පද රචනය – මහගම සේකර
සංගීතය – පණ්ඩිත් අමරදේව
ගායනය – නන්දා මාලනී
රුවන්වළා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැළුම් තුෂාර හාර හා එතී ගලා හැළෙනවා…
පුතුගෙ සිඟිති දෙතොල් වලට
සිනා ගෙනෙනවා…
සිනා ගෙනෙනවා…
අනෝතප්ත නෙළුම් විලේ පාවෙන මල් රේණු වලින් සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා…
සඳුන් සෙමෙර සලා පුතුට
පවන් සලනවා…
පවන් සලනවා…
අතු අග මල් කුමාරියන් බිඟු මිණි දැල් සැලෙන හඬින් නිදන පුතුගෙ කණට මිහිරි කතා කියනවා…
සිහින ලොවේ ළපටි සිහින
සිතේ අඳිනවා…
සිතේ අඳිනවා…
රාජ ඉසුරු බරට වටින වාසනාව කිරුළු දරන මාළිගාව එළිය කරන බිළිඳු නිදනවා…
සීත නළින සිහින ලොවට
බිළිඳු වඩිනවා…
බිළිදු වඩිනවා…
මහගමසේකර සූරීන් විසින් රචිත අමරදේව සූරීන් විසින් සංගීවත් කොට නන්දා මාලනී නම් විශිෂ්ට ගායන ශිල්පිණිය විසින් ගායනා කරනු ලබන, ඉහත අපූරු ගේය පද රචනය දෙස විමසුම් ඇසින් බලන අයෙකුට එහි විශේෂිත වූ ඡන්දස් ලක්ෂණ ඇති බව පෙනී යන කරුණකි.
ගේය පද රචකයා විසින් එම ගේය පද රචනය දෙපා කව් සතරකින් නිර්මාණය කර ඇති බව දුටු පමණින් අපට වටහා ගැනීමට ද අසීරු නොවේ.
ඒ අනුව පළමුවෙන්ම අපි ගේය පද රචනයෙහි ආරම්භක කොටස ගැන මදක් විමසා බලමු.
දෙපා කවේ පාදයන් දෙකෙන් පළමු පාදය දීර්ඝව සහ දෙවන පාදය ඌන (කෙටි) කොට පද බැඳ ඇති බව හොඳින්ම දක්නට ලැබෙන කරුණකි.
එය සාමන්‍ය සිවුපද කවියකට වඩා වෙනස් නොවේදැයි ඔබට සිතෙන්නට පුළුවන. ඒ සමාන්‍ය කවියක මාත්‍රා, පාදයන් සියල්ලෙහිම සමාන වන බැවිනි.
ඒ මාත්‍රා ගණන සම නොවන නිසා එසේ සිතන්නට හේතුවක් වනු ඇත.
නමුත් එය එසේ නොවේ. එය ඡන්දසට අනුව නම් විශේෂිත වූ විරිතක් වේ.
හොඳයි අපි නැවත හොඳින් විමසමින් ඒ ගැන දැනුවත් වෙමින් ඒ ඡන්දස් ලක්ෂණ මොනවාදැයි විමසා බලමු.
පළමු පාදය –
රුවන්වළා,දුහුල් කඩින්,පෙරී සඳේ රිදී කැළුම්, තුෂාර හාර හා එතී, ගලා හැළෙනවා
දෙවන පාදය –
පුතුගෙ සිඟිති දෙතොල් වලට, සිනා ගෙනෙනවා
පළමු පාදයෙහි මාත්‍රා 44 කි.
එමෙන්ම ගේය පද රචකයා මාත්‍රා 6, 6, 6, 6, 12, 8, ලෙසින් විරාම හයක් තබා තිබෙන අපූරුව ඔබට දක්නට ලැබෙනු ඇත. එය අලංකාරයක් එක් කිරීමකි.
දෙවන පාදය ඉන් බැහැරව මාත්‍රා 20 කි.
එම පාදයෙහි මාත්‍රා 6, 6, 8, ලෙසින් විරාමය තබා තිබේ.
ඒ අනුව පළමු පාදය මාත්‍රා 44 ක් වන දණ්ඩක විරිතෙන් ද,
දෙවන පාදය මාත්‍රා 20 ක් ව රවුළු ඡන්දසට අයත් විරිතකට ද අයත් වේ.
මෙම දෙපා කවෙහි පාදාන්තයේ එළිසමය නම් අලංකාරය එක් කරන්නටද ගේය පද රචකයා වග බලාගෙන තිබෙන බව අපට මනාව පෙනී යන කරුණකි.
තවත් විශේෂිත වූ ලක්ෂණයක් ද දැකිය හැකිය.
එනම් පාදයන් දෙකම පාදාන්තයේ ජගණ,ය කින් සහ සගණ,ය කින් අවසන් කරන්නට ද ඔහු වග බලාගෙන තිබෙන බවද අපට දක්නට ලැබේ.
ඒ අනුව එසේ විරාමයන් යම් නියමයකට තබා අලංකාර ද එක් කරමින් පූර්ව පාදය දීර්ඝ කොට අවසාන පාදය පූර්ව පාදයට වඩා ලුහුඬු ඌන කොට ජන්දස් දෙකක සංයෝගයෙන් එළිසමය තබා පද බැඳීම තුළින් එය දෙපා කවක් වන අතර, “මුනිනඳන පෙරවිළඹු” විරිත ලෙසින් හඳුන්වනු ලබනවා.
අප ඉහත ගේය පද රචනයෙහි දෙවන සහ තෙවන කොටස් ගෙන විමසා බලමු.
පළමු පාදය
අනෝතප්ත, නෙළුම් විලේ, පාවෙන මල්, රේණු වලින්, සුවඳ උරා, හෙමින් හෙමින්, සුළං ඇදෙනවා
දෙවන පාදය
සඳුන් සෙමෙර, සලා පුතුට, පවන් සලනවා
පළමු පාදය
අතුඅග මල්, කුමාරියන්, බිඟු මිණි දැල්, සැලෙන හඬින්, නිදන පුතුගෙ, කණට මිහිරි, කතා කියනවා
දෙවන පාදය
සිහින ලොවේ, ළපටි සිහින, සිතේ අඳිනවා
ඉහත කොටස් දෙකද දෙපා කව් ම වේ.
මෙම දෙපා කවි දෙකෙහිමද එළිසමය නම් අලංකාරයද එක්කර ඇත.
එමෙන්ම පූර්ව පදය දීර්ඝ කොට අවසාන පදය ඌන කොට ” මුනිනඳන පෙරවිලඹු” වෘත්තයෙන්,හෙවත් විරිතෙන් නිර්මාණය කර ඇත.
එම දෙපා කව්,දෙකෙහිම පළමු පාදයන් මාත්‍රා 44 ක් වන නමුත් මාත්‍රා 6,6,6,6,6,6, 8, විරාමයන් 7 ක් වන අතර,
දෙවන පාදයන්හි මාත්‍රා 20 ක් ව මාත්‍රා 6, 6, 8, ලෙසින් විරාමයන් 3 ක් තබා ඇති බවද මනාව වටහා ගත හැකිය.
දෙපා කව් දෙකෙහිම පාදාන්තය පළමු කොටසෙහි දෙපා කවිය මෙන්ම ජගණයකින් සහ සගණයකින් අවසන් කර තැබීමට ගේය පද රචකයා සමත් වී ඇති බව පෙනේ.
ඒ අනුව එම දෙපා කව් දෙක ද පූර්ව පදය දීර්ඝ කොට අවසාන පදය ඌන කොට ” මුනිනඳන පෙරවිලඹු” වෘත්තයෙන්,හෙවත් විරිතෙන් නිර්මාණය කර ඇත.
අප දැන් ගේය පද රචනයෙහි අවසන් කොටස ගෙන විමසා බලමු.
පළමු පාදය
රාජ ඉසුරු, බරට වටින, වාසනාව, කිරුළු දරන, මාළිගාව, එළිය කරන, බිළිඳු නිදනවා
දෙවන පාදය
සීත නළින, සිහින ලොවට, බිළිඳු වඩිනවා
මෙම කොටසද පෙර කොටස් සේම දෙපා කවකි.
පළමු පාදය මාත්‍රා 44 කි.
මාත්‍රා 6,6,6,6,6,8 ලෙසින් විරාමය වේ
දෙවන පාදය මාත්‍රා 20 කි. මාත්‍රා 6, 6, 8 ලෙසින් විරාම 3 කි.
නමුත් ගේය පද රචනයෙහි මුල් කොටස් මෙන් නොව පාදන්තය නගණ, යකින් සහ සගණයකින් අවසන් කර තිබේ.
එළිසමය නම්, අලංකාරය එක් කළ පෙර දෙපා කව් සේම මෙම දෙපදය ද “මුනිනඳන පෙරවිලඹු” වෘත්තයම වේ.
ඉහත ගේයපද රචනයෙහි ඇති ඡන්දස් ලක්ෂණ විමසා බැලීමෙන් අපට පෙනී යන වැගත්ම වූ කරුණක් ඇත.
එනම් එම ගීතයට, එම ගීතයෙහි රිද්මයට, ඡන්දස, විරිත සහ ඡන්දස් අලංකාර තුළින්, විශාල වටිනාකමක්, ගීතයට, එහි තනුවට අපූර්වතම අලංකාරයක් එක්කර ඇති බව නොවේද ?.
ඇරැව්වල අනුර ගුණතිලක
(ගේයපද රචනය අන්තරජාලයෙන් උපුටා ගතිමි)