ලක්ෂාන්ත අතුකෝරල – චතුරස්‍රය ඉස්සරහ
ලක්ෂාන්ත අතුකෝරලගෙ කවි මගේ අපූරුව හොඳින් ම විදහා දක්වන කාව්‍ය සංග්‍රහයක් ලෙස චතුරස්‍රය ඉස්සරහ කාව්‍ය සංග්‍රහය දක්වන්න පුළුවන්. මෙය ඔහුගේ එකොළොස්වැනි ස්වතන්ත්‍ර කාව්‍ය සංග්‍රහය ලෙස දක්වන්නේ ඔහු කාව්‍ය පරිවර්තනයද කරගෙන යන හෙයින්. එකකට එකක් නොදෙවෙනි කාව්‍ය සංග්‍රහ එකොළහක් කියන්නෙ වෙනම වෙනමම අධ්‍යයනය කළ යුතු වැඩක්. ඔහුගේ රාජ්‍ය සම්මාන ඇතුළු සියලු ම සම්මාන ගැන කිසිඳු විවාදයක් නොපවතින්නේ එහෙයින්. මගේ කියවීම හා විඳීම අනුව චතුරස්‍රය ඉස්සරහ කාව්‍ය සංග්‍රහය කියන්නේ ඒ සියල්ල අතර ඉදිරියෙන් තැබිය යුතු කාව්‍ය සංග්‍රහයක්. ඒක වැඩක්.
කොළඹ කවිය සිහිකරවමින් කොළඹ කවියන් භාවිත කළ කවි මග යමින් සිව්පද කාව්‍ය හතළිහක් පමණක් අන්තර්ගත කාව්‍ය සංග්‍රහය බොහොම සීරුවෙන් ප්‍රවේසමෙන් විඳිය යුතු විඳිය හැකි කාව්‍ය සංග්‍රහයක්. මේ කවි නෙල්ලිමය රසක් සහිතයි. කියවන කියවන වාරයක් පසා අපූරු රසයක් එකතු කරවන කවි.
ලක්ෂාන්තගේ කවිය අධ්‍යනය කිරීමේදී ඔහුගේ පරිකල්පන හැකියාව අගය කළ යුතුමයි. ඒ වගේම ඔහුගේ භාෂා හැකියාව විශිෂ්ටයි. ඔහු කවියට වචන යොදා ගන්නේ නිරායාසයෙන්, නිර්භයව. අනෙකෙක් කවියට උචිත නැතැයි ඉවතලන වචනයක් ඔහු කවියට යොදා ගන්නේ දැඩි ඖචිත්‍යබවකින්. ඔහු පද එක් කරන අයුරු අපූරුයි. ඔහු පද සන්ධි කරමින් අලුත් පද සාදාගන්නෙක්. විශේෂයෙන්ම ඔහු ඔහුව විශ්වාස කරමින් කවි ලියන්නෙක්. අත්හදා බලන්නෙක්.
මුතු ඇටයක කඳුළක් මෙන් දැක්කත් සමහරු
සිතියම විමසන කාගෙත් දෑසට දැන හුරු
මිණි පිරි උරයක හැඩයකි උස්සන් යන හොරු
වක්කරමින් ඉන්දිය මහ සයුර තරම් බොරු
( වර්තමාන චිත්ත රූපයක්; 13)
ඉහත කවියෙන් ඔහු සිතියමක ලංකාව දකින අයුරු නිරූපිතය. කෙනෙක් මුතු කැටයක්, කඳුළු බින්දුවක් ලෙස අරුත් ගැන්වූ ශ්‍රී ලංකාව ඔහු දකින්නේ හොරු විසින් උස්සගෙන යන මැණික් මල්ලක් ලෙස ය. එමෙන්ම එය අප රවටා කරන්නක් බව පැහැදිලි වන්නේ ඉන්දිය මහ සාගරය තරම් බොරු පවසා අපව රැගෙන යන අයුරු දකින බැවිනි. එසේ නම් මෙකී හොරකම සිදු වන්නේ ඇස් පනාපිටය. එහෙත් ඒ වෙනුවෙන් හඬක් නගන්නට කෙනෙක් නැත. සියල්ලෝම ඇස් කන් වසා බලා සිටින්නෝ ය.
අඟුරු කකා කොළඹ දුවන යකුගෙ යකඩ බණ්ඩියේ
මැදිරි මැදින් ළැව් ගිනි විහිදෙන තුන්වෙනි පන්තියේ
කූඩෙක බිලිඳුන් තියලා වැසිකිළි කුටි කණ්ඩියේ
ලොවේ උස ම පඩි දෙක බැස ඔබ ගියා ද නංගියේ?
( පුවතක්, පුතෙක් සහ සත්‍යක්‍රියාවක්; 18)
සමාජය තුළ දැඩිව කතා බහට ලක් වූ කරුණක් ගැන ඔහු කවියට නගා ඇති අයුරු අපූරු ය. කවි හතරකින් සමන්විත කාව්‍ය තුළ ඔහු යොදා ගත් කාව්‍යාත්මක යෙදුම් මනහරය. වින්ඳනාත්මකය. තම නිර්මාණයට නොයෙක් අයුරින් ජනයා අතර ජනප්‍රිය කියමන් , කතා ආදිය මනා සංයමයකින් යුතුව ඇතුළු කර ගෙන ඇත.
“…ටික්කි ටිකිරි පුතු තනියෙන් අඟුරින් මතු වුණා සෙ
මිට මොළවන් ආව ද දැවි දිවි ඉරණම් විනාසෙ?”
සඳුන් ගැටයක් මිට මොළවන් ආ කුමරෙක් ගැන අසා ඇති අපිට ජීවිතයේ විනාශය මිට මොළවන් ආ දරුවෙකු ලෙස කවියා මෙකී දරුවාව දක්වා තිබීම එයට උදාහරණයකි. මේ සියල්ල තුළින් කවියා දරුවාගේ මවට හෝ පියාට පමණක් මෙහි වරද නොපවරා මෙය සමාජ ගත වරදක් ලෙසට ධ්වනිත කර ඇත. මෙවන් සිදු වීම් සඳහා එඛේතුවක් ලෙස සහකම්පනයෙන් තොර මිනිසුන් බිහි වීම දැක්විය හැකි ය. සහකම්පනය මිනිසුන් තුළ ඇති වීමට නම් මෙවන් කවි ගැන කතාබහක් සමාජයේ ඇති විය යුතුමය. තවද මෙකී ප්‍රවෘත්තිය කාව්‍යට නැගීමට කවියා ප්‍රවේශ වූ අන්දම, කාව්‍යෝක්ති භාවිතයටගත් අන්දම මෙන්ම කාව්‍ය රසය රඳවා ගත් අන්දම මනාය.
ජීවිතයෙ රන් කැටය සතුටු සුව පහන් සිළ
අතීතේ බලි මකා පැතුමැන්ද අහස් නිල
සහස් වැසි බිඳු කිරණ බුබුළු පිරි සිනා දොළ
මා තුළ ම ජනිත වූ කිරි සප්ප වරා මල
අනේ මගෙ මුතු කැටේ ඇයි හුස්ම ගන්නෙ මං?
කනත්තක මුර ගෙයකි, ගෙදරක් ද ගෙදර දැන්?
ඒක සිදු නොවුණි නම්, ඒක සිදු නොවුණි නම්!
අනේ බුදු දෙවියනේ ඒක සිදු නොවුණි නම්!
හැම තැන ම ඇගෙ මුහුණ හෝන් හඬ සෝන් බිම
කහ ඉරේ සැණින් රතු වී පෙඟුණ සුදු ගවුම
දෑත් බැඳ තරහ වී හිටි හැටිය මට පුදුම
පෙට්ටි පියනෙන් වැසී නටුව සිඳ ගිය පියුම
(සිදු නොවිණි නම්; 19)
සිදු නොවුණි නම් යන හිසින් යුතු සිව්පද හතකින් යුතු කවිය තුළින් මවකගේ දුක මනාව ඉස්මතු වී ඇත. කවියේ අවසානය තෙක් කුතුහලය රඳවා ගනිමින් කාව්‍ය රචනා කර ඇති හෙයින් කියවන්නා කවිය වඩාත් අවදානයකින් යුතුව කියවීමට පෙළඹේ. මවකගේ හැඟිම් මනාව නිරූපණය කිරීමට කවියා සතු වූ හැකියවා සුවිශේෂීය. එකී දුක වියෝව වඩාත් නිරූපණය කිරීමට අනුප්‍රාසය යොදා ගෙන ඇති අයුරු තාත්විකය. එය අතිශයෝක්තියක් නොවන්නේ මවකගේ දුක මේ යැයි පැවසීමට අපට නොහැකි බැවිනි. කවියෙන් කවියට තම දියණිය ඇමතීම් සඳහා යොදාගන්නා ආදරණීය වචන තුළින්ම වුව මවට දැරිය කොතරම් වටිනවාද යන්න පැහැදිලිය. ඔවුන්ගේ බැඳීම පැහැදිලිය.
ෆ්‍රේම් වීල් හබ් කේබල් ඇණ දැති රෝද
අවුල කෝකෙ මුත් ටිස් ගා වෙයි අවබෝධ
යාළු මේක හෙට දෙන්නං හවසට හා ද
එහෙම කිව්ව නං කිව්වා මොකටද වාද
“පිරිමි පටාචාරා මං කොල්ලො දැනගනින්
ලොකු දුව මගෙ මැරුණෙ බේත් නැතුව කහ උණෙන්
පොඩි කෙලීට බේරුම් නැති වුණේ පාචනෙන්
පුතත් කුඩු වුණා තොට ළඟ බෝම්බ්ලාස්ට්ටෙකෙන්
ග්‍රෑන්ඩ්පාස් තිබුණේ මගෙ පරණ වින්කලේ
ගෝලයෙකුත් අරගෙන වැඩ කෙරුවෙ මං මලේ
මැහි තෙල් දමලා මං බොන වතුර බෝතලේ
ගෑනි ඌත් එක්ක ගියා මගෙම සයිකලේ
පිහිටට බුදුකෙනෙකුත් නෑ වුණ දේ බලහං
වින්කල් වැඩ කෙරුවට මට සයිකල් අරහං
ගෑනු එපා සසරෙත් මං වැහුවා වරහං
වීදුරුවට කෝ ඩිංගක් තව වක්කොරහං!”
(වින්කල් අයියා ;25)
වින්කල් අයියා යනකවිය සිව්පද හතකින් යුතු කවියකි. ආයාසයක් නොමැතිව විඳිය හැකි අතර කවිය තුළ බයිසිකල්‍යක් හා සම්බන්ධ වචන යොදා තිබීමත් ඒවා කවියට උචිත වීමත් හේතුවෙන් කවියට වෙනස් අලංකාරයක් එක් වී ඇත. එමෙන්ම ඒ තුළින් එවන් මිනිසෙකුගේ ජීවිතයේ ඇති හැල හැප්පීම් ධ්වනිත වන්නේ ය. කවියෙන් කතාවක් පැවසීම කොළඹ කවියන්ට ආවේණික ලක්ෂණයක් ය. ඒ අයුරු කවි කිහිපයක් අතුරින් මෙය තුළින් මතු වන්නේ හාස්‍යද ශෝකයද උපහාසයද යන්න නැවත නැවතත් සිතමින් විඳිය හැකි ය. එමෙන්ම ඉතා ගැඹුරු සමාජ ප්‍රශ්න කිහිපයක්ම කවිය තුළ මනා සංයමයකින් ප්‍රකාශ වෙයි. මේසියල්ල සීරුවෙන් ගෙන රස විඳීමට මේ ඉඩ සීමාවෙන නිසා කවිය කියවා ගැනීම ඔබට භාරකරමි. එමෙන්ම කට වහට කවියට යොදාගෙන ඇති අයුරුද මනා බව පැවසිය යුතුය.
කවියේ සීමාව මේ යැයි පැවසිය නොහැකිය. කවියේ නිසි රස ලැබීමට කවියා යොජනා කරන ආකෘතිය තුළින්ම එය විඳිය යුතු ය. ඒ අයුරින් නිසා කාව්‍ය ආකෘති තෝරා බේරා ගැනිමද කවියෙක් සතු විය යුතු විශේෂ හැකියාවකි. ඒ අයුරින් පදයක මාත්‍රා සංඛ්‍යාව වැඩි කාව්‍ය කිහිපයක්ම මේ තුළ දැකිය හැකිය. ඒවා එක පෙළට දැක් වීමෙන් කවි රසය බාදාවක් රහිතව විඳීම සඳහා අවස්ථාව ලබා දීමටද ඔහු උත්සාහ ගෙන ඇත. පහත කවිය එයට නිදසුනකි.
“වැට ගාවින් රතු වද මල් කඩලා බුදු සාදුගෙ මේසෙන් තියලා
වැඳ ගෙන කිව්වා හෙට වෙනකොට මට මේ ටික කර දෙන්නට කියලා
ටෂිකගෙ පොඩි බෙන්ටෙන්ට අමාරුයි මූණ කැත වෙලා අත කැඩිලා
හොඳ බුදු සාදුනෙ ටෂිකගෙ බෙන්ටෙන් ඉක්මනටම දෙනවද හදලා?…”
(කෙලි පැංචියකගේ සාදු කීම; 36)
පුංචි දැරියකගේ සිතුවිලි අපූරුවට සිව්පද හතරකට ගත් කවියක් ලෙස එය අගය කළ හැකි ය. කුඩා දරුවන්ගේ වචන, බලාපොරොත්තු මෙන්ම ඔවුන්ගේ වැල නොකැඩී ගලාගෙන එන කතාව ආදි සියල්ල කවිය තුළින් විද්‍යමාන ය. ඇයගේ ලෝකයේ වීරයෙක් ලෙස බුදුහාමුදුරුවන් දැකීමත් සියල්ල අතැහැර ඇති බුද්න්ගෙන් දේවල් ඉල්ලීමතාදිය ඔවුන්ට වැඩිහිටියන්ගෙන් ලැබෙනා උරුමය ය. තමන් වෙහෙස මහන්සි නොවී ආයාචනයකින් වැඳ වැටී දේවල් උරුම කර ගැනීමට වෙර දරන සංස්කෘතිය ඔවුන් මතද පැට වී ඇති අන්දම කවිය තුළින් තව දුරටත් පැහැදිලි වී ඇත.
එමෙන්ම ගමන් විස්තරය වැනි කවියක් තුළින් ඔහු කෙටි විරිතක් ඇසුරින් තම අද්දැකීම කවියට නගා ඇති අයුරු විෂද වේ. එමෙන්ම එකී කාව්‍ය අද්දැකීමට
එකී කෙටි විරිත මනාව යෝග්‍ය වී ඇතිබව පැහැදිලිය.
“රවුම් පාර හරි දුරයි
වැටි නෙරුමෙන් අවහිරයි
බෑවුම් නැමි කරදරයි
ඒත් ගමන සුන්දරයි…”
චතුරස්‍රය ඉස්සරහ කාව්‍යාවලිය රසවිඳීම සඳහා මෙවැනි අවකාශයක් ප්‍රමාණවත් නැත. එහි එක් කවියක් තුළ යා හැකි දුර විඳිය හැකි රසය අපමණය. මේ උත්සාහය මෙය එවන් කාව්‍ය සංග්‍රහයක් බව ඔබට ඒත්තු ගැන්වීමට ය. මෙම වසරේ ප්‍රකාශිත හොඳම කාව්‍ය සංග්‍රහ ලෙසින් නම් කරනු ලබන කාව්‍ය සංග්‍රහ අතර චතුරසරය ඉස්සරහ නම් කාව්‍ය සංග්‍රහයට මුල් පෙළ ඉඩක් හිමි විය යුතුමය.
ලක්ෂාන්ත කවියාගේ කාව්‍ය රස විඳීම සඳහා පහත කවියද එකතු කරමින් මේ සටහනට තිත තබමි.
තොතු රල් සෙතඹ නිලවිල්ල ද තකුළු කැන
හැතු සිටියකට කරකම් සොර ගෙතට හින
කතු මර මැහිනියක සිදියම මෙඹින සින
මතුටින් සහද මරවා පුට මැයනු කින
සිවසා ඉටිනු තැරි බැන රව්වා කිහස
ගවසා පන්න වැහැ බැඩි දස්තර විහස
ඔවසා ගබත් පන් දුසු පනුරා අහස
නැවසානයක් අත පෙප අම් අල් නිහස
(හිරා නුතක රද පහසක් ; 31)
ශානක හිත්තැටියගේ