කුවේණිය යළි කැඳවමින් වැලිකඩ මැදින් සමාජ හරස්කඩක් ගෙන හැර පාන ‘වැලිකඩ අස්න’

Share post:

‘වැලිකඩ අස්න’ – අනුරාධා නිල්මිණි

අනුරාධා අප අතර අද සිටිනා විවිධ ක්ෂේත්‍රයන්හී සිය නිර්මාණ ශක්‍යතාවන් විදහා පාන දක්ෂ ලේඛිකාවකි. විටෙක ඇය අප හමුවට එන්නී නවකතාවකිනි. ඒ සමගම අපට ඇය කිවිඳියක ලෙස හමුවෙයි. ඇය දක්ෂ මාධ්‍යෙව්දිනියකි. ඇගේ කවර නිර්මාණයකට වුව මේ මාධ්‍ය ජීවිතයෙහි අත්දැකීම් වලින් සැපයෙන ආලෝකය ඉමහත්ය. ඇය මේ අත්දැකීම් විවිධ නිර්මාණ හරහා ඉදිරිපත් කරන්නී දැක්මක් සහිත නිර්මාණකාරියක ලෙසිනි. එසේම ඇය බරට ලියන්නියකි. සිය ලිවීම් පිණිස නෙක ගවේෂණයන්හී, පර්යේෂණයන්හී මෙන්ම සියුම් නිරීක්ෂණයන්හිද යෙදෙන්නියකි. ඇය නිර්මාණයක් පිණිස දරනා වෙහෙස සහ කැපවීම ආධුනිකයන්හට කදිම ආදර්ශයකි. ඇගේ නාරි සූත්‍ර මේ සඳහා හොඳින්ම ගැලපෙයි. ඇය ඒ කෘතියේදී මහා තුරැ යට සැඟව වියැලෙන කාන්තා චරිත සමුච්ඡයක් ගෙන එමින් ඔවුන්ගේ කතාවන් හරහා කාන්තාවන්ගේ ලෝකයේ විවිධ කලාපයන් අපට අභිමුඛ කරන්නීය. ඇගේ කවියෙහි කැපී පෙනෙනම
ලක්ෂණයක් වනුයේ ඇ සිය වර්ගයා එනම් කාන්තාව දෙස හෙලනා දයාර්ද්‍ර බැල්මයි.

ඇගේ අභිනව කාව්‍ය සංග්‍රහයද එවන් කැපී පෙනෙනා මැදිහත් වීමකි. ඇය ඒ නම් කරන්නේ ‘වැලිකඩ අස්න’ නමිනි. ඉතිහාසයේ ඇතැම් කරුණු යළි හාරා පාදා ගනිමින් සහ ඒ වෙනුවෙන් කාලය ගත කරමින් අනුරාධා මෙවර අපට සිය කවිය පෙලින් පෙල දිවෙන එකම කතාවක කොටස් බවට පත් කරයි. ඇය මෙහිදී අපට මුණගස්වන්නී කුවේණියයි. ඉතිහාසයේ බොහෝ විට ද්‍රෝහී කතක ලෙස ගර්හාවට ලක් කරන, අනුකම්පාව වෙනුවට පිලිකෙව් කිරීම වෙත වැඩි බරක් තැබෙන මේ ඉතිහාසගත කාන්තාව යනු අව්‍යාජ පෙම වෙනුවෙන් තම ජීවිතයම පවා කැප කල ඉතිරියක ලෙස දකින්ට අප එතරම්ම සූදානම් නැත. එහෙයින් සියල්ලම අහිමිව ගිය මේ කාන්තාව සහ ඇය විසින් ආදරය වෙනුවෙන් තබන ලද බර ඉතිහාසයට වැදගත් නැති. විජය විජග්‍රාහී පාලකයකු වන විට කුවේණිය යනු සැතිරියකි.

අනුරාධා මේ කුවේණිය යළි කැඳවමින් වැලිකඩ මැදින් සමාජ හරස්කඩක් ගෙන හැර පායි. බෙහෙවින් ශුද්ධවන්ත සේ පෙනී සිටිනා සමාජයක, පිරිමි ලෝකයක නෙක ගැහැට අවමන් තාඩන පීඩන උසුලමින් මව් පදවි දරමින් ඒ මව් පදවිය තුළ පවා අනේකවිධ ගර්හාවන්ට ලක්වෙමින් යළි යළි ඉතිහාසයේ අසාධාරණ විනිසුරු අසුන් ඉදිරිපිටට පමුණුවන එසේම ඔවුන් සමගම ක්ෂයව යන කුඩා දරුවන්ගේ කතන්දර ලෙසින් අනුරාධා අප සමාජයේ ජරාජීර්ණ වූ කලාපයක් විවරණය කරන්නට උත්සුක වෙයි. විටෙක සිවුපද ආකෘතියත් විටෙක නිදහස් පද්‍ය ආකෘතියත් පිටිවහල් කරගන්නා ඇය ජනකවිය මෙන්ම නූතන කාව්‍ය සම්ප්‍රදායන්ද එකසේ භාවිතා කරන්නී නෙක යෙදුම් භාවිතා කරමින් සහ ඊට පාද සටහන් මගින් පැහැදිලි කිරීම් එක් කරමින් පාඨකයාටද සැලකිය යුතු වැඩ කොටසක් පවරයි. මේ අනුරාධා තම දරුවන් සොයා ඇදෙන අතීත කුවේණිය නැතිනම් මහාපාලිය ගේ වේදනාව වදන්වලට හරවන අයුරයි.

විසකුම්භණ සුතුර හැර නැත කිසි පවිටු කම් හද
ඇස ඇල්මෙන කන්‍යා හවඩි ඉහිරුම ඔව්! එය පාලියගෙ වරදද
දොස බන්ධන හැවිලි යාදිනි පිරි පරඬැලා පොත් මැද
හිස ඉල්ලන මිනිසුනේ අනේ මයෙ ළමෝ දුටුවෙද?

ඉදින් මෙසේ සරනා මහාපාලියට හමුවනුයේ නූතන අම්බපාලියයි. ඇය ඒ අම්බපාලියගේ ඛේදය විස්තර කරන්නට වර්තමාන වහර මනාම සම්මිශ්‍රණය කරන්නීය.

පැයට පන්සීයයි
ආටා ධර්මෙගෙ අතට සීයයි
මාසෙන් දෙකෙන් ආයෙ බඩ මෝරයි
දන්නවද උඹ?
එක පාන් බාගෙට එතකොට
කටවල් තුනහමාරයි

මේ අපේ වීදි ලියන්ගේ කටුක ඉරණමෙහි බොහෝ දෙනා අමතක කරන පාර්ශවය මය. අනුරාධා මනාව පාලනය කරගත් වදනින් එහෙත් පාඨකයාගේ හද කම්පනය කරනා අයුරින් අම්බපාලියගේ ජීවිතය දිග හරියි.

සුකුරුත්තන් වචන හුරු නෑ මට, දිවට
තොල අගට කොහොමත්
එක පෙත්තක් ගහල මදි පොස්ටිනෝ!
ඒක අම්මගෙ රෙද්දෙ බේතක්
අක්කෙ උඹ දන්නවද පාරෙ හැම ගෑනිම කරන්නේ
ඇමක් නැති මාළු බෑමක්
අද මං හිටිය පොර ආ නම විජේ උගෙ
ඌට ඕනැ පුරන් කුඹුරක අතින් හෑමක්

අනුරාධාගේ වචන සැබැවින්ම ඒ පංතියේ මිනිසුන්ගේ ව්‍යාවහාරයන්ගෙන් ගනු ලැබූ වදන්මය. එසේම එහි ඇති ව්‍යංගය, දෙපිටකැපෙන ස්වරූපය මෙන්ම සියුම් උපහාසයද ඇය මනාම රැක ගන්නීය. මේ අම්බපාලිය තම ඛේදය දරාගෙන කුවේණිය වෙත නැමෙන්නී තම දුක ඇයට පැවසීමට නොව ඇගේ දුකට පිහිට වන අරමුණිනි. පොදු ඛේදයක් හමුවේ කාන්තාවන්ගේ දරා ගැනීම බෙදා ගැනීම මෙන්ම ළබැඳියාවද අනුරාධා මෙහිදී මතු කරන්නීය.

මගෙ මගුල් වැඩක් නෑ ලිහාපන්
උඹේ දුක් කන්ද
දරුවො නැතිවුනේ උඹෙ ඇත්තටම කාගෙ වරදින්ද
මිනිහ ගිය අත කොහෙද?
ඌ තවම හොඳින්ද යහතින්ද?
කුවේණී පරපුරේ ගෑනු අපි
තේ එකක් බොන්නවත්
ළඟ පෙට්ටි කඩේකට යංද?

ඉදින් එසේ ඇරඹෙනුයේ කතුන් දෙදෙනකුගේ චාරිකාවයි. ඒ චාරිකාව යනු ස්ත්‍රී වර්ගයා සහ ඔවුන් සමගම දුක් විඳිනා දරුවන් පිරිසකගේ ජීවිත හරහා කෙරෙන තියුණු සමාජ විවේචනයක්මය.

පන්දාහෙ දඩේටත් දෑවුරුද්දක් හිරේ
උසාවිය තව නඩුව අහනවා
‘බට්‘ එකට ‘රතු සීනි‘ අවුන්සෙට කුදලගෙන
මෙහෙ ගෙනත් දාපු උන් ඉන්නවා
අත දරැවො පෙළක් තව පෙළක් උන් ගැබ්බරින්
එක ගොඩේ උන් ඕමි බලනවා
පොඩි උන්ගෙ අම්මලා පෙරලගෙන හෝඩිපොත්
සාමලා ගිය පාර හොයනවා

මේ වැකි කිහිපය පමණක්ම ගත්තද එය බලය, නීතිය, කාන්තාවන්ගේ ඉරණම, නීතියේ හිල් හේතුවෙන් හාල්මැස්සන් පමණක් සිරවෙන යුක්තියෙහි විසුළු බව ඒ සියල්ලෙහි පලය ලෙස තමන් නොකල වරදකට සිපිරි ගෙදරට ගාල් කෙරෙන පැටවුන්ගේ ජීවිත යන මේ සියල්ලම නිරූපණය කරයි. ඇය දිගු කතාවක් බෙහෙවින් සංක්ෂිප්ත සහ ළගන්නා තානයකින් ගෙන හැර පායි.

මේ බලය හමුවේ වැනසී යන කාන්තා ජීවිතයක් ඇගේ කවියෙහි අපට හමුවන ආකාරයයි.

තව කෙනෙක් ඉන්නවා කියන්නම් ඈ ගැනත්
බඩට හත් මහ පිරුණේ ළඟදි
ගමේ ගාමන්ට් එකේ මැනේජර්කාරයා
පෙරළගෙන වැඩට එන මගදි
ඌ ගොඩින් බේරෙන්න රෙදි නූග් හොරකමක
පටලලා මේ කෙල්ල අගදී
දැන් අච්චු විඳිනවා ඉකි ගගහ රෑ මැද්දෙ
කවුද කියපං අක්කෙ වැරදී

අනුරාධාගේ මේ කවි එකතුව මගේ සිහියට නැගුවේ ප්යදෝර් දස්තයෙවුස්කි විසින් රචිත මලගෙයක සටහන් කෘතියයි. අනුරාධා මේ නව සියවසෙහි රචනා කරන මේ කවි මගින් අපට මේ යුග දෙකෙහි වෙනසක් නැති බවත් එහි ඇත්තේ සිත කීරි ගස්වන සාම්‍යයක් බවත් කියා සිටින්නීය. බලවතුන් මගහැර කුඩා ඉත්තන් පමණක් දඩයම් කෙරෙන, ආයුධ පෙන්වන්නට ගොස් පාතාලයන් සේ කොටසක් මැරී නියම අපරාධකරුවන් ඉතා සූක්ෂම ලෙස වසන් කරනු ලබන නූතන පාදඩ ක්‍රමය අනුරාධාගේ කවි හරහා අපට සම්මුඛ වෙයි. ඇය සිර මැදිරිය අංක 16 නමින් ලියනා කොටසෙහිදී අපට හමුවනුයේ අටමස් වියැති බිළිඳු දරුවෙකි. ඒ දරුවාගේ මුවට නංවනු ලබනා වදන් යනු විෂම ක්‍රමයක් නිර්මාණය වන ආකාරය ගැන විවරණයකි. මව් පියන්ගේ වරද නිසා කූඩුවෙහි ලගින්නට සිදුවන් බිළිඳකුගේ මාවත තැනෙනුයේද යපොලු මැදින්ම බව මහා සමාජය වගකට නොගනී.

රන් කිරි ළමයා නඩුවට යනවා
රන් කිරි ළමයා ආපහු එනවා
රන් කිරි බස් එක ටටා කියනවා
රන් කිරි ළමයා කූඩු කරනවා

රන් කිරි මං දවසක ලොකු වෙනවා
රන් කුඩු සෙල්ලම ජයට කරනවා
රන් කිරි හෝඩිය මතක තියාගෙන
රන් කිරි වැලිකඩ යනවා එනවා

රන් කිරි බස් එක, රන් කිරි හෝඩිය යන අපූර්ව යෙදුම් හේතුවෙන් අනුරාධාගේ කවිය තවත් ඔප වෙයි. ඇගේ කාව්‍ය කෘතිය පුරාම මේ යෙදුම්හී පොහොසත් බව දැකිය හැකිය.

මේ විසි දෙහැවිරිදි වරදකාරියක ගේ තුන් හැවිරිදි දියණියගේ චෝදනා පතයි.

රන්වන් පාටයි මූසලයා
නිල්වන් පාටයි අපෙ අම්මා
අල්ලන් සෙල්ලන් කරලා දවසක්
මං අපෙ අම්මට දීගා ගියා

ඇගේ කවිය කියවන කිට නිතැතින්ම සිතට නැගෙනුයේ රන්වන් පාටයි සමනළයා කවියයි. එසේම ඒ සමගම මේ කවි දෙක අතර ඇති සිත කම්පාකරවනසුළු පරතරයද පාඨක සිතට නැගෙයි. පීඩිතයාගේ ජීවිතය කටුක චක්‍රයකි. පරම්පරාවෙන් පරම්පරාවට ඉන් ගැලවීමත් නැති. අනුරාධා ඒ ගැන ලියන්නී මේ අයුරිනි.

රන්වන් පාටයි ඒ මූසලයා
කවුන්සලේ පුටුවක වැජඹේයා
නිල්වන් පාටට දිලිසුන ළමයා
තව නිල් කට්රොල් මලක් ගෙනාවා

වරදකරු වෙනුවට ඇපයට බිලි ගැනීම අපේ ආරක්ෂක අංශයන්හී ජනප්‍රිය පිලිවෙතකි. එසේ තමන් අනෙකකු වෙනුවෙන් දංගෙඩියට යැවෙන විට අනාථ වන පිරිස් ගැන නීතියට ඇස් නැත. එවන් දේ සිදුවන බව දකින්නට සමාජයටද ඉස්පාසුවක් නැත. අනුරාධා ඒ මතු කරන්නීය.

කෝ තොගෙ මිනිහා කොහෙද කියාපිය
ඌ නැත්නම් තෝ දඩය ගෙවාපිය
ඇඟ රෙදි තනපට කිලුටු ගලොපිය
අයිස් ලන්තෙ සිතියම මෙහෙ දීපිය

අප්ප කුඩප්පයි අයිස් බෙදන්නේ
පච්ච ගුණේ බට් පැකට් කරන්නේ
වෙච්ච හරිය ගැන කවුද කියන්නේ
පච්ච වඩම් වැලිකඩ වැලපෙන්නේ

මහාපාලියගේ ගමන අතරතුර ඇයට හමුවන කලාපයන් දකුණට සීමා නොවෙයි. එහි උතුරේ කලු දුමද මැනවින් නිරූපිතය.

නැගෙන හිරට වෙඩි වැදුණා හිජාබ ඉරුණා
බහින ඉරට වඩ විකුණා පොඩි දිවි රැකුණා
බෙදෙන තැනට එනවිට තල් ඉරටුවෙ අමුණා
එකම කඳුළ විසි තිස් වර විකුණා තිබුණා

කඳුළක බොඳ වුන සිතියම පරණයි
සුදු කොඩි වලටත් ෂෙල් වෙඩි වැදුනයි
ඉස්පිරිතාලේ කළු දුම් පිරුණයි
ඒත් අනේ ඔව්, මගේ රටට දළදා හිමි සරණයි

සකලවිධ අන්තවාදයන් මෙන්ම දූෂණය භීෂණය සහ අත්තනෝමතික පාලනය පොදු අත්දැකීම වී ඇති කොදෙවුවක කවිය යනු අසුන්දරම දේ සුන්දර සළු පිලියෙන් වසා දැමීමට ඉඩ නොදෙන පොදු භාවිතාවක් විය යුතුව තිබේ. අපේ කවි රළු වන්නේ නම් ඒ කවියාගේ වරද නොව අපට කවි ලියන්නට බල කෙරෙන සමාජයේ රළු බව යන්න අප වටහාගත යුතුව තිබේ. ඉදින් අනුරාධා වැලිකඩ අස්න මගින් මේ ජරාජීර්ණ වූ සමාජයේ මහාපාලිලා අම්බපාලිලා හරහා සමස්ත සමාජයේම රැල් රොසැල්වී ගිය සිතුවම ගෙනහඅර දක්වයි. අපට අනුරාධලාගේ මේ කවි මග නතර කළ හැක්කේ එවන් නිර්මාණකරුවන් නොතකා හැරීමෙන් නොව සමාජයෙහි සැබෑ වෙනසක් ඇති කිරීමෙනි. ඒ සඳහා අප සමත් වන දවසට සුන්දර කවි ලිවීම ඇරඹෙනු ඇත.

චූලානන්ද සමරනායක

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...