‘අන්තිමට නිහඬ බව ම කතාකරන්න ගත්තම’ – ප්‍රභාත් ජයසිංහ
අන්තිමට නිහඬ බව ම කතාකරන්න ගත්තම, එතෙක් නිහඬව තිබූ සිතුවිලි සේරම සද්ද නගන්න පටන්ගන්නවා –
කවි පොත පටන්ගන්නෙ අංක 1න් නෙමෙයි. අංක 0නුත් නෙමෙයි. ඊටත් කලින්. එහෙනම් සෘණ අගයක් ද? දන්නෙ නෑ. අංකයක් නැති කවියකිනුයි පිවිසුම. මේ පිවිසුම් කවිය හරි සංකේතීයයි. පතුලක් නොපෙනෙන ළිඳකට එබිලා කෑගහද්දි නැගෙන දෝංකාරය වගේ, වැව් දියට ගලක් ගැහුවාම රැළි නැගිලා ආයෙ නවතිනවා වගේ, ගුහාවෙන් එළියට කැඳවන මොරගැසීමක් වගේ. අපේ සිතුවිලිවලට හිතේ තියාගන ඉන්න ඉඩ නොදී විවෘතවෙලා වාන් දාන්න ඉඩ දෙන්නයි යන්නෙ කියල අපිට පටන් ගද්දි ම කියන කවිය ඒ.
මේ කවිවලට මාතෘකා නෑ. ජීවිතේ හැමදෙයක් ම නිශ්චිතව, තේමාවකට ම, පිළිවෙළකට ම වෙන්නෙ නෑ. විය යුතුත් නෑ. පොතත් ඒ වගේ.
මේ කවි පොතේ කවි බහුතරය, ප්‍රකෘති අපිව හොයන් යන කවි. ලෝකයට පේන අපි සහ ඇත්ත අපිව විදාරණය කරන කවි. ඒ හෙළිදරව්වෙන් කියවන්නාව යන්තම් සලිත කරන කවි. ඇත්ත ආත්මීය හැඟීම් දැනීම් එක්ක ගනුදෙනු කරන කවි. මිනිස් බැඳීම්වල සියුම් අවස්ථා ඇතුළත් සංවේදී කලාපවලට පය තියන ඔහු, ආරියවංශ රණවීර වගේ අවම වචන ප්‍රමණයකින් සමස්තයක් කියන්න සමත්.
අන්තිමට නිහඬ බව ම කතාකරන්න ගත්තම, අපි දන්න කියන දේවල් ම සූම්වෙලා පෙනෙන්න පටන්ගන්නවා –
තාත්තයි පුතයි, පෙම්වතයි පෙම්වතියි, සැමියයි බිරිඳයි, අසල්වැසියයි අසල්වැසියයි වගේ මිනිස් පවුල් සහ ඒකක ගැන එක සිදුවීමක් අරන් කවිය වවන හැටි ආස්වාදජනක අත්දැකීමක්. පිරිමි ගෙදර ගැන කියන (අංක 19) කවියෙ දි, එක ගෙදරක් වටේ කවිය ගෙනියන්නෙ එහි හිටි පිරිමි සහ පස්සෙ එය ගැහැනු ගෙදරක් වෙද්දි එහි ඉන්න ගැහැනු ගැන, මේ දෙපිරිස ගැන සමාජය කියන දේවල්වල දෙවිදිය ගැන අවධාරණය වන ලෙසින්. මට මතක් වෙන්නේ ගාෂියා ලෝකාගේ ‘බර්නාදාගේ සිරගෙය’. කවියා පැත්තක ඉඳන් ලෝකෙ දිහා බලමින් ඒ ඒ මිනිසුන්ට හිතෙන දේවල් දිවැසින් දුටුවා වගේ කවියට අරගන්නවා.
අංක 29 කවිය, අසල්වැසි ගෙදරක පිරිසක් ගේ හැර දාල යද්දි, ඒ ගැන තමන් ඇහුවෙ නෑනෙ කියලා හිතෙන් ගිල්ටි වෙවී ඉන්න කෙනෙක් ගැන යි. මිනිස්සු තමන්ට වරද පටවාගන්නත් ඒ බව හිත හිතා විඳවන්නත් මෙතරම් ආසා ඇයි කියලා හිතෙන්න ගන්නවා. කවිය කියන්නෙ හිතට අදහස් එනවා වගේ පෙළගැහිලා. ආත්ම කථන ස්වරූපයෙන් ඇති නිසා, අපි අපිටම කියනවා වගේ.
ප්‍රභාත්ට කවි ලියන්න, ගහකින් කොළයක් වැටෙන්න ම ඕනෙ නෑ. මිනිහෙක් මැරෙන්න ඕනෙත් නෑ. තමන් නිදාගෙන ඉද්දි ඒ ගැන වුණත් ලියතෑකි. පුතා නිදාගෙන ඉද්දි මතක් වෙනවා තාත්ත නිදාගත්තෙත් මේ විදියට ම පැත්ත හැරිලා, අත උඩ හිස තියන් නේද කියලා. අන්තිම පේළි හතරෙන් ඔවුන් දෙන්නා අතර තිබුණු ඉතිහාස කතාව ම ඔහු සාරංශයක්ව ගේනවා. ඉතින් අපි හිතන්න ගන්නවා, අපේ තාත්තලා ගැනත්. අපි ගැනත්. තාත්තලා සහ අපි දෙගොල්ලො ම ගැනත්.
පුතයි තාත්තයි එකම කාර් එකේ යද්දි දෙදෙනාගෙ ම හිත යන රුවැති රුවක් සහිත 43 කවිය, අපිට පිය- පුතු දෙදෙනම එක ම යුවතියට පෙම් බැඳ එකට හැසිරුණු අතීත සමාජවල තිබූ ව්‍යභිචාරි මතක් කරනවා. (The Age of Adaline -2015 ෆිල්ම් එක). දෙදෙනා ම ඇය දෙස බැලූ සැටි දෙදෙනා ම දැක එතෙක් පැවති සංවාදය ගෙනියන්න දරන වෑයම, රථය ඇතුළේ මතුවුණු නිහැඬියාව සහ පරස්පරය එක්ක සජීවී මොහොතක් කවියා මවනවා.
අංක 26 කවියෙ දි, මිනිහෙක් තවත් මිනිහෙක්ව මනින්න පාවිච්චි කරන දේවල්, ඇතිකරගන්න සීමා, අස්ථිර නිගමන එක්ක පොදුවේ සුවපත් කරන්න ඕනෙ සුවපත් වෙන්න ඕනෙ මිනිසුන්ව සැලසුම් සහගහගතව රිදවන සැටි, මිනුම්වලින් මනින හැටි, අගරු නිගරු කරන හැටි සහ එයින් ඔවුන් ලබන සතුට වැනි දෑ ගැන ලියැවුණු කවියක්.
අංක 38- අම්මගෙත් තාත්තගෙත් රණ්ඩුවක් දකින දරුවා (මිට නැති හැන්ද – සංකේත), අංක 17- වෙන්වුණු පෙම්වත් දෙපලක්, එක්ව සිටිද්දී කියූවා, අංක 36 – වෙන්වෙන්න හදන දෙපලකගෙ දුක අහල අන්තිමෙ නරක මනුස්සයා වුණු යාළුවෙක්ගෙ කවිය වැනි නිර්මාණ – දෙයක් ගැන කියන්න තියෙන ටික කිව්වට පස්සෙ, හිතේ ඉතුරු වන අංශුවක් දෙකක් තියෙනව නම්, ඒ අංශුව පවා නොතියා නොසාංගා කියලා දාන කවි කියල හිතෙන්නෙ. ඒනිසා, කවියෙ අග ඉවරයි කියල හිතෙන තැනින් තව පේළියක් වචන දෙක තුනක් එකතුකරල අර කිවූ ‘නොකියන අංශුව’ත් පුරවලයි ප්‍රභාත් කවිය නවත්තන්නෙ.
පොතේ කවරය පසුපසට (පසුවදන සේ) යොදා ඇති කවිය, මේ මිනිස් ජීවින් අතරෙ කිසිවෙකු ගැන විශ්වාසය තැබිය නොහැකි බව නිර්මාණාත්මකව කියන්නක්.
අන්තිමට නිහඬ බව ම කතාකරන්න ගත්තම, කියන දේ නෙමේ, කියන විදියෙයි වැඩේ තියෙන්නෙ කියලා තේරෙන්න ගන්නවා –
ප්‍රභාත් ජයසිංහට මේ පිටිය හුරුයි. මේ ඔහුගේ පළවෙනි කවි පොත නෙමේ. අනෙක් අතින් කෙටිකතාවේ නිම් ඉම් හරියට දන්න කෙනෙක්ට, කවියෙදි ඒවා පාවිච්චි කරන්න ඕනෙ කොහොමද කියන එක අමුතුවෙන් කියාදෙන්න වුවමනා නෑ. අපි මේ ලකුණ අජිත් තිලකසේනගෙනුත් දකිනවා. ප්‍රභාත් තමන් කවියට යොදාගන්නෙ මොකක් වුණත් ඒ දේ ගැන කියන විදිය දන්නවා. මේ ‘කියන විදිය’ අතිශය වැදගත්, ‘කියන දේ’ට වඩා නිර්මාණ කාර්යයක දි. කවියට නිමිති කරගන්න දේ විශාල වුණත්, කුඩා වුණත්, තමන් ඒ දේ කියන විදිය ගැන දැනුවත්. නූතන කවි කිවිඳියන්ට මේ පොත කියවීම වටින්නේ එතැනදි. ප්‍රස්තුතය හරි කවියේ ශරීරය හරි පුරවන එක තරමට ම, කවිය ඉදිරිපත් කරන්නෙ කොහොමද කියන එක ගැන හිතන්න වෙනවා. කවිය මුල සිට අගට සැලසුම් කරනවා. කවියෙ මුල ලියද්දි, අවසානෙ මෙහෙමයි කියලා ඔහු දැනගෙන ලියන්නෙ. කවිය ඉවරවෙද්දි අපිට මේක සැලසුම් කරල ලියා ඇති දෙයක් බව පෙනෙනවා. මේ කියන්නෙ කවියේ ආකෘතිය හෝ බස හෝ නිශ්චිතව ගෙන නෙමේ, සමස්තයක් ගැන. මොකද ප්‍රභාත් බසෙන් ප්‍රාතිහාර්ය පානවට වඩා කරන්නෙ අපේ ආත්මය අමතන තරමට මේ ‘කියන විදිය’ මුවහත් කරගන්න එකයි.
හැබැයි පොතේ එන සිව්පද කවිවල මට ඒ ‘ප්‍රභාත් සලකුණ’ දැනුණේ නැහැ.
කවි කොටස් උපුටා දැක්වීමෙන් කියවන්නාට වෙන්නෙ අසාධාරණයක් නිසා, එසේ නොකරන්නෙ. මොකද, මුළු කවියම නොකියවා කෑලි කියවීමෙන් අදහසක් එන්නෙ නෑ.
අන්තිමට නිහඬ බව ම කතාකරන්න ගත්තම, ගෑවී නොගෑවී යන උපහාසය ටොකු ඇන ඇන දෙන උපහාසයට වඩා බලවත් කියල හිතෙන්න ගන්නවා –
මේ කවිවල තියෙනවා, වැදුණොත් වැදෙන්න, දැනුනොත් දැනෙන්න, හැඟුණොත් හැඟවෙන්න විදියෙ ගෑවී නොගෑවී යන උපහාසයක්. ලොරි පිටින් ගෙනත් බාන උපහාසයක් නොවන නිසා, ඉඳලා හිටලා ළඟින් යන උපහාසයක් නිසා, කවි රසවිඳින්නාත් වෙලාවකට තක්කු මුක්කු වෙනවා මේ උපහාසය කාටද එල්ලවෙන්නෙ අපිටද කියලත්. නැතිනම් මේ උපහාසය එල්ලවෙන්නෙ කවියෙ ප්‍රධාන කථකයගෙන්ද නැත්නම්, ප්‍රභාත් ගෙන්මද කියලාත්.
අන්තිමට නිහඬ බව ම කතාකරන්න ගත්තම, කෙටිකතාත් කවියත් එකිනෙකා වෙනුවෙන් මෙහෙවර කරන්න පටන්ගන්නවා –
ප්‍රභාත් ජයසිංහ කෙටිකතාවට කලින් කවියෙන් සිය නිර්මාණ කාර්යයන් තහවුරු කරන්න පටන්ගත්තා වුණත්, ස්වර්ණ කායක් බඳු ඔහුගේ ස්වර්ණමය යුගය එළඹෙන්නේ කෙටිකතාවෙන් නිසා මේ ශානර දෙක එකිනෙක පෝෂණය වන සැටි අපට නොපෙනෙනවා නොවේ. අන්තිමට නිහඬ බව කතාකරන්න ගත්තම, කෙටිකතාවල තියෙන ඩ්‍රැමටික් අවස්ථා, උච්චතම අවස්ථා, මිනිස් හැසිරීම්වල නිශ්චිත මොහොතවල් බලා ඉඳලා ග්‍රැබ් කරගන්න කවියකදිත් පුළුවන් ද කියලා හිතෙනවා. කවියාගෙන් කතාකරුවාත් මතුවෙන තැන් තියෙනවා. සමහර කවි, කවි වුණේ කොහොමද, ඒවා කෙටි කතා විදියට ප්‍රභාත් ම ලිව්ව නම් කොහොම තියේද කියලා හිතෙන්න ගන්නවා. තවත් කවි, සම්පූර්ණ මිනිස් ජීවිත කතාවක් පිටු දෙකකින් සංක්ෂිප්තව කවියක් ලෙස කියන්න ඉවසීම හදගත්තෙ කොහොමද කියලා හිතෙන්න ගන්නවා.
අන්තිමට නිහඬ බව ම කතාකරන්න ගත්තම, තමන්ගෙ බල ප්‍රදේශයේ තියාගෙන හදලා වවාපු කවි ටිකට උඩින් ප්‍රභාත් තමන්ගෙ නිල මුද්‍රාව තියනවා. ඉන්පස්සෙ මුකුත් වුණේ නෑ වාගෙ පුටුවෙ වාඩිවෙලා හිනා වෙවී ඉන්නවා. මුද්‍රාවේ අලුත් තීන්තෙන් ඔප වැටුණු කවි ටික ම අන්තිමට නිහඬ බවේ අගුලු ඇරලා කතාකරන්න ගන්නකම්, ප්‍රභාත් නෙමේ කට අරින්නෙ.