මිනිස් සිතෙහි සියුම් තැන් සියුම්ව ග්‍රහණයට ගෙන කවියට නැග ඇති ‘බිංගෙය පසුකර බිංගෙය’

Share post:

‘බිංගෙය පසුකර බිංගෙය’ – ධනංජය බණ්ඩාර

‘බිංගෙය පසුකර බිංගෙය’ යන කාව්‍ය සංග්‍රහය එළිදක්වමින් කවියෙකු ලෙස දොරට වඩින ධනංජය බණ්ඩාර, කතාබහට ලක්විය යුතු කවි ලියන්නෙකු බව ඉන් ප්‍රකට කර ඇත. මිනිස් සිතෙහි සියුම් තැන් සියුම්ව ග්‍රහණයට ගෙන කවියට නැගීමට ඔහු උත්සාහගත් අවස්ථා බොහෝ දැකිය හැකි බැවින් ‘බිංගෙය පසුකර බිංගෙය’ යන නාමය වඩාත් උචිත බැව්ද සටහන් කරන්නේ සතුටිනි. මිනිස් සිතෙහි ස්වභාවය කවියට නැගීම මෙන්ම එවැනි තැන් හඳුනා ගැනීමත් පහසු නොවන අතර ඔහු ඒ සඳහා යොදාගෙන ඇති කාව්‍ය ආකෘතිද උචිත ය.

“…විදුලි ඇස් සිනාසී
දුම්රිය
බිංගෙය පසුකර බිංගෙය
යා වූ පසුව නැවතුනි
මෙහි සිටින්නේ
යුවලක් පමණී
ඔව්, නැරඹුම් මැදිරියෙහි
අලුත විවාහ වූ යුවලක්
අද ගෙවෙන්නේ
මධුසමයයි…!”

(බිංගෙය පසුකර බිංගෙය; 22)

කවියා සංකේත යොදා ගැනීමට ගන්නා උත්සාහයත් රූපකාර්ථවත්ව තම අද්දැකීම ප්‍රකට කිරීමටත් ගන්නා සාර්ථක උත්සාහයක් බිංගෙය පසුකර බිංගෙය කවිය තුළින් දැකිය හැකි ය. කවියා මෙහි බිංගෙය යනුවෙන් දක්වා ඇත්තේ අප ගෙවන සාමාන්‍ය ජීවිතය ය. එදිනෙදා ජීවිතය ය. එය ඔහු බිංගෙයකට සමාන කර ඇත. බිංගෙය අඳුරු ය. ඒකාකාරී ය. වවුල් වැඩකිඩ හේතුවෙන් අප්‍රසන්නය. අපිරිසිදු ය. සුන්දරත්වයක් දැකිය නොහැකි ය. හඬක් නැගුවද එහි දෝංකාරය මිස වෙනත් පිළිතුරු හඬක් ඇසිය නොහැකි ය. ජීවිතය ද ඒ අයුරු ය. එහෙත් විවාහය හා මධුසමය යනු ජීවිතයක දැකිය හැකි විශාල මවාපෑමක් බඳු ය. පොල්සම්බෝල සමඟ බත්වත් කෑමට ආර්ථිකයක් නැතත් එදිනට කන්නේ රාජභෝජන ය. ඇඳුම් සඳහා දහස් ගණනක් වියදම් ය. ගෙදර තෙමෙන වහලත් සෙළවෙන ඇඳත් වෙනුවට තරු හෝටලටලයක කාමරයක් විය හැකි ය. සියල්ල දිනකට ය. දෙකකට ය. ඉන්පසු ඔවුන්ද යළි ජීවන අරගලයට මුහුණ දිය යුතු ය. ඔවුන් නැවත එනතුරු ඒ ජීවන අරගලයේ කොටස් කරුවන් බලා සිටින්නේ ය. ඒ අතර ණයකාරයන් මෙන්ම නොයෙක් මිනිසුන් විය හැකි ය. ඒ නැවත යන ජීවිතය බිංගෙයක් විය හැකි ය. මේ බවද අලුත බැඳපු යුවල වුව දන්නේය.

“…දුම්රිය එන්ජිම
නොනවත්වා පණ ගැන්වෙයි”

ඉහත යෙදුම මගින් එය කියවා ගත හැකි ය. මේ අයුරින් ඔහුගේ බිංගෙය පසුකර බිංගෙය කවිය කියවා ගැනීමට හැකි ය. එකී බිංගෙය මින්ස් හදවත ය. මිනිස් සිතුවිලිය. ඒ තුළ ඇත්තේ ජීවිතය ය. බිංගෙය තුළ ඔවුන් දෙදෙනා වුවද මුහුණ දෙන්නේ අද්දැකීම් දෙකකට විය හැකි ය. සිතන්නේ ආකාරදෙකකට ය. ඔවුන්ට ඔවුන්ව හඳුනා ග්ණීමටද හැකියාවක් නැත. සමස්ත කාව්‍ය සංග්‍රහය පුරාද මිනිසාගේ මේ ගූඪ සිතුවිලි නිරූපණයට කවියා උත්සාහ ගන්නා අයුරු දැකිය හැකි ය.

පරිසරය දෙස වෙනස්ම ඇසකින් බැලීමට උත්සාහ කරන කවියෙක් ලෙස ධනංජය බණ්ඩාර හඳුනා ගත හැකි ය. ‘තම භූමිය හොයාගෙන’ යන හිසින් යුතු කවිය තුළින් ඒ බව සනාථවේ.

“ඇළක දොළක ගඟුලක
දිය කඳුරක ප්‍රධානම කාරිය
තම භූමිය හොයාගෙන
ගලාගෙන යෑමය…!
විටෙක නෙතට මිහිරක් වන්නට
තම හතර හන්දි කඩාගෙන
දිය ඇල්ලකින් ඇද වැටීම ය
අලුත් ගමනක් ආරම්භ කිරීම ය…”

(තම භූමිය හොයාගෙන; 36/37)

ඔහු දක්වන්නේ ගංඟාවක ගමන් මග ගැන ය. අපි දන්නා ගංගාවේ පළමු අරමුණ වන්නේ සයුර දක්ව ගලා යාම ය. එහෙත් කවියා එකී අරමුණෙන් පරිබාහිරව වෙනත් අරමුණක් ගංගාවට ඇති බව පෙන්වයි. ගංගාවක රාජකාරි අතර දිය ඇලි මවා සුන්දරත්වය ඇතිකිරීම, ජල තඩාගයක් වීම, මාළුන්ට ජීවත් වීමට ඉඩ සාදා දීම, කිඹුලන් වැනි සතුන්ට භූමියක් වීම, ජල ක්‍රිඩාවලට ඉඩ ලබා දීන, ජලාශයක් ලෙස බැම්මක හිරවීම, විදුලිබලය ලබා දීම ආදි රාශියක් දැකිය හැකි ය. එහෙත් මේ සියල්ල ගංඟාව කැමැත්තකින් ආසාවකින් සිදු කරන ඒවා ලෙස නොදක්වයි. ඒ බව දිය ඇල්ලක් මැවීම සඳහා ගංගාව හතර හන්දි කඩාගෙන වැටෙනවා යනුවෙන් දැක්වීමෙන් පැහැදිලි ය. එමෙන්ම ගංගාව මොයකට අසලදී දැඩි හුස්මක් හෙළයි. එය වියෝව දරාගත නොහැකි ආකාරයේ සුස්මකි. සැනසුම් සුසුමක් විය නොහැකි ආකාරයේ දැඩි සුසුමකි.

“…ඉනික්බිති
ඇළ දොළ ගඟුලක්
දියකඳුරක් නොවූ කල…”

ගංගාව මුහුදට එක් වූ තැන් සිට එය මූදය. පැවරී ඇත්තේ රළ පෑගීමට ඉඩ දීම, සිප්පිකටු ආදිය පුද දීම ආදිය ය. ගංගාව (සයුර) එකී කාරණා ඉටුකළද දරා ගැනීමට නොහැකි අවස්ථාවල තමා උපන් භූමිය සොයා ගෙන යාමට උත්සාහ කරනු දැකිය හැකි ය. ඒ භූමිකම්පාවකි උපන් සුනාමියක් සේය, උදම් රළක් සේ ය. ගංගාවේ ප්‍රධානම අරමුණ එය ය.

මෙය අප ජීවිතයට මැනවින් සම්බන්ධ කර ගත හැකි ය. එකී සම්බන්ධය සඳහා එක් උදාහරණයක් ලෙස බිරිඳක මවක් ලෙස වෙනත් ගෙදරක සිටින කාන්තාවක් පෙන්විය හැකි ය. ඔවුන්ගේද ප්‍රධානම අරමුණ තම මවුගේ නිවස බලා හැකි හැම විටම යාමය. ඒ අතර තුර කාලය පෙර කී අයුරින් පැවරුණු වගකීම් යුතුකම් ඉටුකරමින් ඇය ගතකරනු ඇත.

ධනංජයගේ කවි අතර කෙටි කවි ද දැකිය හැකි ය. ‘කිසිවෙකුට බරක් නොමැතිව’ යන කවිය තුළින් අප සාමජයේ සිටින සුළුතර පරාර්ථකාමී මිනිසුන් ගැන ඔහු දක්වා ඇති අයුරු අපූරු ය. තම වගකීම් යුතුකම් අවශ්‍ය පරිදි උපරිමයෙන් ඉටු කරන සමහර මිනිසුන් කිසිඳු ඇගයීමක් නොලබාම කිමෙනු දැකිය හැකි ය. එවන් මිනිසුන් ගැන රූපකාර්තවත් කවියක් ලෙස මෙය දැකිය හැකි ය. මෙකී පරාර්ථකාමී මිනිසෙකුට හොඳම උදාහරණයක් ලෙස තාත්තා දැකිවිය හැකි ය.

“අල එරුණු බව දැනගෙන
කිසිවෙකුට බරක් නොමැතිව
පත් හලා දිරා යයි නොබියව
ඇතැම් තුරුවැල් ඉතා නිහඬව”

තාත්තා කන්දකට උපමා කළ හැකි ය. තාත්තා කිසිදිනක කඳුළු සළනවා දරුවෙකු දැක නොතිබිය හැකි ය. ඔහුගේ වේදනාවන් දරුවන් නොදන්නවා ඇත. තාත්තාට ඕනෑම දෙයක් කළ හැකි ය. ඔහුට දුක දැනෙන්නේ නැත. ඔහු පුදුමාකාර දරාගැනීමේ ශක්තියකින් හෙබි මිනිසෙකි. එහෙත් තම දියණියකගේ දීග යාම දරා ගැනීමට එකී මහා මිනිසාට නොහැකිවන් අවස්ථා දුලබය. තාත්තෙක්ට දුවෙක් කියන්නේ ඔහුගේ ජීවිතයමය. එකී බැඳීම දන්නේ ඒ තාත්තාත් දුවත් පමණමය. තාත්තලාට දුවලා ඉදිරියේ තම ප්‍රාණය පවා දෙවැනි ය. එවන් තාත්තෙක් දුවෙක් ගෙදරින් පිටවීම දරාගන්නේ කෙලෙසද. එවන් දිනවල ඒ මහා කඳු නාය යන්නේ ය.

” ඔලුව කෙලින් කරගෙන
කන්දක් ඔහොම හිටියට
දියණියක දීග දෙන දවසට
බැලුව හැකි නාය යන අන්දම”

(දියණියක දීග දෙන දවසට;05)

ධනංජය්ගේ කවි සමඟ බිංගෙවල්, කඳු, කළු කුහර, වනාන්තර, ගල් ගුහා ආදි නොයෙක් තැන්වල සැරි සැරූවෙමි. එවන් තැන්වල මිනිස් චිත්ත සන්තානය ගැන අංශුමාත්‍රයක් දැක්වීමට ඔහු උත්සාහ ගෙන ඇත. කවිය කියවන්නාට යම් එළියක් දැල්වූවා නම් යැයි සිතුණු අවස්තා ඇතත් ඔහුගේ උත්සාහය සාර්ථක ය. ඊට අමතරව ප්‍රේමය, විරහව, කුටුම්බගත ජීවිතය ආදි බොහෝ දෑ ඔහුගේ අද්දැකීම් වී ඇත. කියවා විඳිය යුතු කෘතියක් ලෙස ‘බිංගෙය පසුකර බිංගෙය’ කෘතිය හඳුනා ගනිමි. එය රසවත්ය. වරින් වර කියවා විඳිය හැකි ය. ධනංජය බණ්ඩාර කවියාට සුබ පතමි.

ශානක හිත්තැටියගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...