මාර්ගගත ආරක්ෂාව හෙවත් අන්තර්ජාල ආරක්ෂාවේ මුවාවෙන් ඉදිරිපත් කරන ලද අන්තර්ජාල මර්දනය සඳහා වන ආණ්ඩුවේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන ලද පෙත්සම් 50කට අධික සංඛ්‍යාවකට අදාළ අධිකරණ තීන්දුව ලබන 07දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කරන ලද පස්වැනි මර්දන පනත් කෙටුම්පත මෙය වේ. එය නිශ්චිතව නම් කර ඇත්තේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පතක් ලෙස ය. එය ගැසට් කර ඇත්තේ මහජන ආරක්ෂක ඇමතිවරයාගේ නියමය පරිදි ය.
මීට පෙර ගෙන එන ලද මර්දනකාරී වගන්ති අඩංගු එවැනි පනත් කෙටුම්පත් වූයේ පුනරුත්ථාපන පනත් කෙටුම්පත, නව ත්‍රස්ත පනත් කෙටුම්පත, දූෂණ විරෝධී පනත් කෙටුම්පත, විද්‍යුත් මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත යන ඒවා ය.
මේ අතර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රධාන වගන්ති 16කින් සමන්විත පනත් කෙටුම්පතේ ප්‍රධාන වගන්ති 09කම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කොටස් තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කතානායකවරයා පසුගිය අගෝස්තු 22දා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මේ සියල්ලෙන් පෙනීයන්නේ දැඩි මර්දනයක් නීත්‍යනුකූල ලෙස ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට ඇති අවශ්‍යතාවයයි.
සමස්ත අරමුණ !
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වන මෙම පනත් කෙටුම්පතේ සම්පූර්ණ අරමුණ සමාජ මාධ්‍ය පාලනය කිරීම පමණක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයකු වන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කරයි. මෙම පනත් කෙටුම්පතේ අරමුණ අන්තර්ජාලයේ සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත බව තහවුරු කිරීම ලෙස ආණ්ඩුව පවසා සිටියද මෙහි සැබෑ අරමුණ එය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම කෙටුම්පත පිළිබද පෙත්සම්කරුවකු ද වන ජනාධිපති නීතිඥවරයා අවධාරණය කර සිටී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකම් වන භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය, සාමකාමීව රැස්වීමේ අයිතිය, තොරතුරු දැනගැනීමේ අයිතිය, නීතිය ඉදිරියේ සර්ව සාධාරණත්වයේ අයිතිය ඇතුළු අයිතිවාසිකම් රැසක් මෙමගින් උල්ලංඝනය වන බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අධිකරණය ඉදිරියේ තහවුරු කළහ.
ලිංගිකත්වය අනුව බෙදීම් හදා ඒ පාරේ යෑමේ උපාය
විශේෂයෙන් ම ලිංගිකත්වය අනුව වන බෙදීම් උපයෝගී කරගනිමින් මෙම පනත් කෙටුම්පත සාධාරණ බව පෙන්වීමේ උත්සාහයක ද ආණ්ඩුව නිරත විය. කාන්තාවන් ඉලක්ක කරගනිමින් සිදුකරන අසත්‍ය, අපහාසාත්මක ප්‍රකාශ, තර්ජනය කිරීම්, බියගැන්වීම් මෙමගින් අවම කරගත හැකි වනු ඇතැයි ආණ්ඩුව තර්ක කළේය. එසේ ම LGBTQI ප්‍රජාවට සිදුකරන වෙනස් කොට සැලකීම් අවම කිරීමත්, අපහාසවලට එරෙහිව ක්ෂණික ක්‍රියාත්මක වීමේ හැකියාවත් ආණ්ඩුව පාර්ශ්වයෙන් තවදුරටත් ඉස්මතු කරනු ලැබිණි. දරුවන් ඉලක්ක කරගත් අපයෝජන ඇතුළු අනෙකුත් අපරා ක්‍රියා ද මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී ආණ්ඩුවේ දැඩි අවධානයට යොමු වූ බව රජයේ මාධ්‍ය මගින් දිගින් – දිගටම අවධාරණය කෙරුණේ මව්පිය ප්‍රජාව ඉලක්ක කරගනිමින් ය.
උපාය අසමත් !
එහෙත් මීට අදාළ ව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් අවධාරණය කරන ලද්දේ මෙම සියලු වැරදිවලට අදාළ ව දැනටමත් පවතින නීති යටතේ නීතිය ක්‍රියාත්මක කොට ඇති අවස්ථා තිබෙන බවයි. අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය, පරිගණක අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නීති මෙන්ම අන්තර්ජාතික මට්ටමෙන් ලංකාව අත්සන් කර ඇති ගිවිසුම් හා සම්බන්ධ නීති ප්‍රතිපාදන තුළින් ද ඊට අදාළ නීතිමය අවස්ථා විවෘත ව පවතී.
සගවන තොරතුරු !
එසේ තිබියදී ය, කෙටුම්පත සකස් කළේ කවුද යන්න පවා අනාවරණය නොකර, ඒ වෙනුවට ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක සහ නීතිඥ ජයන්ත පතිරණ ඇතුළු අලි සබ්රි අධිකරණ ඇමැති ධුරය දරන කාලයේ පත්කරන ලද කමිටුවක නම් ලැයිස්තුවක් එළියට දමන්නේ. ඒ සම්බන්ධයෙන් අදාළ තොරතුරු ඉල්ලීම කළ සමාජ ක්‍රියාකාරී සහ නීති ශිෂ්‍ය අනුරුද්ධ බණ්ඩාර විසින් තොරතුරු දැනැගැනීමේ කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමුකර තිබේ.
2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනතේ 39 (1) (අ) වගන්තියේ අසත්‍ය තොරතුරු සැපයීම සම්බන්ධයෙන් මෙසේ සඳහන් වේ.
‘තොරතුරු සැපයීම සිතාමතා අවහිර කරනු ලබන හෝ චේතනාන්විතව වැරදි සහගත, අසම්පූර්ණ හෝ නිවැරදි නොවන තොරතුරු සපයනු ලබන සෑම තැනැත්තෙකු ම මේ පනත යටතේ වරදක් සිදුකරනු ලබන අතර, මහේස්ත්‍රාත්වරයෙකු විසින් පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කිරීමේදී රුපියල් 50,000ක් නොඉක්මවන දඩ මුදලකට හෝ අවුරුදු 2ක කාලයක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකට ම එම තැනැත්තා යටත් විය යුතුය.’
එනම් මෙම තොරතුරු නිකුත් කළ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් එච්.පී. චන්ද්‍රලාල් අදාළ වරදට වරදකරු කළ හැකිය.
උසාවියේ කතාව
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය නියාමන පනත යන නමින් හඳුන්වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදි සංශෝධනය කිරිමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා ඔක්තෝබර් 18දා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් අතර, ඒ සංශෝධන කෙටුම්පතට එකතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, අලුතින් එම කෙටුම්පත ගැසට් කොට ඉදිරිපත් කළ යුතු බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරු තර්ක කළහ.
පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් 50ක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි යන විනිසුරුවරුන් ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී එය සිදු විය.
පෙත්සම් විභාගයට ගැනීමට පෙර, නීතිපතිවරයා නැගිට පැයකට වැඩි කාලයක් ලබාගනිමින් ඉදිරිපත් කළ සංශෝධන 30කට වැඩි ප්‍රමාණය හේතුවෙන් මෙම පනතේ සම්පූර්ණ හරය වෙනස් වන බවත්, එම යෝජිත සංශෝධන ඉදිරිපත් කරන්නේ නම් මෙම පනත ඉල්ලා අස්කරගෙන නැවත නව පනතක් ලෙස ගැසට් කළ යුතු බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කළහ.
මෙම පනතට ගෙන එන නව සංශෝධන ඇතුළත් ලේඛනයක් ඒ මොහොතේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න ඉදිරිපත් කළේය. ඒ අතිරේක සොලිසිටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් ඇතුළු රජයේ නිතිඥවරුන් සමග ය.
මෙම සංශෝධන ඉදිරිපත් කරනු ලබන්නේ ඉදිරියේදී පාර්ලිමේන්තුවේ මෙම පනත සම්මත කරන අවස්ථාවේදී, තුන්වැනි වර කියවීමේදී ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන යෝජිත සංශෝධන ලෙස ය. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන එම සංශෝධන පනත් කෙටුම්පතේ නිල වෙනස් කිරීමක් නොවේ. ඒ අනුව තවමත් වලංගු පනත් කෙටුම්පත වන්නේ පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති ලේඛනය ය.
හරය සම්පූර්ණයෙන් ම වෙනස් නම් ?
78 (3) වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එසේ එකතු කරන සංශෝධන මුලින් ගැසට් කොට සභාගත කරන ලද කෙටුම්පතේ මූලික හරය වෙනස් නොකරන ආකාරයේ ඒවා විය යුතු බව ජනාධිපති නිතිඥ එම්.ඒ. සුමන්තිරන් මෙහිදී සිහිපත් කළේය.
නීතිපතිවරයා සිදු කිරීමට බලාපොරොත්තු වන සංශෝධන පමණක් සඳහන් ලේඛනයක් සහ එම සංශෝධන සහිත නව දළ පනත් කෙටුම්පතක් ඔහු රැගෙනවිත් තිබිණි. සංශෝධන පමණක් සඳහන් ලේඛනයක් නීතිඥවරුන් වෙත ලබා දුන් නමුත්, සංශෝධන සහිත පනත් කෙටුම්පත ලබාදුන්නේ විනිසුරුවරුන්ට පමණි.
එම අවස්ථාවේදි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම සංශෝධන කියවූ අතර, එයින් පසු නැගී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පෙන්වා දුන්නේ මෙය නව පනත් කෙටුම්පතක් බවත්, එම නිසා එය සම්පූර්ණයෙන් නව පනතක් ලෙස ඉදිරිපත් කළ යුතු බවත්, නීතිඥවරුන් සහ පෙත්සම්කරුවන් වෙහෙස වී එක් පනත් කෙටුම්පතකට අදාළ ව විරෝධතා පෙත්සම් ගොනුකළ පසුව අලුත්ම පනත් කෙටුම්පතක් ගෙනැවිත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම අසාධාරණ සහ ව්‍යවස්ථාවට පටහැනි බවත් ය.
නීතිපති දෙපාර්තමේන්තුව සිය සංශෝධන ඉදිරිපත් කරන අතරවාරයේදී නිතිඥ සුරේන් පෙරේරා නැගිට, නීතිඥවරුන් වෙත ද විනිසුරුවරුන් වෙත පමණක් ලබා දුන් ලේඛනයේ පිටපතක් ඉල්ලා සිටියේය. විනිසුරු ප්‍රසන්න ජයවර්ධන එම කෙටුම්පත නිතිඥවරුන් වෙත ලබාදීම සඳහා අවසර දුන්නේය.
විනිසුරු ප්‍රසන්න !
නව කෙටුම්පත අධ්‍යනය කිරීමෙන් පසු නීතිඥ සුරේන් පෙරේරා සඳහන් කර සිටියේ දැන් ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත මගින් කොමිසමට විමර්ශනය කොට අධිකරණයේ නඩු පවත්වාගෙන යෑමේ බලතල ලැබෙන බවත් මෙසේ පනතේ සහ කොමිසමේ සම්පූර්ණ හරය වෙනස් වන නිසා නැවත එය අලුත් පනත් කෙටුම්පතක් ලෙස ගැසට් කළ යුතු බවත් ය.
එහිදී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන ද ප්‍රකාශ කර සිටියේ එය තමන්ගේත් පෞද්ගලික මතය වන නමුත්, තමන්ට ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට හැකියාව නොමැති බවත්, එය නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් කළ යුතු බවත් ය.
සංශෝධනවල තරම
එසේ ඉදිරිපත් කරන ලද ප්‍රධානම වෙනසක් වන්නේ පනතෙහි ඇති අසත්‍ය ප්‍රකාශ යන සඳහන වෙනුවට ‘තහනම් ප්‍රකාශ‘ යන්න ආදේශ කිරීම ය. ඒ අනුව පනතෙහි හැඳින්වීමෙහි එක් ස්ථානයක තිබුණු ‘ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලසීම සඳහා ද ‘ යන කොටසට ‘තහනම් ප්‍රකාශ‘ යන වචනය ඇතුළත් කරන අතර, ‘සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම‘ යන කොටසේ ‘අසත්‍ය ප්‍රකාශ‘ වෙනුවට ‘තහනම් ප්‍රකාශ‘ යන වචනය ආදේශ කිරීම ද සිදු වී තිබේ.
එයට අදාළව පනතේ අරමුණු පැහැදිලි කිරීම සඳහා වන තුන්වැනි වගන්තියෙහි (අ) කොටස වන ‘අසත්‍ය ප්‍රකාශ හෝ තර්ජනාත්මක, බියගන්වනසුළු හෝ පිඩාකාරී ප්‍රකාශ සන්නිවේදනය කිරීම මගින් ඇති වන අලාභයකින් තැනැත්තන් ආරක්ෂා කිරීම‘ යන්නෙහි තර්ජනාත්මක, බියගන්වනසුළු හෝ පීඩාකාරී යන වචන වෙනුවට ‘තහනම් ප්‍රකාශ‘ යන්න ආදේශ වී තිබේ.
ඊට අමතරව පනත් කෙටුම්පතෙන් යෝජිත ‘කොමිසම‘ සෘජුව ම ජනාධිපතිවරයා විසින් පත්කිරීම වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සිදුකරන පත්කිරීමක් ලෙස සංශෝධනය කිරීමට ද යෝජිත ය. මීට අමතරව වගන්ති ගණනාවක් වෙනස් කිරීමට සහ සංශෝධනය කිරීමට යෝජිත ය. එම වගන්ති වෙනස් කිරීම තුළින් කොමිසමේ බලතල සහ ක්‍රියාකාරීත්වය වෙනස් වේ.
කෙටුම්පත කොතරම් භයානක ද?
මෙම පනත යටතේ පිහිටුවනු ලබන කොමිසම පත්කරනු ලැබීමට යෝජනා කර තිබුණේ ජනාධිපතිවරයාගේ තනි කැමැත්තට ය. ඒ මෙසේය.
‘තොරතුරු තාක්ෂණය, නීතිය, පාලනය, සමාජ සේවා, පුවත්පත් කලාව, විද්‍යාව සහ තාක්ෂණය හෝ කළමනාකරණය යන ක්ෂේත්‍ර එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් සුදුසුකම් සහ පළපුරුද්ද සහිත, ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් පස්දෙනෙකුගෙන් කොමිෂන් සභාව සමන්විත විය යුතු ය.’
ස්වාධීන යනුවෙන් නම් ලද කොමිෂන් සභා ක්‍රියාකාරිත්වයට ද තමන්ට හිමි සීමිත බලතල යටතේ පවා අත්තනෝමතික ලෙස බලපෑම් කරන තත්ත්වයක් යටතේ මෙවැන්නක් කෙසේ ක්‍රියාත්මක වෙයිද?
පනත් කෙටුම්පත මෙරටට පමණක් නොව එතෙර ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ද බලපවත්වන පරිදි සකස් කර තිබේ.
‘මේ පනතේ විධිවිධාන (අ) ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සිටියදී යම් තැනැත්තකු විසින් මේ පනත යටතේ වූ වරදක්, ශ්‍රී ලංකාවේ පුරවැසියකු සම්බන්ධයෙන් සිදු කරනු ලබන අවස්ථාවක දී, (ආ) මේ පනත යටතේ වූ වරදක් සිදු කිරීම මගින්, රජයට හෝ ශ්‍රී ලංකාවේ පදිංචි තැනැත්තකුට හානියක් හෝ අලාභයක් ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සිදු කරනු ලබන අවස්ථාවක දී, (ඇ) මේ පනත යටතේ වූ වරදක්, කවර ස්ථානයක දී සිදු කරනු ලැබූවද, එය ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන තැනැත්තකු විසින් සිදු කරනු ලබන අවස්ථාවක දී, අදාළ විය යුතු ය.’
මේ පනතේ අරමුණු මගින් සමාජ ජාල මත පදනම්ව මුදල් උපයා ගැනීම රජයේ පාලනයට හසුකරයි. පසුගිය කාලයේ යූටියුබ් වේදිකාව මත ප්‍රහර්ශන සහ දේශපාලන විවේචන ඉදිරිපත් කළ නිර්මාණකරුවන් වෙත එල්ල වූ මර්දනය දෙස බලන විට මෙම නීතිය කොපමණ අවභාවිත විය හැකි ද යන්න පැහැදිලි වේ. ඒ මෙසේය.
‘(අ) අසත්‍ය ප්‍රකාශ හෝ තර්ජනාත්මක, බියගන්වනසුළු හෝ පීඩාකාරී ප්‍රකාශ සන්නිවේදනය කිරීම මගින් ඇති වන අලාභයකින් තැනැත්තන් ආරක්ෂා කිරීම,
(ආ) අධිකරණයට අපහාස වන්නා වූ හෝ අධිකරණයේ බලය සහ අපක්ෂපාතීත්වය පවත්වාගෙන යාමට අගතිගාමී වන්නා වූ ප්‍රකාශ සන්නිවේදනය කිරීමෙන් ආරක්ෂා වීම තහවුරු කිරීම,
(ඇ) මේ පනත යටතේ වූ වැරදි සිදු කිරීම සඳහා මාර්ගගත ගිණුම් සහ බොට් අවභාවිත කිරීම හඳුනාගැනීම, වැළැක්වීම සහ එයට එරෙහිව ආරක්ෂාව සැලසීම සඳහා වූ පියවර හඳුන්වා දීම, සහ
(ඈ)ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ නැවත නැවතත් සන්නිවේදනය කරන්නා වූ මාර්ගගත ස්ථාන සඳහා මුදල් සැපයීම, එකී ස්ථාන ප්‍රවර්ධනය කිරීම සහ එම ස්ථානවලට වෙනත් ආධාර ලබා දීම වැළැක්වීම.
භයානක හාස්‍යයක් !
මෙම වරද සිදුකර ඇත්ද යන්න තීරණය කරනු ලබන්නේ කෙටුම්පතට අනුව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන කොමිසම මගිනි. එය ම කොතරම් භයානක හාස්‍යයක් ද?
මෙම පනතේ බලතල යටතේ මාර්ගගත සේවා සපයන්නන්ට නියෝග කිරීම මෙන්ම ඒවා තහනම් කිරීම ද ඇතුළත් ය. ඒ මෙසේය.
‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ ප්‍රතිචාර දැක්වීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස නියම කරමින්,
(අ) යම් තහනම් ප්‍රකාශයක් පළ කරනු ලැබ ඇති හෝ සන්නිවේදනය කරනු ලැබ ඇති හෝ යම් තහනම් ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම සඳහා ස්වකීය සේවාවන් භාවිත කරනු ලැබ ඇති තැනැත්තන්ට, සේවා සපයන්නන්ට හෝ අන්තර්ජාල අතරමැදියන්ට විධාන නිකුත් කිරීම,
(ආ) මේ පනත යටතේ වරදක් සංයුක්ත වන අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කරන තැනැත්තන්ට, එකී ප්‍රකාශය සන්නිවේදනය කිරීම නතර කරන ලෙස දැන්වීම් නිකුත් කිරීම,
(ඇ) මේ පනත යටතේ වන තහනම් ප්‍රකාශ සන්නිවේදනය කරන තැනැත්තන්ට, එවැනි යම් ප්‍රකාශ සන්නිවේදනය කිරීම නතර කරන ලෙස විධාන නිකුත් කිරීම,
(ඈ) තහනම් ප්‍රකාශයක් ඇතුළත් මාර්ගගත ස්ථානයකට ශ්‍රී ලංකාව තුළ සිටින අවසාන පරිශීලකයන් ප්‍රවේශ වීම අක්‍රිය කරන ලෙස හෝ ඒ තහනම් ප්‍රකාශය ඒ මාර්ගගත ස්ථානයෙන් ඉවත් කරන ලෙස අන්තර්ජාල ප්‍රවේශ සේවා සපයන්නන්ට හෝ අන්තර්ජාල අතරමැදියන්ට දැන්වීම් නිකුත් කිරීම,
(ඉ) අධිකරණයට අපහාස විය හැකි හෝ අධිකරණයේ බලය සහ අපක්ෂපාතීත්වය පවත්වාගෙන යාමට අගතිගාමී විය හැකි යම් සන්නිවේදනයන් පිළිබඳ සලකා බැලීම සඳහා එකී සන්නිවේදනයන් උචිත අධිකරණයකට යොමු කිරීම සහ එසේ යම් අධිකරණයකට යොමු කරන ලද යම් කරුණක් සම්බන්ධයෙන් එකී අධිකරණයට අවශ්‍ය විය හැකි යම් සහායක් ලබා දීම,
(ඊ) තහනම් ප්‍රකාශ ඉවත් කිරීම සඳහා සේවා සපයන්නන්ට, අන්තර්ජාල අතරමැදියන්ට සහ අන්තර්ජාල ප්‍රවේශ සේවා සපයන්නන්ට නිර්දේශ ඉදිරිපත් කිරීම.
සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීමට ද කොමිසමට බලය ලැබේ.’
කෙටුම්පතේ සදහන් ආකාරයට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන කොමිසමට පුද්ගලයන්ට දඩුවම් කිරීමේ අධිකරණ බලය ද ලැබේ.
‘අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම මගින් ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට හෝ මහජන සාමයට තර්ජනයක් ඇති කරවන හෝ විවිධ පන්තිවලට අයත් තැනැත්තන් අතර එදිරිවාදී සහ වෛරී හැඟීම් ප්‍රවර්ධනය කරන, ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සිටින යම් තැනැත්තකු වරදක් සිදු කරනු ලබන අතර වරදකරු කරනු ලැබූ විට වසර පහක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට යටත් විය යුතු අතර, දෙවන වරට හෝ තදනන්තරව වරදකරු කරනු ලැබූ විට ඒ බන්ධනාගාරගත කිරීමේ කාලය හෝ දඩය හෝ ඒ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙක ම හෝ දෙගුණයක් කරනු ලැබිය හැකි ය.’
සවිඥානික ජනතාවක් ඉදිරියේ පරාජය වන ආණ්ඩුව !
මෙම කෙටුම්පත මගින් පැහැදිලි වන්නේ ආණ්ඩුවට ඉදිරියේදී එල්ල වීමට නියමිත ජනතා විරෝධයේ තරම ආණ්ඩුව විසින් ම මනාව කිරා-මැනගෙන ඇති ආකාරයයි. එම විරෝධය මර්දනය කිරීම සදහා ය රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පැහැදිලිව පෙනෙන මර්දන පනතක් කඩිමුඩියේ ඉදිරිපත් කරන ලද්දේ.
එහෙත් ජනතාව දේශපාලන වශයෙන් සවිඥානික වෙමින් තිබේ. ආණ්ඩුව පරාජයට පත්වෙමින් තිබේ.
- ශාලික විමලසේන