ඔව්, ඒක ආශ්චර්යක්..MAXWELL තනි කකුළෙන් මැජික් පෙන්නද්දි හොඳටම කළේ නායක PAT CUMMINS

Share post:

පස් වරක් එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කැන්ගරුවන්ව පයට පෑගෙන දූවිල්ලක් මෙන් පරාජය කර ලොවක් ඉදිරියේ විශිෂ්ට පෙළහරක් පෑමට තවත් කඩුලු 03ක් පමණක් ලබා ගැනීමට ඉතිරිව තිබියදී ආශ්චර්යමත් ඉනිමක් ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් නම් විශිෂ්ට පිතිකරුවා තවමත් ඔස්ට්‍රේලියාව යනු ක්‍රිකට් පිටියේ අසම සම ශක්තිවන්තයෙකු බවට යළිත් වරක් පසක් කරවමින් තම කණ්ඩායම වාර්තාගත අයුරින් ජය කණුව කරා රැගෙන ගියා. එම ජයග්‍රහණය හේතුවෙන් ඔස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලානයේ Semi Final සඳහා තේරුණු තුන්වන රට බවට පත්වුණා. මැක්ස්වෙල් පිටියට පැමිණෙන්නේ ලකුණු 49කට කඩුලු 4ක් දැවී තිබියදී ඔමාර්සායිගේ හැට්‍රික් පන්දුවට මුහුණ දීම සඳහායි. කෙසේවෙතත් ඔස්ට්‍රේලියා ඉනිමේ කඩුලු 7ක් ලකුණු 91කට දැවී ගියා. සියලුම ගෞරවයෙන් සහ වාසි රැඳී තිබුණේ පෙරළිකාර ඇෆ්ගනිස්ථානය සතුවයි. නමුත් මැක්ස්වෙල් සමග එකතු වූ මේ ආශ්චර්යේ නිහඬ විරුවා ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් මැක්ස්වෙල් මනා ලෙස කළමනාකරණය කර ගනිමින් නායකත්වය යනු කුමක්දැයි ලොවට පසක් කරමින් මැක්ස්වෙල්ගේ ආශ්චර්යමත් ඉනිමට ඉවසිලිවන්ත සහයක් ලබා දුන්නා. ඇත්තටම එයනම් වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ඉවසීමකි.
වරක් මැක්ස්වෙල්ගේ LBW එකක් Review අවස්ථාවෙන් ගොඩදාගත් මැක්ස්වෙල් පසුව ලබාදුන් උඩපන්දුව ද ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් අත්හැරියා. Catches win Matches යන ප්‍රසිද්ධ වැකිය ඇෆ්ගනිස්ථානයට යළි යළිත් සිහිපත් කරවමින් මැක්ස්වෙල් කිසිවෙකුටත් නැවැත්විය නොහැකි උද්වේගකර ඉනිමක් ක්‍රියාත්මක කළා.

ඉනිම අතරතුර ⁣කකුලේ ආබාධයකට මුහුණ දුන් මැක්ස්වෙල් එය ඉතා අපහසුවෙන් දරා ගනිමින් වන්කඩේ පිටිය සිසාරා මනරම් හයේ පහර 10ක් සහ හතරේ පහර 21ක් දියත් කරේ ඇෆ්ගනිස්ථාන ජය ඔවුන්⁣ගෙන් උදුරා ගනිමින් පන්දු 128කදී ලකුණු 201ක් රැස් කරමින්. ඇති වූ ආබාධයෙන් පසු තම අත්දැකීම් සියල්ල එකමිටට පාවිච්චි කළ මැක්ස්වෙල් කෙටි ලකුණු දිවීම නවතා එකතැනම සිට අඩු පාද චලනයකින් එල්ල කළ හ⁣තරේ සහ හයේ පහරවල්නම් අතිවිශිෂ්ටයි. වරෙක ඔහු තනි කකුලෙන් ක්‍රීඩා කරමින් රට වෙනුවෙන් කළ මෙහෙයනම් පැසසිය යුතු වේ. සෑම විටම තම ප්‍රහාරාත්මක පිතිකරුවා වූ මැක්ස්වෙල්ව මනා ලෙස කළමනාකරණය කළ නායක පැට් කමින්ස් ඉටු කළ මෙහෙය පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු අනිවාර්යෙන්ම නැරඹිය යුතු ඉනිමක් යැයි මට සිතේ. මැක්ස්වෙල්ට සෑම විටම පන්දුවට පහර දීමට අවස්ථාව ලබාදීම සඳහා පැට් කමින්ස් සිය අන්තය ආරක්ෂා කරගනිමින් කෙටි ලකුණු ලබාගත් ආකාරයනම් අති විශිෂ්ටයි. කමින්ස් පන්දු 68කට මුහුණ දී එක් හතරේ පහරක් සමග නොදැවී ලබාගත් ලකුණු ගණන 12කි. යම් හෙයකින් කමින්ස් දැවී ගියේනම් ඔස්ට්‍රේලියා ඉරණම මීට වඩා අද වෙනස් වීමට ඉඩ තිබුණා.

මැක්ස්වෙල්ගේ ලකුණු 201* එක්දින තරග 4696කදී අංක 6 හෝ ඊට පහළ පිතිකරුවෙක් මෙතෙක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.

මෙය ඔස්ට්‍රේලියානුවෙකු එක්දින ක්‍රිකට් පිටියේ ලබාගත් පළමු ද්විත්ව ශතකය වන අතර ලෝක කුසලාන තරගාවලියක තුන්වන ද්විත්ව ශතකය ද වේ.

නායක පැට් කමින්ස් සමග මැක්ස්වෙල්ගේ නොබිඳුණු ලකුණු 202 සබඳතාව එක්දින ක්‍රිකට් පිටියේ අටවැනි හෝ ඊට පහළ කඩුල්ල සඳහා වූ ඉහළම සබඳතාව ද වේ.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ හබායෑමකදී පිතිකරුවෙක් රැස් කළ ඉහළම ලකුණු ගණන.

එක්දින තරගයක ද්විත්ව ශතකයක් ලබාගත් ලොව 12 වෙනි ක්‍රීඩකයා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ විශිෂ්ටතම ඉනිම

වන්කඩේ ක්‍රීඩාංගණයේ පිතිකරුවෙක් ලබාගත් ඉහළම ලකුණු ගණන

වන්කඩේ ක්‍රීඩාංගණයේ හඹාගොස් ජයග්‍රහණය කළ ඉහළම ලකුණු ගණන ⁣ද මෙය වේ.

තරගය පරාජය වුවත් මෙවර ලෝක කුසලානයේ පෙරළිකාර ලෙස ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානයේ දක්ෂතා ද කිසිවිටකවත් ඉවත දැමිය නොහැක. ලකුණු 129ක් ලබාගත් ඊබ්‍රාහිම් සද්‍රාන්ගේ ඉනිමත් අතිවිශිෂ්ටයි. ඒ සඳහා ඔහු පන්දු 143ක් වැය කළ අතර හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. අත්දැකීම් බහුල ඔස්ට්‍රේලියා පන්දු යවන්නන්ට මනාලෙස පහර දුන් ඇෆ්ගන් පිතිකරුවන් පිටිය තුළ තමන්ගේ පරිනත බව, ආත්ම විශ්වාසය සෑම විටම පිළිඹිබු කිරීම විශේෂත්වයකි. මොවුන් සෑම විටම ක්‍රීඩා කරන්නේ ලෝක ක්‍රිකට් අනාගතයට තම කණ්ඩායම නුදුරේදීම රිදී රේඛාවක් වන බවට වූ ඉඟි පල කරමිනි.
21 හැවිරිදි ඉබ්‍රාහිම් සද්‍රාන් ලෝක කුසලාන තරගාවලියක ඇෆ්ගනිස්ථානයේ පළමු ශතක ලාභියා බවට පත්විය.
ඒ වගේම එය ඔහුගේ පස්වන ශතකයද වේ.

වගකීම, කණ්ඩායම් හැඟීම, පරාජයට පත්වීමට ඇති බිය, ලැජ්ජාව, ඒ වගේම පෞඬ ක්‍රිකට් ඉතිහාසයක් ඇති තම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නාමය ඉදිරියේ ඇතිවීමට ගිය කැළලෙන් ⁣රට බේරා ගැනීමට මැක්ස්වෙල් සහ නායක පැට් කමින්ස් අවසානයේ සමත් වුණා. ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භයේ හැමෝම ඇෆ්ගනිස්ථානයට ජය ප්‍රාර්ථනා කරත් අවසාන මොහොතේ මැක්ස්වෙල් සහ කමින්ස් ගත් උත්සාහය සහ ධෛර්ය දුටු බොහෝ පිරිසක් ප්‍රාර්ථනා කරන්නට ඇත්තේ කැන්ගරුවන්ගේ ජය බවට මා විශ්වාස කරනවා. ඇත්තටම මේ තරගය අපි හැමෝම පුදුම කළ ආශ්චර්යක්. කටින් ක්‍රිකට් ගහන බොහෝ පිරිසකට මේ ඉනිම තුළින් ඉගෙනගන්නට බොහෝ දේ ඇත.

චතුරංග රාජපක්ෂ

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...