මිනිස්සුන්ගෙ හැඟීම් කියන්නෙ තේරුම් ගන්න අමාරුම කලාපයක්. ඇත්තයි බොරුවයි වෙන් කරලා හඳුනා ගන්න අසීරු අඩවියක්.ඒවා තර්කයට කොටු කර ගන්න කොහොමත් බැහැ. එහෙම උත්සාහ කරන එකත් නිෂ්පල ව්‍යායාමයක්. ඒවගේම සමහර වෙලාවට හැඟීම් ඉදිරියේ මිනිස්සු අන්ත අසරණ වෙනවා. ඒ හින්දා යථාර්ථයට වඩා ප්‍රබන්ධය ඇතුළෙදි හැඟීම් එක්ක සමීප ගනුදෙනුවක් කරන්න පහසුයි. මොකද , අපේ ජීවිතයම ප්‍රබන්ධයක් නිසා. ප්‍රභාත් ජයසිංහගෙ ‘මගහැරුණු දූපත්’ කියන අලුත්ම කෙටිකතා සංග්‍රහය මිනිස්සුන්ගෙ හැඟීම් ක්‍රියාකරන ප්‍රබන්ධගත ආකාරය නිරාවරණය කරන්න ගත්ත අපූරු ප්‍රබන්ධමය ප්‍රයත්නයක්.
මිනිස් හැඟීම් එක්ක බැඳුණු බහුවිධ තේමාත්මකයන් මෙහිදී අපට අභිමුඛ වෙනවා . මුලදි ආත්ම තෘප්තියට කරන දේවල් පස්සෙ කාලෙකදි ඉලක්ක බවට පත් වුණහම ඇති වන ආතතිය , පස්මහ බැලුම් බලනවට වඩා ජීවිතයෙ මේ මොහොත විඳීමෙ හෝ විඳවීමෙ ආස්වාදය, ස්ත්‍රී පුරුෂ ලිංගික හැඟීම් ක්‍රියාකරන අතාර්කික විදිහ , ඇත්ත ජීවිතය ප්‍රබන්ධයක් වීමේත් ප්‍රබන්ධය ඇත්ත ජීවිතය වීමේත් පරස්පරය, සම්මත හෝ ආදර්ශ ප්‍රතික්ෂේප කරන පැවැත්මක සතුට , පරස්පරයම සරුමිහිරක් වීමේ විනෝදය , ශිෂ්ට විදිහට අශිෂ්ටත්වය නඩත්තු කරන ශිෂ්ටාචාරයේ නූතන මෙහෙයුම වගේ තේමා පාඨකයට බල කරනවා අනුන්ගෙ දිහා නෙමේ තමන්ගෙ දිහා බලන්න.
ප්‍රභාත්ගෙ කෙටිකතාවල කවදත් තියෙන විශේෂම ලක්ෂණය තමයි ඔහු මේ තේමා පාඨකයට ඉදිරිපත් කරන භාෂාව සහ ඒ භාෂාමය රිද්මය. ඒ භාෂාව ඇතුළෙ පණ්ඩිතමානී වචන නැහැ. පාරිභාෂික වචන නැහැ. ලේඛකයා විසින් හදාගත් පාඨකයා හොලමන් කරන වචන නැහැ. ඒ සේරම අපි කව්රුත් එදිනෙදා පාවිච්චි කරන සාමාන්‍ය වචන. හැබැයි මේ සාමාන්‍ය වචන එකතු කරලා හදන රිද්මයට පුළුවන් පාඨකයගෙ හෘදසාක්ෂිය තැති ගන්වන්න. ඇත්තටම මෙතනදි සිද්ධ වෙන්නෙ තේමාත්මකයන් භාෂාවෙ අත්අඩංගුවෙන් නිදහස් වීම. වෙනත් විදිහකට කිව්වොත් භාෂාමය ආලවට්ටම්වලින් තේමාත්මකය වල්මත් වෙන්න ප්‍රභාත් කිසිම විදිහකට ඉඩ තියන්නෙ නැහැ. මේ කෙටිකතා කියවනකොට අපිට වෙලාවකට ලැජ්ජා හිතෙන්නෙ, වරදකාරී හැඟීමක් දැනෙන්නෙ , හෘදසාක්ෂිය බර වෙන්නෙ ඒකයි.
මේ කෙටිකතාවලින් අපි බාහිරට පේන්න ඇඳගෙන ඉන්න අපේ විලාසිතාමය සළුපිළි අපිටත් නොදැනෙන්න එකින් එක ගලවලා දාන්න ප්‍රභාත් සමත් වෙනවා. ඒක ලැජ්ජා හිතුණට ආසා හිතෙන අත්දැකීමක්. ඒ හින්දා මගහැරුණු දූපත් මගහැර ගන්න එපා.