‘මහාද්වීපයක තනිවී’ – මෛත්‍රී ප්‍රසාද් ජයවර්ධන
කවිය පළමුව හදවතටද දෙවනුව බුද්ධියටද අමතයි යනුවෙන් දයාසේන ගුණසිංහ වරක් ලිවීය. හෘදයග්‍රාහී වන්නාවූද ඒ අතරම බුද්ධියට ආමන්ත්‍රණය කරන්නාවූද කවියෙහි එකවර සාර්ථක වීම කයියෙකුට ලෙහෙසි නැත. ඒ සඳහා කවියෙකුට අත්‍යවශ්‍යම වනුයේ තම අත්දැකීමක් කාව්‍යමය ගුණයෙන් පොහොසත් පාඨක ආකර්ශණයටද හේතුවන ලෙසින් ප්‍රතිනිර්මාණය කිරීම පිණිස වන උත්සාහය මෙන්ම ඉවසීමයි.
මෛත්‍රී සිය අභිනව කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් සැලකිය යුතු කාලයක විරාමයක් තබයි. ඒ අතරම හේ විප්‍රවාසී දිවියක අත්දැකීම්ද රැස් කරයි. තම උපන් රටින් බැහැරවන්නට කවර කරුණු බලපෑවද විප්‍රවාසියා තුළ තම රට කෙරෙහි ඇති ආශක්තභාවය මෙන්ම තමන්හට යමක් අහිමිව ඇත්තේය යන සංකාසහගත බවින්ද වියෝ වීම ලෙහෙසි නැත. එහෙයින්ම එවන් අයෙකු ගේ නිර්මාණයන් කෙරේ තමන් උපන් බිම හා බැඳි අත්දැකීම් මෙන්ම ඒ කෙරේ වන ඇල්මද පලවනු වැලැක්විය නොහැකිය. මේ කවියාගේ නිර්මාණයන තුළද නොඅඩුව ඒ ලකුණු දක්නට ලැබෙයි. ඔහු කවර දෙසක විසූවද අභ්‍යන්තර වශයෙන් බැඳී සිටිනුයේ තමන් ජීවිතයේ ළමාවිය මෙන්ම යොවුන් වියද ගෙවූ දූපත වෙතමය.
කෙසේ වෙතත් කවියා ඒ ඇල්ම අතරම තම කවිය තුළ ඉන් බැහැර කලාපයන් ස්පර්ශයටද යත්න දරනා අවස්ථා දක්නට ලැබෙයි. ඒ ඇතැම් තැනක ඔහු නිර්භය ලෙස ඇතැම් සම්මතයන්, සම්ප්‍රදායන් මෙන්ම අපට දීර්ඝ කාලයක් කවන ලද විශ්වාසයන්ද ප්‍රශ්ණ කිරීමට උත්සුක වෙයි. එසේම ඒ උත්සුක වීමද පවත්නා දෙය කඩා බිඳ දැමීමටත් වඩා මෙතෙක් සැඟවුනු යමක් මතු කර දැක්වීමටය. ඔහු කියනවද සිදුහත් නම් කවියෙහි උත්සාහ දරනුයේ එයටය. පස්මහ බැලුම් බලා සිදුහත් මව් කුස පිලිසිඳ ගත්තේය යනුවෙන් වන ඉගැන්වීම ප්‍රශ්ණ කරනා ඔහු ඒ හරහා සිදුහත් චරිතයෙහි ස්වභාවය විමසන්නට යොමු වෙයි.
මව්පියන් ළඟට යනකොට
අතර මග සල් ගහක් යට
අනපේක්ෂිත දරු ප්‍රසූතිය
මාතෘ මරණයක් සෑදුවද
ඇත්තටම සිදුහත්
ඔබ පස්මහ බැලුම් බැලුවද
සාහිත්‍යය තුළ අපට ඉදිරිපත් කෙරෙනා සිදුහත් වෙනුවට මානවයාගේ විමුක්තිය වෙනුවෙන් දිගු ප්‍රයත්නයක යෙදුන සිදුහත්ගේ ආත්මාවබෝධය මෙන්ම ලෝකාවබෝධය වෙනුවට ආශ්චර්යයන් සහ ප්‍රාගිහාර්යයන් තුළ සඟවනු ලබන සැබෑ චරිතය අවබෝධ කරගැනීම සැබැවින්ම බුදුන් දැකීම විය යුතු වෙද්දී තවමත් අප පරම්පරාවෙන් පරම්පරාවට හුරු කරනුයේ විශ්වාසයක් මත නඩත්තු වීමටය. මෙය කවර ආගමකට වුව පොදු සත්‍යයයි. එහෙත් ඉන් වනුයේ අදහන්නන් සහ අන්තවාදීන් බිහිවීම මිස විවෘත දැක්මක් සහිත සමාජයක් බිහිවීම නොවේ. ඒ අර්ථයෙන් ගත් කළ මෛත්‍රී ගේ විමසුම අපට මගහැර යා නොහැක්කකි.
අවසන් ගමන නම් කවියෙහිදී ඔහු අතීතාවලෝකනයක යෙදෙයි. ඒ අප සමාජයෙහි ඉතාම බිහිසුණු කාල පරිච්ඡේදයක වියොවක් ගැන ය. එකටම සිටි දෙමිතුරන් දෙදෙනකු ගෙන් එකෙකුට ජීවිතයත් අනෙකාට බිහිසුණු මරණයත් උරුම වූ පසුව ජීවත්වන්නට වරම් ලද්දා මරා දමන ලද්දාගේ සමීපතමයන් හමුවන අවස්ථාවක අත්විඳින දරුණු සංකාව මෙහිලා නිරූපිතය. මේ මගේ පරම්පරාවේ සැලකිය යුතු පිරිසකගේ අත්දැකීමද වෙයි. කවියාගේ මේ අතීකාවර්ජනය යනු එක් යුගයක මිනිස් සබඳතාවන් දෙස ආපසු හැරී බැලීමක්ද වෙයි. මේ ඔහු ඒ සබඳතාවන් නිරූපණය කරනා ආකාරයයි.
චෙකොෆ්ගේ කෙටිකතා පුෂ්කින්ගෙ කවි එක්ක
ආදරෙන් ඇසුරු කළ ගෝර්කිගෙ පොත් ගොන්න
ලෙනින්ගේ කෘති එක්ක වැළලුවා එක වළක
මරණයෙන් බේරිලා තව ටිකක් කල් ඉන්න
කවියා බොහෝ වට සිවුපද ආකෘතිය කෙරේ ආශක්ත වෙයි. මේ ආකෘතිය තුළ ඔහු වරෙක නූතන මැදි පාංතික ජීවිතයෙහි අඳුරු අහුමුලු කණින්ටද යත්න දරයි. නිවෙසක පති- පතිනි සහ මෙහෙකාර භූමිකාවන් එකිනෙක පැටලෙන, නියම් අනියම් පඹ ගාල් දළු ලා වැඩෙන ආකාරය ඔහු කවියට විෂය කරගනුයේ මෙහෙකාර ඉතිරියගේ කෝණයෙනි. එසේම මෙහි ඇති විශේෂත්වය වනුයේ අනුකම්පාව උපදන නැතිනම් බලය හමුවේ අසරණ වන චරිත වෙනුවට පවත්නා තත්වයන් යටතේ එකිනෙකා පරිභෝජන වස්තූන් ලෙස දකින්නට පෙළඹෙන මිනිස් චරිත කවියට නගන්නට ඔහු දරන තැතයි. ඔහු මෙහිදී අදාල සිදුවීම් වැල ඉදිරිපත් කරනා මෙහෙකාරියගේ මුවට නංවන වදන් නූතන සමාජයෙහි මනුෂ්‍ය චර්යාවන් පරිවර්තනය වෙන ආකාරය ගැන සාක්ෂි ලෙස ඉදිරිපත් කරයි.
කුස්සියේ වැඩ පමා වුනොතින් එයා පොල් ටික ගාලා දෙන්නේ
එයාගේ තේ අඩුව බීලයි මමත තොල කට තෙමා ගන්නේ
කාලෙ කාලා ටිකක් බීලා නියම ඇක්ටින් රෑට දෙන්නේ
මගේ පඩියත් හිතේ හැටියට මාත් ගෙදරට දැන් යවන්නේ
මේ ඔහු දකින කවියෙකුගේ පිලිකුල් භාවනාවයි
සඳ කියන්නේ
නිකන්ම නිකන්
පස් ගොඩක්
මෛත්‍රී ගෙ කවි අතර නංගියේ මැයෙන් එන කවියද විශේෂිතය. ඒ කවිය අක්කා කෙනකු නංගිට කරනා ආමන්ත්‍රණයකි. කවියාට අනුව අක්කා විවාහක දරුපල නැති තැනැත්තියකි. ඒ අතර නංගී දරුපල නිසාම අවමන් සහගත අනාගතයක අනතුර දරන්නට සිදුවන්නියකි. මේ කවියෙහි විශේෂත්වය වනුයේ අක්කා තමන් විඳිනා ඛේදය හරහා නංගී දෙස හෙලන දායවත් බැල්මයි. ඒ අක්කාගේ වදන් යනු ඛේදයකදී කතක් තව කතක් වෙත බැඳෙන, කතකට කඳුලක් හෙලන්නට උරහිස පිරිනමන කාන්තා ස්වභාවයෙහි නිරූපනයකි. තම නැගණිය අවිවාහක තරුනියක ලෙස ගැබ්බර වන විට අක්කා ඇයට පවසන වදන් කාන්තාවන්ගේ ඉරණමෙහි කටුක පැති ගණනාවක් නිරාවරණය කරයි.
පැයක් හරි ආදරේ කරලා තියෙනවා උඹ නංගියේ
කපුවො බොරුවෙන් අපිව රවටල දුන්නු දුක වැඩි නංගියේ
උඹේ බණ්ඩිය අත ගාන්නට එනව මම සුදු නංගියේ
උඹට වැඩි නම් පැටිය දීපන් බුදු වෙනව උඹ නංගියේ
ඉදින් මෙහි ආරම්භයේ කී පරිදිම කවියාගේ සෑම නිර්මාණයක්ම අදාල වනුයේ ඔහු විසින් හැර දමා යන ලද කොදෙව්වෙහි මතයන් හා සමගය. මේ ඔහු ඒ ගැන කරනා සංකා සහගත හෙලිදරවුවයි.
පය තබන් හිටියාට
මහාද්වීපෙක මෙහේ
පුංචි තිත් වගේ මතක
විතරමයි මගේ වටේ
කවියාට තම සංකාවන් කවියට නගන්නට බාධාවක් නැත එහෙත් ඔහු ඉන් බැහැර තමන් වසනා නව ඉම් පෙදෙස්හී අත්දැකීම්ද කවියට විෂය කරගත යුතුය. කවියෙකු ලෙසින් ඔහුට නවඩාත් සාර්ථකත්වයක් අත්කරගත හැක්කේ මේ තමන්ට කැයෙවනා අතීත මතකයන් මෙන්ම ඉන් බැහැර වර්තමානයද කවියට අල්ලා ගැනීම තුළය. ඔහු ඉදිරියට ඒ සඳහා උත්සුක වනු ඇත යන්න අපේ අපේක්ෂාවයි.