් ඉල්ලා සිටින සංකේත, යටිපෙළ, ව්‍යංගාර්ථ,දෘෂ්ටිය, දේශපාලන හෝ මනෝවිද්‍යාත්මක ගැඹුර ආදීය සහ තවත් විවිධාකාර ඊටම ආවේනික සන්දර්භීය අංග පිළිබඳ මනා අවබෝධයක් රසිකයාට අවශ්‍යයි. එම අවබෝධය නොමැති කෙනෙක් සමහර කලා කෘතියකින් වල්මත් වී ඉතාම හානිදායක නිගමන වලට පවා ප්‍රවේශ වීමට ඉඩ තියෙනවා.(මෙම ග්‍රන්ථය මූලික වශයෙන් වියුක්ත චිත්‍ර කලාව ඇසුරු කරගෙන සමස්තයක් ලෙස කලාව උත්තරීතර මාධ්‍යයක් ලෙසට අප එයට කොන්දේසි විරහිතව අපව අමතන්න ඉඩ දීම උග්‍ර පරීක්ෂාවකට ලක් කරනවා). ජූලියස් මතු කරන තර්ක වලට අනුව ගත්තොත්, කලාවෙන් විය හැකි හානිය පවුලට නොගැලපීමට හේතුවන දේවල් වලට වඩා එහා ගිය සංකීර්ණ දේවල් මතයි පවතින්නේ.මෙය වියුක්ත හෝ අසම්ප්‍රදායික කලාවට මෙන්ම බලි තොවිල් වැනි සාම්ප්‍රදායික අභිචාර ප්‍රසංගවලට ද එක හා සමානව අදාලයි. සමහර බලි තොවිල් වැනි අභිචාරී නිර්මාණයක් ගත්තොත්, කුඩා කල සිට එහි සන්දර්භීය අංග, බිලි පූජා ඇතුලු සම්මුතීන් සහ සම්ප්‍රදාය ආදියට හුරු පුද්ගලයකුට එයින් හානියක් නොවී එයට පහසුවෙන් සමීප වීමට පුළුවන්. නමුත් කිසිම විටෙක එවැනි පසුබිමක් නැති පිටස්තරයෙක් එය අත්දකින අවස්ථාවක ප්‍රතිකාර කළ යුතු තරම් විවිධ මානසික ව්‍යාකූලතා වලට පත්වන්න ඉඩ තියෙනවා.ලෝකය පුරා පිටස්තරයන් සමහර සාම්ප්‍රදායික අභිචාර නිර්මාණ අත්දකිද්දී මෙය සිදු වෙලා තියෙනවා.

සාමාන්‍යයෙන් වඩා අතීතයට යන විට, පිටිසර සිංහල ගැමියන් ඔවුන්ගෙන් පරිණාමය වී ගොස් නාගරික මධ්‍යම පන්තිකයින් බවට පත්වූ අය තරම් ‘කුණුහරප’යයි කියන දේවල් මහා ලොකු විනාශකාරී දේවල් විදිහට සලකන්නේ නැහැ. දැනට සාමාන්‍යයෙන් මධ්‍යම පංතිකයන් ‘කුණුහරප’ හෝ අශිෂ්ට භාෂාව ලෙසට සලකන පුක, පඩය, බිජ්ජ, තන, පයිය, ගූ, හුජ්ජ, හැමිනීම… ආදී මේවා එම ගැමි ජනයාගේ පවුලේ සියලුම දෙනාගේ සාමාන්‍ය ව්‍යවහාරයේ වචන විනා කුණුහරප නොවේ. (ඊට අමතරව උඹ තෝ පලයන් ද ඔවුන්ගේ සාමාන්‍ය භාෂාවයි). ඒවා පසු කාලීනව කුණුහරප බවට පත් කළේ අර කී මධ්‍යම පන්තිය එම ජන කොටස්වලින් වෙනස්ව තම නව පන්ති තත්වය පවත්වාගැනීම සඳහා භාෂාව ඇතුළු ඇඳුම් පැළඳුම් සිරිත් විරිත් ආදිය වෙනස් කර ගැනීමට යෑමේ දීයි. අර ගැමි ජන කොටස් ‘ගොඩයින්’ ලෙසට පහත් කර ඔවුන්ගේ සිරිත් විරිත් සමඟ සාමාන්‍ය භාෂාව ද කුණුහරුප හෝ නිර්ප්‍රභූ භාෂාවක් (Subaltern Language) බවට පත්වූයේ ඒ පන්ති පරිවර්තනයේදී යි. ක්‍රමයෙන් මේ පරිවර්තනය ආරම්භ වෙන්නේ යුරෝපීයන් ශ්‍රී ලංකාව පාලනය කරගන්න පටන් ගත්ත දා සිටයි. එවකට නූතනත්වයක් ලෙසට වික්ටෝරියානු ක්‍රිස්තියානි සදාචාරය මත ක්‍රමයෙන් ගොඩනැගුන මෙම මධ්‍යම පන්තිය අර ගැමි භාෂාව වෙනුවට චූ කක්කා අම්මී තාත්ති හෝ සිංහල කතාව තුලම ලිංගික අවයව වලට ඉංග්‍රීසී වචන යොදන භාෂාවකට පරිවර්ථනය වුනා. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය යනු මෙම මධ්‍යම පන්තියෙන්ම බිහිවුණු ආයතනයක් වන අතර ඊට ඇත්තේ මෙම වික්ටෝරියානු සදාචාරය මත බිහිවු මධ්‍යම පන්තික පවුලේ සදාචාරය ආරක්ෂා කිරීමේ නිර්නායකයන්. ඒවා විශාල ප්‍රමාණයෙන් බයිබලය පවුලකට යෝජනා කරන සදාචාරයට සමානයි. කෙසේ හෝ වර්තමානය වන විට ඉංග්‍රීසි කතා කරන නාගරික ඉහළ පන්තීන් සිංහල කතා කරන පන්තීන්ට වඩා වේගයෙන් වෙනස් වෙමින් ඔවුන්ගේ මුතුන්මිත්තන් ගේ ‘පවුලේ සදාචාරයෙන්’ වෙනස් වෙලා තියෙනවා.

අද ශ්‍රී ලංකාවේ සමහර ඉංග්‍රීසි කතා කරන නාගරික ඉහල පන්තීන් වල පවුලේ සියලුම දෙනා ඇඳුම් උනා දමන කැබරේ ඩාන්ස් වගේ දේවල් නැරඹීම අතිශය සාමාන්‍ය වන අතර කිසිවකුට එයින් හානියක් වුන බවක් මෙතෙක් වාර්තා වෙලා නෑ. නමුත් එවැනි ප්‍රසංගයක් වර්තමාන සාමාන්‍ය සිංහල මධ්‍යම පන්තික පවුලකට එකට නැරඹීමට අපහසු වෙන්න පුළුවන්. ඊට අමතරව සමහර බටහිර-යුරෝපීය රටවල රටේ පොදු නීතියෙන් පිළිගත්ත පවුලේ සියලුම දෙනා නිරුවතින් එළිමහනේ ඉන්න නූතන උප සංස්කෘතීන් තියෙනවා. (Naturist lifestyle). ශ්‍රී ලංකාවේ එන සමහර සන්නියකුම වැනි යාතු කර්ම වලදී සංසර්ගය සිහි වෙන අවස්ථාවන් දෙපිට කැපෙන වචන හෝ ආංගික අභිනය හරහා අතිශය සුලබව නිර්මාණය කරනවා. මේවා පවුලේ සියලුම දෙනාගේ සම්ප්‍රදායික සිංහල ගැමි ප්‍රසංගයි. ඒවායින් හානියට පත් වූ පවුලක් පිළිබඳව මෙතෙක් වාර්තා වෙලා නැහැ.

එබැවින් මේ පවුලටම එකට ඉඳන් නරඹන්න පහසුව කියන එක මොන පන්තියෙ මොන සංස්කෘතියේ මොන වගේ පවුලක් ද කියන එක මත වෙනස් වෙනවා. විවිධ පවුල් වල සංස්කෘතික අභ්‍යාස සහ සාමාජිකයින්ගේ සම්බන්ධතාවල ස්වභාවය වෙනස්.

ඉහතින් අප දුටු ලෙස ලිංගිකත්වය සහ නිරුවත සම්බන්ධයෙන් විවිධ සංස්කෘතීන් වල පවුල් වල ඇති හුරු පුරුදු සහ අභ්‍යාස විමසීමේදී අපට පැහැදිලි වන දෙයක් නම් විවිධ පවුල්වල ඒ සම්බන්ධයෙන් සීමා වාරණයන් ඇත්තේ ඒවායින් සිදුවන අනතුරට වඩා ඔවුන් පවුලක් ලෙසට සංස්කෘතික වශයෙන් ඊට ඇති නුහුරුභාවය නිසා බවයි. සමහර විට එම නුහුර කරා යෑම අනතුරක් ලෙස ඔවුන්ට හැඟෙනවා ඇති. නමුත් එසේ ගොස් අනතුරට පත් වූ පවුලක් ගැන ද මෙතෙක් වාර්තා වෙලා නෑ.එසේම නිරුවතට සහ ලිංගිකත්වයට විවෘත නොවූ පවුලක් එසේ සම්පූර්ණයෙන් විවෘත වූ පවුලකට වඩා විශේෂයෙන් මානුෂික හෝ සමාජීය වශයෙන් උසස් බවට කිසිම සාධකයක් හමුවන්නේ නෑ. එහෙත් කිසියම් පවුලක් නිරුවත සහ ලිංගිකත්වයට මුහුණදීමට යම් අපහසුවක් ඇත්නම් එම අපහසුවට සහ ඔවුන්ගේ සීමාවන්ට අප ප්‍රථමයෙන් ගරු කළ යුතුයි. නමුත් එයින් අදහස් කරන්නේ නෑ එම අපහසුව ඇතිකරන සීමාවන් වල ම ඇති අර්බුද සහ අනතුරු අපට පෙන්වා දෙන්නට බැරි බවක්. උදාහරණයකට, ලිංගිකත්වයට අදාල ප්‍රශ්න වැනි දෙයක් පවුලක විවෘතව කතා කිරීමේ නුහුර සහ අපහසුතාවය.

කෙසේ හෝ මේ පවුලේ සියලුම දෙනාට ගලපන ලෙස ඇති ඉල්ලීම් දවස අවසානයේ විශාල වෙළඳ පොළක් බවට පත්වෙලා තිබෙන අතර එම නිසා ඒ සඳහාම විශේෂයෙන් කරන නිර්මාණ ද බිහිවනවා. මෙම වෙළඳපොළ විසින් හඳුන්වාදුන් නමක් තමයි Family Entertainment හෙවත් පවුලේ ප්‍රසංග. එය දැන් නිර්මාණ ලබා ගැනීමට ඇති වෙළඳ පොළවල්වල වෙනම ප්‍රවර්ගයක් ලෙසට තියෙනවා.

අනිත් පැත්තෙන් පවුලක් ලෙසට සිලුම දෙනා එක්ව නිර්මාණ රසවිඳීම සහ ඒ ගැන කතා කිරීම ඔවුන්ගේ සම්බන්ධතා හොඳින් ගොඩනැඟෙන්නට සහ පවුලක සුන්දරත්වය ඇතිවෙන්නට ඉතා හොඳ සායනික අභ්‍යාසයක්. නමුත් එයින් ද අදහස් කරන්නේ නෑ එසේ වීම සඳහා අවශ්‍යයෙන්ම නැරඹිය යුත්තේ ලිංගික සහ නිරුවත වාරණය කරපු නිර්මාණ පමණක් ම බව. ඒ ඒ පවුලේ පහසුව පරිදි ඒ සඳහා ඕනෑම නිර්මාණයක් සුදුසු වෙන්න පුළුවන්. ඇත්තෙන්ම ඕනෑම විෂයක් කතා කරන්න පුළුවන් පවුල වඩා පුළුල් සහ දියුණු පවුලක් ලෙසට වර්ධනය වන්නට පුළුවන්. එබැවින් කෙනෙකු වැරදි ව වටහා නොගත යුතුයි පවුලේ සියලුම දෙනා එක්ව නිර්මාණ රසවිඳීම ළාමක වැඩක් හෝ අර්ථ විරහිත වැඩක් බව.

වර්තමානයේ අප ජීවත් වෙන්නේ මේ විවිධාකාර පවුල් සංස්කෘතීන් පන්තීන් එකම අවකාශයක හමුවන මිශ්‍ර වන සංකීර්ණ සමාජ සන්දර්භයකයි. මේ තත්ත්වය තුළ ඕනෑම පවුලකට හෝ පුද්ගලයකුට කරපු නිර්මාණයක් ඊට හාත්පසින්ම වෙනස් පවුලකට හෝ පුද්ගලයකුට මුණ ගැසීම දැන් මුළුමනින්ම මෙන් පාලනය කරන්නට බැහැ. ඒ වාගේම නිශ්චිත සංස්කෘතියකට අයත් පවුලකට ගැලපෙන ලෙස රටේ ඉන්නා සියලුම පවුල්වලට හැඩගැසෙන්නටයි කියලත් ඔබට කියන්නට බැහැ. අනිත් පැත්තෙන් අපිට ගෝලීය වශයෙන් එන තොරතුරු පාලනය කිරීමටද දැන් අපහසු වෙමින් පවතිනවා. මේ අභියෝගයට මුහුණදීම සඳහා කල හැක්කේ පවුලේ හැටියට නිර්මාණ කරන්න කියනවට වඩා ඕනෑම නිර්මාණයක් නැරඹීමට හැකි ලෙස පවුල හදාගන්නට උත්සාහ කිරීමයි. ඔබගේ ගෙදර ජීවිතයේ විවිධ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන එක තුළ ලිංගිකත්වය සුවිශේෂයෙන් බැහැර නොකර එයද සාමාන්‍ය ලෙස ගෙන කතා කරන්නට පටන් ගැනීමෙන් මෙම යථාර්ථයට පුහුණුවීම සඳහා ප්‍රවේශයක් ලබා ගන්න පුලුවන්. දැන් ලිංගික ජවනිකා වැනි දේවල් ඉන්ටර්නෙට් හරහා සෑම කුඩා ළමයෙක් ම වගේ දකින්නට පටන් අරන් තියන අතර ඒවා පාලනය කරන්නට බැරි වෙමින්ද තිබෙන අතර ඉදිරි කාලේ එවැනි ජවනිකාවන් ඇති නිර්මාණ විවෘතව නැරඹීමට පවුලට සිදුවෙනවා. ඔබට දැන් තියෙන්නෙ ඊට කල්තියා සූදානම් වෙනවාද නැද්ද යන්න තීරණය කිරීම පමණයි.
අදාල වෙනත් මූලාශ්‍ර

ධනංජය කරුණාරත්න

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...