විදුර තුල්සි ඩයස් අභයගුණවර්ධනගේ ‘සරැළි’ පොත කියවන්නට ලැබුණේ එය පළවී වසර දෙකක පමණ ප්‍රමාද කාලයකින් පසුවය. එහෙත් කවි පරණ නැතැයි එය කියවද්දී හැඟිණ. ඊට හේතුව එහි කිසියම් නවතාවක් දැනීමයි. ඒ නවතාව තරමක අතීතයට සම්බන්ධ වෙයි. නිදහස් කවියෙහි සමාරම්භක අවධියේ ජී.බී.සේනානායක ලියූ කවිවලට යම් ඥාතිත්වයක් මේ කවිවල පෙනේ. නිදහස් කවියෙහි විවිධ අත්හදා බැලීම් කළ කවීන්ගේ නිර්මාණවල මංපෙත් වල ස්පර්ශයක් ද දැනේ. පසුගිය දශක දෙකක පමණ කාලයෙහි රසික අපට හුරුපරුදු වූ කවි මංපෙත්වලින් මුළුමනින්ම ස්වාධීන නොවන අතර ම යම්බඳු නැව්ම් බවක් සහිත කාව්‍ය සමුච්චයක් විදුර අපට ප්‍රදානය කර ඇත.
කවියෙහි භාවික ගුණය නොනසා ගනිමින් බුද්ධිගෝචර බව කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන බවද ඇතැම් කවිවලින් දැනේ.
කවියෙහි බස යනු මතු පිටින් එල්ලූ ආයිත්තමක් නොවේ. එසේ වුව ද බසෙහි හික්මීම කවියකුට නොසලකා හැරිය හැක්කක්ද නොවේ. විදුර ඒ ගැන වෙසෙසින් සැලකිලිමත් වෙයි.
එමෙන් ම ඔහුගේ බස යම් අයුරකින් විදග්ධ රීතියක ලකුණු පෙන්වන අතර ම සමකාලීන විඥානය කෙරෙහි ද ඔහු සැලකිලිමත් වෙයි.
ගංවතුර කවිය මේ සියලු අදහස් පිළිබඳ කැටපතක් වනැයි සිතමි.
කුණු කඳු දිගේ රූරා ඇද හැළී
නරා දුර්ගඳ
කාණු ගබ
සිහින ද
කඳුළු ද
කළු පාට වී
ගලන්නෙ ය
හඬන
වැළැපෙන
සුසුම් ලන
මිනිසුන්ගෙන් මිදී
එකත්පස්වැ
බලමි
හාත්පස
කළු උකු වතුරින්
උඩ මතු වේද
කැඩුණතින්
මට අත වනාවිද
එකැසින්
නිලන හසරැලි දේ ද
මොහොතකට වරක්
ඉස්සි ඉස්සී බලන්නෙමි
කැමරා මා ලුහුබැඳ එයි;
ඇයි ඔබට මේ බිම්
අතැර දා යන්න බැරි
රජයෙන් තට්ටු නිවාස දී තිබෙද්දිත්
ඇයි නොයන්නේ
ඇයි ඇයි ඇයි
ඇයි ඇයි ඇයි
ඇයි නොයන්නේ
මේ බිම් අතැර දා
දැන්වත්
මහත්තුරුනි
මේ අහන්න
උඩ ආවේ නෑ
තවම
දූට තුරුළු වී
පෙර දා රෑ නිදාහුන්
බෝනික්කා!
මේ කවිය පරිස්සමින් කැටයම් කරන ලද්දකි.භාෂා කැටයමකි.ප්‍රස්තූත සිදුවීම අප කවුරුත් දන්නා එකකි.නාය යෑමකින් පසු නැවත පදිංචි කිරීමේදී ඇතිවන ගැටුම.වෙනත් කවියකු අත භාවමය කම්පනයකට පමණක් සීමා විය හැකි අනුභූතියන් සීරුවෙන් ගෙන ගෙන කවියට උචිත අයුරින් නිර්මානුභූතියක් බවට පත් කිරීමට කවියා ප්‍රවේශම් සහගත වෙයි.එනිසා මෙය අනුකම්පාව යදින කවියක් බවට පත් නොවෙයි.
කවිය ආරම්භ වන්නේ කන්ද නාය යන දසුනේ චිත්ත රූප සමූහයකිනි.අවතැන් වූවන් පසු පස කැමරා හඹා එන බව කීම උත්ප්‍රාසජනක මොහොතකි.ප්‍රශ්නයක ගැඹුර නොදැක මතු පිට අතගාන මාධ්‍ය ආවරණයකි.
ඇයි ඇයි ඇයි
ඇයි ඇයි ඇයි
ඇයි නොයන්නේ
ඇයි යන ප්‍රශ්නය නැවත නැවත යොදා ඇත.එම ප්‍රශ්නය බහුලව අසන්නක් හෙයිනි. බොහෝ පාර්ශ්වවලට ඇති ගැටලුවයි.එක ම පාදය නැවත නැවත යෙදීම පැරණි ජර්මන් කවියෙහි ප්‍රවණතා සිහිගන්නවයි.
මිනිසෙක් අහසට අත් දිගු කරයි
අත් දිගු කරයි
අත් දිගු කරයි
යනාදී පැරණි කාව්‍යාලාප සිහි වෙයි.
කාව්‍යාවසානය ප්‍රබල ය. නොයන හේතුව හෙළි වෙයි.
දියණිය සමග නිදාහුන් බෝනික්කා මඩ වතුරේ ගොසිනි.බෝනික්කා දමා යෑම වැඩිහිටියකුට ගැටලුවක් වන්නේ තම දියණිය එය ඉල්ලා හැඬීම නිසාය..මිනිස් සබඳතාවල සියුම් බව එපරිදිය. බෝනික්කා යනු සංකේතයකි. තමන් ඉපදී හැදී වැඩුණු පරිසරය හැරදා තට්ටු නිවසකට හෝ වෙනත් ස්ථානයකට අනුගත වන විට තමන්ට හුරුපුරුදු ජීවිතයෙන් වටිනාම කොටස් අත හැරෙයි. බෝනික්කාගෙන් සංකේතවත් වන්නේ එසේ දමායන්නට බැරි දිවියයි.
විදුර දැනුවත්වම භාවාතිශය විය හැකි තැන්වලින් අත්මිදෙයි. මිනිස් ජීවන චර්යා දුරස්ථකරණය කරයි. නිරීක්ෂණය කරයි. කවියට අවශ්‍යම කොටස ප්‍රතිනිර්මාණය කරයි. විදුරගේ කවි සාවධාන කියවීමකට ලක් කළ මනාය.
විදුර ඩයස් කවියෙහි පරිසමාප්තිය කෙරෙහි සැලකිලිමත් වෙයි. බොහෝ කවිවල ආරම්භය කිසියම් විස්මාර්ථයක් දනවයි.
එසමයෙහි
මරණයේ තුණ්ඩුව ලද ගෙදරක
හුස්ම පවා රත්වුණෙන්
ටකරන් උණු විය
ඇවිළි ඇවිළී පුපුර පුපුරා
ගිනි කඳු
ලෝ දිය ගලන්නට විය
හාත්පස
(රතු සිකුරු තරුවක්)
නාන විට මී හරක්
පිට අතුල්ලන රළක්
නිලන නිල් පැහැය දී
දුගඳ මඩ පැහැ ගනී
(ප්‍රේමය)
විදුර කාව්‍ය රචනයට එළඹෙන්නේ සන්නිවේදන කුසලතා ඇතුළු ව තව බොහෝ ක්ෂේත්‍රවල ප්‍රතිභා ශක්තිය ඔපමට්ටම් කරගන්නා අයෙකු හැටියටය.
මේ නිදහස්කාමී ගතිය කවියෙහි ද පෙනේ. ඒ නිසා දෘෂ්ටිවාදී බරින් ද ආචීර්ණ කල්පික අදහස්වලින් ද ඔහු නිදහස් ය.
එය හොඳ ලකුණකි. ඔහුගේ කවි සමුච්චය නැවත වරක් කියවන්නට සිතමින් විදුරට සුබ පතමි.