ඉන්ද්‍රානි සහ පෘථිවිය………………..

Share post:

රොටියක් වගේ
පැතලි වුණා නම් පෘථිවිය
මං
යවනවා කඩදාසි කාක්කෙක්
පාත්වෙන්නට
අරාබියේ
ඉන්ද්‍රානි වැඩකරන සුල්තාන්ගෙ මන්දිරේට.


යාවි එහෙම වුණා නම්
ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට ම
සිංදුවක් කියාගෙන.


කියාවි ඉන්ද්‍රානිට
උප නිවර්තන කලාප ගැන
අරාබි මුහුදු පතුලේ කොරල් පර ගැන
ක්‍රිටේසියස් මැඩගස්කරය ගැන
වෙරළ බඩ කඩොලාන පල්ලෙ පෙම් කෙළින
මූදු කකුළුවො ගැන.
පොකිරිස්සන්ගෙ ප්‍රේමාලිංගන වැල්වටාරම් ගැන
කැස්බෑවුන් විය සිදුරෙන් අහස බලන හැටි
හොම්බෙන් ගිහින් සාංකාවෙ හූල්ලන
නන්නත්තාර නිල් තල්මසුන් ගැන.

ඌ කියාවි ඉන්ද්‍රානිට
සින්ධූ නදිය බඩගාගෙන ඇවිත්
මූද බදාගන්න ලීලාව.
අනික
සූවස් ඇල දිගේ යන
යෝධ නැව්වල කප්පිත්තො
හවානා සුරුට්ටු උරන අපූරුව.


කියාවි ඉන්ද්‍රානිට
රතු දුඹුරු කොළ ඇල්ගී පැතිරිච්ච මූද දැක්කම
අර ඔයා නිතර ම ඇඳපු
චීත්ත ගවුම මතක්වෙන බව.

මං දන්නව
අඩු පීඩන කලාප මඟෑරගෙන
අක්ෂාංශ දේශාංශ තඹේකට මායිම් නොකර
කඩදාසි කාක්කා
ඉන්ද්‍රානි ගිනිරාමෙට වැඩකරන
සුල්තාන්ගෙ මන්දිරේ කුස්සියට
කොහොම හරි රිංගන විත්තිය.

මොන කෙහෙම්මලකට
ගෝලාකාර වුණා ද පෘථිවිය……..?

කුමාර හෙට්ටිආරච්චි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...