හෙතෙම හරියටම මීට සියවසකට පමණ පෙර හරියටම කිව්වොත් අවුරුදු 96 හමාරකට පෙර එනම් ක්‍රි.ව. 1927 මැයි 11 දා සියනෑ කෝරළේ දොම්පේ කොරාඹේ නම් ගමේ උපත ලද්දේ රූබියෙල් පෙරේරා විජේසිංහ නමිනි.
මනා සිහිබුද්ධියෙන් හා පරිකල්පනයෙන් යුතුව තම විශ්‍රාම ජීවිතය පිළිවෙලකට ගෙවමින් ස්වකීය දරු මුණුබුරන් ඥාතී හිතමිත්‍රාදීන් හා අසල් වැසියන් සමඟ සැහැල්ලු සරළ ගැමි ජීවිතයක් ගත කළ රූ.පෙ. විජේසිංහයෝ අපගේ සාහිත්‍යය රසවින්දනය පෝෂණය කොට පාඨකයින් ලෙස අපව ඉහළ තලයකට ඔසවා තැබීමට ප්‍රෝත්සාහීව කටයුතු කළ සොඳුරු නිර්මාණකරුවෙකි.
හදිසියේ අසනීපව ඊයේ පාන්දර ගම්පහ රෝහලේදී ඔහුගේ අභාවය සිදුවන අවස්ථාව වනවිටත් තමන්ගේ කාර්යයන් සියල්ල උවමනාවටත් වැඩියෙන් ඉටුකොට තිබූ හෙතෙම, තම අසල්වැසි මණ්ඩාවලින් බිහිවූ පියදාස නිශ්ශංක නම් මහා සංස්කෘත භාෂා පඬිවරයා ලෙසම එසේත් නැත්නම් රුසියානු සාහිත්‍යයෙන් උතුරා ගැලූ උතුම් මනුෂත්වය දෝතින් දොවා අප දෙපා මුල තැබූ සිරිල් සී.පෙරේරා, දැදිගම වී.රුද්‍රිගු පලවලේම විශිෂ්ට භාෂා පරිවර්තකයෙකි.
එතෙකුදු නොව ඔහු, ස්වකීය ආදිතමයන් වූ ඩේවිඩ් කරුණාරත්න, ඒ.පී. ගුණරත්න, කේ.ජී. කරුණාතිලක ඌරාපොල හේමාලෝක හිමි ආදී විශිෂ්ට පරිවර්තක පරපුරක කීර්තිමත් පුරුකකි.
අලගියවන්න මුකවැටිතුමාගේ සිට ගිරිදර රතනජෝති, පියසේන නිශ්ශංක, ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි, මායා රංජන්, මහගමසේකර, කේ. ජයතිලක, සුනිල් ජයවීර, ජයරත්න සමරසේකර යනාදී ප්‍රමුඛ සියනෑ ලේඛකයන්ගේ මඟ යමින් ස්වකීය සාහිත්‍යය නිර්මාණ/පරිවර්තන භූමිකාව ඉතා ඉහළින්ම රඟ දැක්වූ රූ.පෙ. විජේසිංහ දෙනෙත් පියාගත්තේ ශ්‍රී ලංකාවට ණය නැති මිනිසෙකු වශයෙනි.
1972 දී ‘එමලි බ්‍රොන්ටේගේ – The Wuthering Heights’ නවකතාව පෙම් වියරුව ලෙස සිංහලට නැඟීම රූ.පෙ. ගේ මුල්ම පරිවර්තන කාර්යයයි.
ස්වකීය ප්‍රථම පරිවර්තනයටම රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර ගැනීමට ලැබීම ඔහුගේ වාසනාව වූවාට සැකයක් නොමැති බව පෙනෙන්නේ අනතුරුව ඔහු සිංහලයට ගෙන ආ ලෝකයේ විවිධ සාහිත්‍යය ධාරාවන්ට අයත් නවකතා ප්‍රමාණය 22 කටත් වඩා වැඩි බැවිනි.
එලෙස ඉන්දියානු, අමෙරිකානු, රුසියානු, පර්සියානු, යුරෝපියානු, අප්‍රිකානු ආදී ලොව දස දෙස සාහිත්‍යය නිර්මාණ රැසක රසභාව අප වෙත අත්පත් කරදුන් හෙතෙම කෙටිකතා පොතක්, පද්‍ය සංග්‍රහයන් 02 ක් සහ චරිතාපදානයක්ද ස්වතන්ත්‍ර නිර්මාණ වශයෙන් එළි දැක්වීය.
ඉංග්‍රිසි උප ගුරුවරයෙක් ලෙස ගමේ පාසලට ස්වකීය පළමු පත්වීම ලබන රූබියෙල් පසුව රජයේ ලිපිකරු විභාගයෙන් සමත්ව ලිපිකරුවෙක්, ප්‍රධාන ලිපිකරුවෙක් හා අවසානයේ පරිපාලන නිලධාරීවරයෙක් ලෙස දෙපාර්තමේන්තු හා රජයේ ආයතන ගණනාවකම සේවය කළේය.
තම පාසල් ජීවිතය ගතකරද්දීම ‘රස බුබුල’ නම් කලා සංවිධානයේ ලේකම්වරයා ලෙස සාහිත්‍යය කලාව ස්පර්ශ කිරීමට හුරුවන රූබියෙල් ස්වකීය ජීවිතය අවසන් කළ ඊයේ පෙරේදා දක්වාම තම ගම අවට සමිති සමාගම් රැසක සභාපති, ලේකම්, භාණ්ඩාගාරික හෝ අනුශාසකවරයෙක් විය. එසේ නොමැති නම් අවම වශයෙන් කාරක සභිකයෙක් ලෙස හෝ ස්වකීය සමාජයීය ජීවිතය කිළිටු කරගැනීමකින් තොරව පවත්වාගෙන යාමට ඔහු දැක්වූ හපන්කම කාගේත් ප්‍රශංසාවට ලක්විය යුතු තරමේ සුවිශේෂ තත්වයකි.
එසේම සමිති සමාගම් වල කටයුතු කිරීමේදී ඔහු පොදු ජනයාගේ ගෞරවණීය බුහුමන දිනා ගැනීමට උත්සාහ කළේ වඩාත් කාර්යක්ෂමව හා අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කිරීමෙන් පමණක් නොව වඩාත් වැඩි අවංක භාවයකින් හා විනිවිද බවින් යුතුව කටයුතු කිරීමෙනි.
කිරිඳිවැල සෝමලතා සමඟ විවාහ දිවියට ඇතුළත් වන රූ.පෙ. පුතුන් 04 දෙනෙකුගේ සහ දියණියන් 02 දෙනෙකුගේ පියෙකි.
එයින් එක් දියණියක අකාලයේ මියයාම රූ.පෙ. ගේ සිතට බොහෝ දුක් ගෙන ආවේ නමුත් ඔහු එයද ඉවසා දරා ගනිමින් ස්වකීය පරිවර්තන කාර්යයෙහි නිමග්න වෙමි තම දුක තුනී කරගත්තේය.
එසේම ඉතා ආදර්ශමත් පවුල් ජීවිතයක් පවත්වාගෙන යමින් තමා උපන් කෝරාඹේ ගම අත්නොහැර සියවසකට ආසන්න කාලයක් ගැමියෙක් ලෙස ගත කරමින් ඉංගිරිසි භාෂාව සම්බන්ධයෙන් ඔහු සතු විශිෂ්ට දැනුම බොහෝ අවස්ථාවල ගැමි දුවාදරුවන්ට බෙදාදුන්නේ ඉතා කාරුණිකව හා දයාබරත්වයෙන් යුතුවය.
නිවසේදී ඇද වැටී අස්ථී බිඳීමකින් එක්තැන්වූ තම බිරිඳගේ සියලු ඇප උපස්ථාන ඉටු කළේද රූ.පෙ. විසිනි. ස්වාමි පුරුෂයෙක් ලෙස ඔහු ඉන් සැපයූ ආදර්ශය අතිශයින්ම ප්‍රශංසාත්මක වුවත් වසර කිහිපයකට පෙර සෝමලතා මෙලොව හැරයාම නිසා රූ.පෙ.ට දැනුණු පාළුව කාන්සිය පිරිමසා ගත්තේද ඔහු තව තවත් සාහිත්‍යය කාර්යයට සමීප වෙමිනි. නැතහොත් වත්තෙ පිටියේ වැඩවල නිරතවීමෙනි. එසේත් නැතහොත් දොම්පේ මහජන පුස්ථකාලයේ හෝ රජයේ රෝහලේ හෝ වෙනත් සුබ සාධක සමිතියක හෝ කටයුතු කාර්යයන් වලට මුල් තැනක් ලබාදෙමිනි.
සියනෑවේ සිටි මේ මහා පරිවර්තකයා නොඑසේ නම් මගේ වැඩිහිටි මිතුරා සමුගෙන යන මේ අවස්ථාවේ ඔහු පිළිබඳ මගේ පුද්ගලික මතක සටහන් මෙහි බහාලීම සදාචාර සම්පන්න නොවෙන බව හොඳාකාරවම දනිමි.
එහෙත් ඒ වරද සිදු නොකොට මේ ලියවිල්ල අවසන් කළ නොහැකි බව මගේ සිත කියයි.
ඔහු මුල් වරට හමුවූ තැනක් ගැන හෝ දිනක් ගැන හෝ නිච්චියක් මා වෙත නැතත් ඒ බොහෝ විට දයාවංශ ජයකොඩි පොත් සාප්පුවේදී හෝ කේ. ජයතිලකයන්ගේ කන්නිමහර නිවසේදී හෝ කිරිඳිවැල ජයරත්න සමරසේකර සූරීන්ගේ නිවසේදී විය යුතු යයි සිතමි. එසේ නොවුණත් එය කිසියම් සාහිත්‍යයමය කටයුත්තකදී වීම නම් අනිවාර්යයෙන්ම විය යුතුය.
හමුවූදා සිටම ඉතා මිත්‍රශීලීව ‘ මචං, අලේ, කුමා, උඹ බං’ වැනි හෘදයාංගම වදනින් මා ඇමතු මට වඩා සියවස් භාගයකට පමණ වැඩිමහළු මේ ආදරණීය මිනිසා මෑත වසර 30 කට වඩා වැඩි කාලයක් පුරා ඔහුගේ ජීවිතයේ උත්කෘෂ්ඨ හැම අවස්ථාවකටම මටද ආරාධනා කළේය.
කේ. ජයතිලකයන්ගේ කන්නිමහර මහගෙදර පුස්ථකාලය ආරම්භ කළ 2005 වසරේ සිට අපේ හමුවීම් අතිශයින්ම සමීප වූවද 1990 පමණ පටන් ජයරත්න සමරසේකරයන්ගේ නුගේහෙනවත්ත නිවසේ බටපඳුර යට පිළ අප සියල්ලන්ගේම සහෘද සල්ලාප පොළය.
පියදාස නිශ්ශංක, ජයවඩුවිතාන, කේ.ජී. කරුණාසේන, ජයකොඩි සෙනෙවිරත්න, දො.ඩ. ඩයස්, කේ. ජයතිලක, ප්‍රේමලාල් කවිකුමාර, ප්‍රේමචන්ද්‍ර මාගම්මන, කේ.ජී. ප්‍රේමරත්න, සරත් ප්‍රේමතිලක, කාරියවසම් ජීවන්දර, ඔරුවල බන්දු, බලගල්ලේ රංජිත් සිරිවර්ධන, සේනාරත්න වීරසිංහ, එච්.එම්. මොරටුවගම, දයාවංශ ජයකොඩි, සිරිසුමන ගොඩගේ, සරත් විජේසූරිය, ජයතිලක කම්මැල්ලවීර, ඩබ්ලියු. ඒ. අබේසිංහ, රත්න ශ්‍රී විජේසිංහ, දෙනගම සිරිවර්ධන, සුජීව දිසානායක, කමල් පෙරේරා, ටෙනිසන් පෙරේරා, චන්ද්‍රසිරි දොඩංගොඩ, ඩබ්ලිව්. ජයවර්ධන, පියසේන කහඳගමගේ, කරුණාරත්න සපුතන්ත්‍රී, ඇරැව්වල නන්දිමිත්‍ර, වී.පී. සුනිල් ශාන්ත, පී.ඒ. සෝමදාස, ආර්.ඩී. කරුණාරත්න, සරත් දීපකුමාර, පී.වී. චන්ද්‍රසිරි, සුසිල් දසනායක, රත්නායක තිලකරත්න, යසවර්ධන බද්දෙවිතාන ආදී වශයෙන් වූ මහා ලේඛකයින්, කවීන්, චිත්‍රශිල්පීන්, පාඨකයින්, ප්‍රකාශකයින්, සංගීතඥයින් ආදී සියල්ලන් එකට හෝ වරින් වර අපට මුණගැස්සූ ජයරත්න සමරසේකරයන්ගේ නිවසේ පිළ මත ඒ බොහෝ අවස්ථාවල රූ.පෙ. ඉතා සිනාමුසුව අප සමඟ ජීවිතය බෙදාහදා ගත්තේ නව යොවුන් තරුණයෙකු සේය.
එවන් බොහෝ අවස්ථාවල මගේ කැමරාවෙන් ඔහුගේ රුව සටහන් කරගත් අතර එක් අවස්ථාවක විශාලනය කරන ලද එක් ඡායාරූපයක් මා ඔහුට පරිත්‍යාග කළෙමි.
ඊට බොහෝ කාලයකට පසු ඉතා මෑතක මගේ බිරිඳ සහ දියණිය සමඟ ඔහු බැලීමට ගිය අවස්ථාවක ඔහු එය මට පෙන්වමින් පාරට්ටු කළ ආකාරය අතිශයින්ම හැඟුම්බරය.
එසේම ඔහු වෙනුවෙන් ජයතිලක අසපුවේදී කිරිඳිවැල ‘සංහිඳ සහෘද සංසදය’ ලෙස අප සංවිධානය කළ ‘රූ.පෙ. – අපි ඔහු දෙස බලමු’ නම් ඔහුගේ නිර්මාණ අගය කරමින් පැවැත්වූ උළෙලට අප නිර්මාණය කළ ආරාධනා පත්‍රයේ සිට මුද්‍රණය කරන ලද සමරු කළඹ, ලංකාදීප පුවත්පත ඒ වෙනුවෙන් පළ කළ ඔහුගේ සම්මුඛ සාකච්ඡාව, කරුණාරත්න අමරසිංහ සූරීන් ඔහුගේ නිර්මාණ පිළිබඳ සිදු කළ මුඛ්‍ය දේශනය ආදී සියල්ල මා වෙත පෙන්වමින් යළි යළිත් මාවෙත කෘතඥ වෙමින් ඔහු එදින හැසිරුණේ අතිශය පුංචි දරුවෙකුගේ හදවත මා ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් අතිශය නිහතමානී ලෙසය.
එසේම හමුවන හැම අවස්ථාවකදීම ඔහු මගේ කරට අතක් දමයි. මට වඩා වයසින් දැනුමෙන් සාහිත්‍යයමය හැකියාවන්ගෙන් පිරිපුන් ඔහු උසින්ද මට වඩා බොහෝ වැඩිය. බොහෝ විට මම ඔහුගේ පෙනුම සමාන කළේ මාර්ටින් වික්‍රමසිංහයන්ටය.
එසේම ඔහු හමුවූ අවසාන අවස්ථාවේදීත් ඔහු වයස්ගතවීම නිසා තම ශාරීරික දුබලකම් ගැන මා සමඟ කියද්දී වයස ගැන ඔහුගෙන් නැවත නැවත විමසමින් ඔහුට මා කියා සිටියේ ‘ සෙන්චරියක්ම ගහමු’ කියාය.
ඒ හැමවිටම ‘ උඹ කියනවනම් ඔන්න ඔහේ සෙන්චරියක්ම ගහමු’ කියා ඔහුත් සිනාමුසු මුහුණින් යුතුව කියූ හැටි මේ ලියන දැනුත් සිතුවමක් සේ මගේ මතකයේ ඇඳෙයි.
ඉතින් අප්‍රමාණ මිත්‍රත්වයෙන් හා බරසාර විසල් හදවතින් යුතුව අප අතර අසමානකම් කෙතරම් තිබුණත් සමානයින් ලෙස අපගේ හදවත වැළඳ ගෙන අපට හැමවිටම හදවතින්ම ආශිර්වාද කරමින් අප ළඟින් උන් මේ ආදරණීය වැඩිහිටි මිනිසා තව සිව් වසරක් ඉවසා සිටියේ නම් ‘ඔව් ඇත්තටම එය සෙන්චරියකි’
හිතාදර රූ.පෙ., ඉතින් ඔබට අවසරයි. ජයතිලකලා, සමරෙලා බලාගෙන ඇති ඔබ එනතුරු. අපිත් ඉක්මනින් එන බව එයාලට දැනුම් දෙන්න.
අපි ආයෙත් දවසක හමුවෙමු රූ.පෙ.
එදාටත් පැසුණු හිසින් යුතුව මාර්ටින් වික්‍රමසිංහයක් වගේ අපි දිහා බලල උස් හඬින් හිනාවෙන්න.
කුමාර අලගියවන්න
2023.10.31 අළුයම 4.20 ට
කෝට්ටේ නිවසේදීය.