මේ මනුස්සයා පාඨකයාව පුදුම කරන්නේ නැතිව ඉන්නේම නැහැ. කතාව කියවන්න ගත්තාම පුදුම වෙන තරමටම කතාව කියවන වෙලාවෙත්, කතාව කියවලා ඉවර වෙන අවසාන වෙලාවෙත් පාඨකයාව පුදුම කරනවා.
ඒ පුදුම කිරීම කුතූහලය සහිතව ඇති කෙරෙන පුදුම කිරීමක් නෙමෙයි, හරියට ගාණක් හැදුවට පස්සේ: මොකක් හරි හරියට තේරුම් ගත්තට පස්සේ, ඒක අපි දැනගැනීම නිසා ඇතිවෙන ප්‍රහර්ශය මුසු “ආහ් මෙහෙමත් එකක්නේ!” කියලා ඇති වෙන පුදුමය වගේ එකක් කියන්න පුලුවන්.
පොත අතට අරගෙන ටිකක් කියවගෙන යනකොට, Alchemist කියවලා තිබ්බා වුණත්, මට හිතුණු පළවැනි දේ තමයි, මේ මනුස්සයට මෙච්චර ලස්සනට ආසියානු චින්තනය ඉදිරිපත් කරන්න පුලුවන් වුණේ කොහොමද කියන එක. ඒක කරන්න බැරි වැඩක් නෙමෙයි වුණත්, කරන්න අමාරු වැඩක් කියලා මං හිතනවා. ඒකත් චින්තනයට සෑහෙන තරම් සාධාරණයක් කරන ගමන්ම ඉදිරිපත් කිරීම.
අනිත් කාරණය, කතාපොතක් අතට ගන්නේ බණපොතක් කියවන්න නොවෙන නිසා, කතා පොතක බණ තිබුණොත් කියවන්න හිතෙන්නේ නැහැ, (අඩුම මට එහෙම කියවන්න හිතෙන්නෑ, මෑතක ඉතා ජනප්‍රිය වුණු පොතක දෙවැනි කොටසේ බාගෙකින් නැවතුණා ඔය බණ නිසා. තවත පොත් කීපයක් එහෙම අකමැති ලිස්ට් එකට වැටුණා) ඒත් මේක බණක්ද කියලා හිතෙන්නේ වත් නැහැ. හැබැයි මේ උපදෙස් ටිකක් තමයි දිගටදිගට තියෙන්නේ, ඉතාම කෙටියෙන් වුණත්.
මං පවුලෝට කැමති වෙන හේතුව නිසාමයි මං හිතන්නේ මේක උපදෙස් පොතක් කියලා හිතෙන්නේ නැත්තේ, ඒ තමයි මේකේ තියෙන කාව්‍යාත්මක සහ භාවමය ගතිය.
‘ජීවිතය’ අතිසංකීර්ණ දේශපාලන දාර්ශනික අදහස්, චින්තන සහ න්‍යායන් ඔස්සේ කතාවකට ගේන එක සෑහෙන උත්කර්ෂයට නැගුණත්, මං හිතනවා ඒ පොත් දුසිමකට වඩා, මේ වගේ කුඩා නුමත් භාවමය සහ කාව්‍යමය ආමන්ත්‍රණයක් තියෙන පොතක් දාර්ශනික කරුණු ගොන්නක් පාඨකයාට ඉතා සාර්ථකව තිලිණ කරනවා කියලා, පාඨකයා වෙහෙසවන්නේ නැතිව. ඒ වගේම වඩා වැඩි වපසරියක පාඨක පිරිසක් ආමන්ත්‍රණය කරන්නත් පුලුවන් වෙනවා.
වසර දහස් ගණනක සිටන්ම මානවයාට පුරුදුයි සංකේතමය සහ කාව්‍යමය ආකෘතියක් තුළින් ‘ජීවිතය’ වගේ සංකීර්ණ කරගත්තු දෙයක් ගැන දැනගෙන. මං හිතන්නේ Alchemist වගේම මේ පොතෙනුත් පවුලෝ කරන්නේ ඒ සම්ප්‍රදාය නූතන පොතකට අරගෙන එන එකයි.
ක්‍යූදෝ වගේ තදින් සහ ගැඹුරින් ජපන් සංස්කෘතිය සමග ආබද්ධ වුණු වගේම, ඒ තරමටම යුරෝපීයකරණය වුණු නව සම්ප්‍රදායක් ලෝකයේ අනෙක් තැන්වල ව්‍යාප්ත වුණු, ශාස්ත්‍රයක් (මං කැමතියි හැකි අය මේ පදය සංස්කෘතයෙන් තේරුම් ගන්නවාට.) ප්‍රකෘතියට ආසන්න ලෙස දැනෙන්න ලියනවා කියන්නෙත් ලේසි වැඩක් නෙමෙයි. මොකද මේක කොහෙත්ම භාවනා පොතක් හෝ යෝග පොතක් නොවෙන නිසා.
ඒ වගේම මේ පොතේ, ආරම්භයේදී ක්‍යුදෝ ගැන කතාව පටන්ගත්තත්, ඒක මැදට එන්න කලින්ම ජීවිතයේ සෑමදෙයකටම බද්ධවෙන විදිහ ගැන ඉඟියක් දෙනවා, අවසානයේ ඒක සම්පූර්ණයෙන්ම දුන්නෙන් හීයෙන් අයින් කරලා ජීවිතයට ලීන කරනවා. ඒ වගේම මේකේ තියෙන වඩාත් ලස්සනම දේ තමයි, ක්‍යූදෝ සහ ජීවිතය අතර තියෙන මායිම තමන්ම තෝරාගත යුතු තරම් බොඳ වුණු එකක් ලෙස පාඨකයාට ඉදිරිපත් කිරීම.
ධ්වනිය ඉදිරිපත් කෙරෙන්නේ සම්පූර්ණ වාක්‍ය ඡේද ඔස්සේ, නිසා පොතේ රූපික සැකැස්මත් සැලකිය යුතු තරම් පාඨකයාට බලපානවා, භාෂාව වගේම.
පවුලෝගේ භාෂාව සරලයි, ධ්වනිය ගැඹුරු නුමුත් සුගමයි, වගේම ගලායාම නවතින තැනක් නම් ඇත්තේම නැති තරම්.
පරිවර්තනය ගැන කියන්න ඕනේ මෙතැනදියි. පරිවර්නය (2020. ඉංග්‍රීසි පොත එක්ක සැසඳීමෙන්)සාර්ථකයි කියන්න පුලුවන් බයක් නැතිව. ඒ වගේම ඉංගිලිසි පොතේ, තියෙන ඇතුළු පිටු චිත්‍ර මේ පොතේ නැති වීමටත් මං කැමතියි. (ඒ නැති වෙන්න හේතුව මොකක් වුණත්) මොකද ඒ චිත්‍ර ඉතාම හොඳ වුණත්, පාඨකයාට අනවශ්‍ය දිශාව දැක්වීමක් ඒවාගෙන් වෙනවා කියලා මට හිතෙනවා. ඒක නැතිව පොත කියවන එක මට වඩා ප්‍රියයි. – කතාව මුඛ්‍ය නිසාත් චිත්‍ර ගෞණ නිසාත්.
ඒ වගේම පවුලෝට සාධාරණයක් කෙරෙන විදිහට සිංහලය හැසිරවීම ගැනත් ඩිල්ශානි චතුරිකා දාබරේට බොහොම ස්තුතියි. මොකද මෑතකදී අතට ගත් බොහෝමයක් පරිවර්තනවල භාෂාව ගැන සතුටුවෙන්න පුලුවන් කමක් තිබ්බේ නැහැ. ප්‍රධානම හේතුව සිංහලය වගේ සුමටව හසුරන්න හැකි භාෂාවක් පවා පරිවර්තන කාර්යයේදී ඉතාම රළුපරළු විදිහට හසුරුවා තිබීම. හැබැයි “තෙත්සූයා නම් දුනුවායා”ගේ භාෂාව එහෙම නැහැ. හැබැයි ඉංග්‍රීසි පොතේ පිටු සැකැස්මට (දැනටමත් ඇති සමානකමට වඩා වැඩි) සමාන පිටු සැකැස්මක් තිබුණා නම් පොත කියවීමේ අද්දැකීම මීටත් වඩා සුන්දර වෙන්න තිබුණා.
මට මේක ලියන්න පටන් ගන්න වෙලාවේ, අදහසක් තිබුණා පොතෙන් කොටසක් හෝ කීපයක් උපුටනවා කියලා. ඒ වුණත් මං එහෙම කරන අදහස අතහැරියා වඩා ලස්සන කොටස් මොනවද කියලා මට තෝරගන්න බැරි නිසා. හැම වාක්‍යකම මොකක් හරි වැදගත් අමුත්තක් ලස්සනක් චමත්කාරයක් තියෙනවා. මං ආයිම කියන්නේ, ඒ චමත්තාරය සිංහලයෙන් කියවන කෙනාට දෙන්න තරම් හැකියවකින් පරිවර්තනය කිරීම ගැන චතුරිකාට බොහොම ස්තුතියි.
ඉතින් තාම හමුවුණේ නැති නම් “තෙත්සූයා නම් දුණුවායා”ව හොයාගෙන පොඩි කතාබහක් දාන්න, ඒක ලස්සන අද්දැකීමක් වෙන එක ගැන සැකයක් නැතිව.
ඉසුරූ උපනාද