මේ විද්‍යාර්ථීන් දෙදෙනාගේ මැදිහත්වීම අප බාරගත යුත්තේ සාධනීය අර්ථයකිනි

Share post:

‘තුහින පොරොන්දුව’ – හොරගල විමලතිස්ස හිමි

‘ටික් ටික්’ – චාමර කසුන් සුමනරත්න

පොත් දෙකකි. එක එළිදැක්වීමකි. දිනය සැප්තැම්බර් 13 වන දා ය. ස්ථානය කොළඹ සරසවියේ කලාගාරයයි. මේ දෙදෙනාම තරමක කාලයක් තිස්සේ දැන සිටි හෙයින් එහි ගියෙමි. ඔවුන් මට හමුවන්නේ කොළඹ සරසවියේ සිංහල අධ්‍යනාංශයේ අවසන් වසරේ සිසුන් ලෙස මහත් උනන්දුවෙන් සාහිත්‍ය කටයුතු වල නිරතව සිටියදීය. මහාචාර්ය සඳගෝමි සහ මහාචාර්ය සරත් විජේසූරිය වැන්නවුන්ගේ මග පෙන්වීම සහ දිරි ගැන්වීම් යටතේ ඔවුහු සරසවි දිවියෙහි කැපී පෙනුන මැදිහත්වීමක් කරමින් සිටියෝය. ඒ දැකීමෙන් ඇතිවූ සතුට නිසාම මම ඔවුන්ගේ පොත් එළිදැක්වීමට ගියෙමි. විමලතිස්ස හිමිගේ නිර්මාණය කෙටි කතා එකතුවකි. චාමර එලිදක්වන්නේ සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි.

තම මුලු කාලයම සෙමෙස්ටර් විෂය අධ්‍යයන කටයුතු වලට බැඳ තබනු ලැබ නිවහල් සිතීමකට ඉඩ අහුරා ඇති විකාර සහගත සරසවි අධ්‍යාපනයක සහ වීදි සටන් මැද සරසවි තුළ නිර්මාණ සාහිත්‍යයේ විකසිත වීම යනු එක්තරා ආකාරයකට අසිරියකි. පෙර පාසලේ සිටම පොතේගුරු භූමිකාවට හුරු කරනු ලබනා සිසුවා පුරවැසියෙකු ලෙස සමාජයට නික්මෙන්නේ එහෙමපිටින්ම තලා මට්ටම් කරන ලද කාසියක් මෙන් හැගුම් විරහිත සත්වයෙකු ලෙසිනි. එහෙයින් මේ විද්‍යාර්ථීන් දෙදෙනාගේ මැදිහත්වීම අප බාරගත යුත්තේ සාධනීය අර්ථයකිනි.

එසේම ඒ මැදිහත්වීමද අරුත්බර කිරීමට ඔවුන් දෙදෙන සමත්ව තිබීම පැසසුම් කටයුතුය. විමලතිස්ස හිමි කෙටිකතාව තුළ තම පළමු මැදිහත්වීමෙහිදීම ආධුනික බවෙහි ලක්ෂණ බිඳින්නට සමත්වන තැන් මේ නිර්මාණ තුළ දැකිය හැකිය. අපූර්ව පෙම් පුවතක් ලෙසින් දිගහැරෙන ලිලී නම් කෙටි කතාව මේ සඳහා හොඳම සාක්ෂිය වෙයි. තරුණ යුවලකගේ පෙම් සබඳතාවක් හා පෙම්වතා අභ්‍යන්තරිකව විඳවනා අතීත කටුක අත්දැකීමක් මත පදනම්ව දිගහැරෙන මේ කෙටිකතාව ආදරය ගැන මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධයද ගැන කියවෙන සැලකිය යුතු පරිණත බවක්ද පල කරනා නිර්මාණයකි. ශේෂ කඳු මැයෙන් රචිත කෙටි කතාවද විමලතිස්ස හිමිගේ පරිකල්පනයෙහි පොහොසත් බව විදහා පාන්නකි. දේශපාලනය, පවුල් සබඳතාවන්හී ඇති අඳුරුකලාප, භීෂණය සහ මර්ධනය මැද වියවුල්ව යන තරුණ ජීවිතයන්හී ඛේදය, තමන්ගේ මුල් සොයා යාමට මිනිසා තුළ වන පෙළඹවීම සහ එහි විඳවීම වැනි විවිධ කරුණු සම්මිශ්‍රණය කරමින් රචිත මේ කෙටි කතාව හරහා විමලතිස්ස හිමි කරනුයේ තමන් හුදෙක් ඇසීමෙන් පමණක් දැනගත් යුගයක මනුෂ්‍ය සබඳතාවන් සහ එකී යුගයේ අඳුර වදන් රටාවකට ගෙන ඒමටය. නෝරා යනුද රචක හිමියන්ගේ අවධානයට ලක් විය යුතු තවත් කෙටි කතාවකි. වේදිකාව සහ ජීවිතය එක මත පතිත වන නිමේෂයක ඇතිවන සිද්ධි දාමයක් හරහා එක් අතකින් අපේ ජීවිතවල විසුලු ස්වභාවයද, ඒ සමගම එහි ඇති අනුවේදනීය බවද වාණිජවාදයට යටවූ සමාජයක පෙරලෙන පිට කවරක් වුව ඉන් වැඩ ගන්නට සූදානම් මිනිසුන්ද මෙහි නිරූපිතය. භික්ෂුවක වුවද සිය නිර්මාණ චාරිකාවේදී තම ආගමික විශ්වාසයන් ඉක්මවා පුළුල් ඇසකින් සමාජය දෙස බලන්නට මෙන්ම බහු වාර්ගික සහ ආගමික පසුබිම් ගැන යොමු වන්නට විමලතිස්ස හිමි උත්සුක වීම අගේ කල යුත්තේ යතිවර භූමිකාව බෙහෙවින් පරිහාණියට පත්ව ඇති වර්තමාණයක විවෘත, නිර්මාණශීලී එමෙන්ම මානව දයාව ආගමික කෝවෙහි බහා ලන්නට සීමා නොවන යති ලරපුරක් අපට ඇවැසි හෙයිනි. කෙසේ වෙතත් ගැලවීම වැනි කෙටි කතාවක මෙන්ම චිත්‍රයක් සමග හෝරා දෙකක් වැනි කෙටිකතා තවත් දියුණු කල යුතුව තිබූ නිර්මාණ බව මට හැඟෙන බවද මෙහිලා සටහන් කළ යුතුය.

චාමරගේ කවි අතර කැපී පෙනෙන්නේ ඔහු විසින් රචිත කෙටි කවි සමූහයයි. ඒ හා සසඳන කල ඔහු විසින් සිය කෘතියට අන්තර්ගත කර ඇති දිගු කවි හුදු සරලත්වය ඉක්මවා යන්නට නොහැකි බවක් පාඨකයා හට දනවයි. එහෙත් තෙටි කවියෙහිදී ඔහු තම මැසිහත්වීම සාර්ථකව සිදු කරයි.

සුවිසල්
රුකක්
නොවුණාට
තේ ගස
වතුකරේ
මිනිසුන්ගෙ
හදවත

අපේ ශ්‍රම බලකායෙන් සැලකිය යුතු කොටසක් ආවරණය කරනා අසරණ ප්‍රජාවක් වන වතු කම්කරුවන් සහ තේ ගස අතර වන බැඳීම කෙතරම් ගැඹුරු එමෙන්ම අවියෝජනීය සම්බන්ධයක්දැයි සීමිත වදන් පෙලකින් චාමර අපට කියා පායි. මේ කෙසේවත් අප නොදන්නා සත්‍යයක් නොවේ. අමතක කිරීමට වඩාත් නැඹුරුවන සත්‍යයකි. එහෙත් මේ කෙටි කවිය එය පාඨකයා ඉදිරියේ ළඹ දෙන්නට සලස්වයි. පාඨකයා පරිකල්පනයෙන් පොහොසත් නම් ඔහුට මේ කවිය හරහා වතු වගාව මෙන්ම එහි දේශපාලනයද වඩා පුළුල් ලෙස මේ හරහා විමසන්නට හැකියාව ලැබෙයි.

වර්තමාන සමාජය යනු චරිතාදර්ශයන් බෙහෙවින් හිඟ මිනිස් අහිනක් පමණි. එකට අත අල්ලාගෙන යන පිරිස් එක්වනම අනෙකාගේ අත අතැර තම වාසිය සොයා දිව යාම සහ අනෙකා පාවාදීම බෙහෙවින් සුලබ අත්දැකීම වී ඇති සමයක දුර්ලභම මිනිස් බව සිහිපත් කරනා කවියක් චාමර අතින් ලියවෙන්නේ පරිසරයේ සංකේත ඉවහල් කරගනිමිනි.

බජිරි යායක්
මැද
ගොයම් ගහක්

බජිරි යනු ගොයම් වගාවට බෙහෙවින් හානිකර වල් පැලෑටියකි. සාමාන්‍යෙයන් සිදුවන්නේ බජිරි යායක් වැවුණ පසු ඒ යට ගොයම් වගාව විනාශව යාමයි. චාමර මේ ව්‍යසනය මැද නැගී සිටිනා ගොයම් ගසක් සංකේතය ලෙස ගෙන වෙනත් අර්ථයක් මතු කරන්නට සමත් වෙයි.

සමාජය බොහෝ විට දකිනුයේ පිටත කබොල පමණි. එහි අභ්‍යන්තරය මෙන්ම පදනමද අපට බොහෝ විට වැදගත් නොවේ. මගේ මතකය නිවැරදි නම් විද්‍යාලංකාරයේ උපාධි ප්‍රදානොත්සවයකට සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් පැමිණි අවස්ථාවේදී ඔහු යක්කඩුවේ පඤ්ඤාරාම හිමි මුණගැස්වීමට කැටුව ගිය අවස්ථාවේ ඔහු විසින් පවසන ලද වැදගත් කියමනක් තිබේ. ඔහු යන විට හිමියන් සිටියේ විටක් කොටමිනි. උන්වහන්සේ දුටු මතින් රාධක්‍රිෂ්ණන් මුවින් පිටවූ වදන් වූවේ ගොඩනැගිල්ල පිටට පෙනුනද අත්තිවාරම නොපෙනෙන්නේය යන්යි. ඔහු ඉන් අදහස් කළේ එහිමියන් විසින් විද්‍යාලංකාරය වෙනුවෙන් කරන ලද මහඟු සේවය මෙන්ම උන්වහන්සේ කැපී පෙනෙන්නට තැත් නොදරා නිහතමානීව සිටීමේ අගය පිලිබඳවය. මේ අවස්ථාව මෙන්ම පොද මිනිස් ගතියද විදහා පාන කෙටි කවියක් චාමරගේ කවි අතර වෙයි.

මහා මන්දිර
ඉහළ නැග්මට
ෆවුන්ඩේසම් රහසේ
බදාගත්තා
පොළව තදටම

මේ එලෙසම සියුම් හැඟුම් දනවන තවත් කවියකි.

පුන් සඳ
දිලෙද්දී
නුබ ගැබේ
පුස් කොට්ට
පෙඟුණා
හැම රැයේ

ඔහුගේ තවත් කවියක් ජීවිතයේ ස්වභාවය මෙන්ම ඇද නොවැටී ජීවිතයට මුහුණ දීමේ අවශ්‍යතාවද මතු කර දක්වයි. මේ කවිය හුදු වේදනාවන් වින්දනය කිරීමක් නොව ඉල්ලා සිටිනුයේ කටුක තත්වයන් හමුවේ නැගී සිටීම උදෙසා වන දිරිමත් එළඹුමකි.

වැටෙන වැටෙන හැම කොලයට
දුක් උනා නම් ගහත් හරියට
සැමට සිසිල සෙවණ සදනට
මහ රුක් කොයින්දෝ වනයට

ඉදින් මේ තරුණ දෙපල සිය සරසවි දිවිය හමාර කොට සමාජයට පා තබන මොහොත නිර්මාණ ද්විත්වයකින් සමරන්නට සමත්ව සිටිති. දැන් ඇවැසිව ඇත්තේ මේ ඇරඹු නිර්මාණ දිවිය නොනසා පවත්වා ගනිමින් එය වඩාත් දියුණු කරගැනීමේ අභියෝගයයි. ඔවුන් දෙදෙනාම ඊට සමත් වනු ඇතිය යන්න අපේද අපේක්ෂාවයි.

චූලානන්ද සමරනායක

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...