මේ පොත පුරාම අහිංසක ආදරවන්තයෙකු ගේ ආඛ්‍යානයක් ගැබ් වෙලා තියෙනවා

Share post:

සුජීව සිරිමෙවන් ගේ ඉසිඹුව, මතක සල්ලාප තීරු ලිපි එකතුව කියෙව්වා. එක දිගට පැය 3 කින් කියවලා හමාර කළා.

මම ඒ කාලෙ අයියා හම්බවෙන්න පේරාදෙණිය කැම්පස් එකට යනවා. වංගු වංගු පාරවල් ගෙවාගෙන , පටු පඩිපෙළ නැගගෙන, අමුතු හීතල හුළඟට මුහුණ දෙමින් මම එයා හිටපු හිල්ඩා , ඊළඟට ජයතිලක නේවාසිකාගාර වලට යනවා මතකයි.
මම හැමදාම පේරාදෙනිය දැක්කේ එළියෙ ඉඳන්.

සුජීව ලියලා තියනවා ඒක ඇතුළෙ ඉඳන් දකින්නේ කොහොමද කියලා. ඔහු ඒ මතක ඇතුලෙ ඇවිදින්නෙ ඔහුගේ ඇතුළාන්තය තුළත් ඇවිදින ගමන්. ඒ මතක ඇතුලේ ඔහු egoistic නොවී, යාලුකම, ආදරේ වාගේම, මනුස්සකමත් සෑහෙන අවංකකම කින් කුළුගන්නලා තියෙනවා.
අතීතය වාගෙම වර්තමානයත් එයා cartesian plane එකේ ලකුණු කරන්නෙ මතක මල්ලෙන් රැන්ඩම්ලි අහුලගත්ත සිදුවීම් වලින්. එයා ඒ සිදුවීම් සාංකාව නැමති හුයෙන් අමුනනවා. ඒ මතක ඇමිනුම කෙලවර වෙන්නේ කලකිරීමකින් හෝ ඉච්ඡාභංගත්වයකින් නෙමෙයි. ජීවිතේට සමීප වන ළබැඳී , ආදරයක්, කරුණාවක් ශේෂ කරමින්.

තැනකදි පේරාදෙණි මතකයෙන් මතක සල්ලාපය දිගෙ එළියට ආවත් ඔහුට ඒ පෙකනි වැලෙන් මිදෙන්න බැහැ. මෙහෙම කියන එක කොච්චර කුරිරු වුණත් දේශපාලනය කියන්නේ ඒත් පෙකනි වැලෙන් මිදෙන එක තමයි කියලා මට හිතෙනවා.

තීරු ලිපියක් ලස්සන වෙන්නේ එක ලියන මිනිහා කොච්චර සංස්කෘතික ද කියන එක ඇතුලේ. සුජීවගෙ හැම මතකයක්ම ගීත ඛණ්ඩයක, කවි පදයක, නවකතාවක කෙටි කතාවක, වේදිකා නාට්‍යයක පාඨයකට ඥාතිත්වයක් (affinity) ,ඇමුනුමක් තියෙනවා. ඒ ඇමුණුම පාඨකයාව පොදු තැනකින් ඔහුගේ අත්දැකීමට සම්බන්ධ කරන රහස ඔහු දන්නවා.

මේකේ සමහර තීරු ලිපියක කෙටි කතාවක ලක්ෂණ තියෙනවා . සඳ එළිය සහ මරණය කියන තීරුවේ ඉන්න පාන් කිරිත්ති ගේ චරිතය සුජීව ගොඩනගලා තියෙන්නෙ කෙටි කතාවක චරිතයක් වගේ. ප්‍රේමවන්තයෝ තමන්ගේ පෙම්වතියන් කෙරෙහි දක්වන ආධිපත්‍ය කොච්චර ගෝත්‍රික ද කියලා හොඳින් මතුවෙනව.

” මට ඒ වෙලාවේ හිතුණා පාන් කිරිත්ති ආයෙ කවදාවත් එයාගෙ ආදර මුද්‍රාව කිසි කෙනෙක්ට පෙන්නන්නෙ නැති වෙයි කියලා. අඩුමගානේ එයාගේ පෙම්වතා වුණු science ෆැකල්ටියෙ අයියට වත්. ඇඟ පුරාම ලලිත කලා තියෙන ගෑනු ළමයෙක් සාම්ප්‍රදායික පෙම්වතෙක් අස්සෙ හිරවෙන එක මොන තරම් පව් ද කියලා මට හිතුණා.”

මෙහෙම තමයි ඒ ඒ තීරු ලිපිය ඉවර වෙන්නේ. ඉතින් මේ පොත ළමයි කියවනවා නම් මං බොහොම කැමතියි. මේ පොත පුරාම අහිංසක ආදරවන්තයෙකු ගේ ආඛ්‍යානයක් ගැබ් වෙලා තියෙනවා. ඒක කියව ගන්නවා කියවා ගන්නවනං පිරිමි ලමුන්ට ජීවිත් වෙන එක මීට වැඩිය සනීප වෙයි.

මම තීරු ලිපි ගොඩක් කියවල තිබුනත්, මම මෙතෙක් කියවපු සරලම තීරු ලිපි සංග්‍රහය මේක කියලා කියන්න පුළුවන්. ඔහු කිසිම විටෙක සාරසංග්‍රහ වාදීව, පණ්ඩිතමානී ව, උපදේශාත්මක වෙන්න උත්සාහ කරන්නේ නෑ. ඒ හින්දා මේක කියවන එක ඇත්තටම ලඟ යාළුවෙක් එක්ක කයියක් ගහනවා වගේ වැඩක්. හැබැයි ඒක පොහොසත් සාකච්ඡාවක් බව නොකියාම බැහැ. පොත පුරාම තියෙන ඉලන්දාරි ගතිය නිසා ඒක මගේ බෙඩ් ටේබල් එක උඩ සෑහෙන කාලයක් තියෙයි කියලා හිතනවා.

ජයන්ත කහටපිටිය

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...