ප්‍රභාත් ජයසිංහ කියන්නෙත් කෙටිකතාවේ යල් පැන ගිය නිර්වචනයන්ට තමන්ව යටත් කරගන්න නොදී කෙටිකතාකරණයේ යෙදෙන කෙටිකතාකරුවෙක්. නිර්වචනයන්ට ලොල් වුණු මිනිස්සු බහුතරයක් පිරුණු ලෝකෙක අතදිග ඇරලා අතිශය අවදානම් සහගත අත්හදාබැලීම් කරන ලේඛකයෙක්. සවිඥානික ලිවීමක අයිතිකරුවෙක්. ඔහුගේ අලුත්ම කෙටිකතා සංග්‍රහය තමයි මගහැරුණු දූපත්. කෙටිකතා සංග්‍රහයකට ඇයි මෙහෙම නමක්? සමහර දූපත් අපිට මගහැරෙන්නේ ඒවා දූපත් වුණු නිසයි. දූපත් ගොඩක්දෙනාට මගහැරෙන නිසා දූපත්වලටත් ගොඩක් දේවල් මගහැරෙනවා. ඉතින් මෙහෙම මගහැරුණු දූපත් ගැන කතුවරයා තමුන්ගේ මගහැරුණු දූපත් හරහා අපිට කියනවා. කතුවරයා ලබා දීලා තියෙන මග සලකුණු දිගේ ගියාම පාඨකයාට එහෙම මගහැරුණු දූපත් අටක් හමුවෙනවා. ඒ දූපත්වල අපිට මගහැරුණු මිනිස්සුන්ගේ ජීවිත , සහ සිද්දි හමුවෙනවා. ඒ චරිත සහ සිදුවීම් ඔස්සේ මගහැරුණු තැන් පාඨකයාට පේන්න ගන්නවා. මේ එහෙම මගහැරුණු දූපත් දෙකක් ගැන.
හැම මනුස්සයෙක්ම පෘතග්ජනයි. ඒ මිනිස්සු අඩු වැඩි වශයෙන් ඉවරයක් නැතිව අටලෝ දහමට කම්පා වෙනවා. අටලෝ දහම කියන වචනේ නැතිව වෙන නමකින් කිව්වත් මිනිස්සු දුක, සැප , නින්දා , ප්‍රශංසා, ලාබ , අලාබ, යස අයස වගේ කාරණාවලදී ප්‍රතිචාර දක්වන විදිහ උපේක්ෂා සහගත තැනක තියාගන්න පෘතග්ජන මනුස්සයෙක්ට අපහසුයි. දිගින් දිගටම සැප , ලාබ , ප්‍රශංසා , යස කියන කාරණා තමුන්ගේ ජීවිතවලට උවමනාවෙන්ම ලං කරගන්න ගොඩක් අය ආසයි. තණ්හාවයි. ගිජුයි. මේ තමයි මනුෂ්‍ය ස්වභාවය. ඉතින් ඒ අරමුණුවලට යන ගමනේදී දුක , නින්දා , අලාබ , අයස වගේ කාරනාවලට මූණ දෙන්න වුණාම එකිනෙකාගේ දරාගැනීමේ හැකියාව සහ ඒ දේවල්වලට ප්‍රතිචාර දක්වන ආකාරය පුදගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා. ඒක සැප , ලාබ , ප්‍රශංසා , යස කියන කාරණාවලදීත් පොදුයි. මේ වෙනස්කම් වගේම සමානකම් ඇති වෙන්නේ දේශපාලනික, සංස්කෘතික, සමාජීය, ආගමික සහ ආර්ථික බලපෑම් මත.
ගොඩක් මිනිස්සු ගොඩක් වෙලාවට සමහර දේවල් මුලින් මුලින් කරන්නේ සද්භාවයකින්. කිසිඳු ලාබ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකර. එක තැනකදී එහෙම දේවල් යම් අවධානයක් ලබාගත්තම ඒ අයගෙන් සමහරු මුලින් සද්භාවයකින් කරපු දේ අවධානය සහ වෙනත් ලාබ ප්‍රයෝජන අපේක්ෂාවෙන් සිදුකරන්න පටන් ගන්නවා. ඒ අපේක්ෂා සමහර අවස්ථාවලදී ඉතාම ආන්තිකව ක්‍රියාකරන්න තරම් ඒ අයව පොලඹවනවා. සමහර විට අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙද්දී අපේක්ෂා භංගත්වයට පත්වෙන මේ අය විශාදය වැනි තත්ත්වයන්ට ගොදුරු වෙනවා. එය සිය දිවි නසාගැනීමක් දක්වාම දුර දිග යන්න පුළුවන්. සිය දිවි නසාගන්නවුන් මරණයෙන් වළක්වපු පොලිස් නිලධාරියෙක් සිය දිවි නසාගැනීම් වළක්වන්න දැඩි උවමනාවකින් බලාගෙන ඉන්න තැනකට ඔහුව තල්ලු කරලා දාන යාන්ත්‍රනයේ වැරදිකරුවා කවුද? ටාගට් එකක් දීපු ප්‍රකාශකයද? එහෙමත් නැත්නම් ඒ ප්‍රකාශකයාගේ වෙළඳ අරමුණ සාක්ෂාත් කිරීම හරහා තමුන්ට ලැබෙන අවධානය, ප්‍රසිද්ධිය කෙරෙහි වූ පොලිස් නිලධාරිගේ වූ අවිඥානික ආශාවද ?
කතුවරයා මේ කතාව කියන්න භාවිතා කරන ප්‍රතිනිර්මාණ තාක්ෂණය , ව්‍යුහය වගේම භාෂාව ඉතාම සිත්ගන්නා සුළු සහ අපූර්වත්යකින් යුතු එකක්. මේ කෙටිකතාව කියවද්දී මට ජී බී සේනානායකගේ දුප්පතුන් නැති ලෝකය සහ විරාජිනී තෙන්නකෝන්ගේ අන්ධයා සහ සුරුට්ටු න්‍යාය කෙටිකතා සංග්‍රහයේ එන දැවීම සහ දැල්වීම මතක් වුණා.
”දිවි නසාගන්න එන කෙනෙක්ව ඒකෙන් වළක්වාගන්න එක කලාවක්. ඒක ප්‍රගුණ කරන එක ඉවසීමෙන් කළ යුතු දෙයක්. ඒක කලාවක් නම්, මං හිතාගත්තා මං ඒකෙ පිකාසෝ වෙනවා කියලා.”
(පිටුව 17)
මනුෂ්‍ය සම්බන්ධතා සහ බැඳීම් කියන්නේ කවදාවත් ඉරිගහලා කොටු කරලා නම් කරන්න පුළුවන් ඒවා නොවෙයි. මිනිස්සු එහෙම කරන්න මොන තරම් උත්සහ කළත් නමක් දෙන්න බැරි බැඳීම්, තමුන් නමක් දෙන්න අකමැති හැඟීම් මිනිස් ජීවිතවල මොන තරම් තියෙනවද ? ඒ වගේ දේවල් අපි මොන තරම් ලේබල් කරනවද? ලේබල් ගහනවද? උපහාසයට අපහාසයට ලක්කරනවද? හැබැයි සමාජයෙන් සංස්කෘතියෙන් ඔය මොන බාධක කරදර ආවත් මනුෂ්‍ය සම්බන්ධතා සහ හැඟීම් බැඳීම් බාධක මැද ගලාගෙන යනවා.ඒවා පවතිනවා. ඒ පැවැත්මන්ගේ ගෞරවනීය බව,අවබෝධය සහ සහකම්පනීය බව විතරයි අවසානයට වැදගත් වෙන්නේ. හිතේ සාමයට වටින්නේ. ‘එක්කෝ මමම කියන්නම්’ ඒ වගේ කෙටි කතාවක්. මගහැරුණු දූපතක්. මානව සම්බන්ධතා ප්‍රශ්න කරනවා වෙනුවට විනිශ්චය කරනවා වෙනුවට අන්‍යොනය ගෞරවය , අවබෝධය තියෙන වෙලාවක ජීවිතය ඇතුලේ තියෙන සෞම්‍ය බව සාමකාමී බව ජීවිතය මොන තරම් පහසුකරනවද කියන කාරණය හිතන්න පෙළඹවන ඒ කෙටිකතාව ජීවිතය දිහා මනුෂ්‍ය සම්බන්ධතා දිහා දයාර්ද හැඟීමකින් යුතුව බලන්න කියලා පාඨකයාට මතක් කරනවා.
”මං ඒ හුඟක් දේවල් දන්නවා වෙනුරි. තාත්තා නැති උනත් මං තාම ඔයාගේ අම්මත් එක්ක ඒ යාළුකම ගෙනියන්නේ ඒ නිසා. ”
”සමහර විට තාත්තාට අම්මගේ මතේට ඉඩ දෙන්න අමාරු නොවෙන්න ඇත්තේ අම්මගේ ඒ දේවල් ගැන එයා අපි කාටත් වඩා හොඳින් දැනගෙන හිටපු නිසා වෙන්න ඇති. ”
( පිටු 159)
තව මගහැරුණු දූපත් හයක් තියෙනවා. ඒවා මොනවද කියලා හොයාගන්න මගහැරුණු දූපත් කියවලම බලන්න.