ඉතිරෙන සොම්නසේ, රැව්දෙන දඟබවේ සහ නොනිමෙන උමතුවේ ගිලී කිමිදෙන සැරිසරන්නෙකු විසින් පාඨක අපගේ වැලමිටෙන් හෝ අත්ලෙන් හෝ අල්ලාගෙන ‘ඉතිං මා සමඟ එන්නැ’යි කියා, රම්, ඇපල්, විස්කෝතු සහ වෙනත් අඩුමකුඩු ම සහිත කුඩා බෑගයක් අපේ පිටේත් එල්ලා, එතැන් පටන් තබන පියවරක් පියවරක් ගානේ දකින කියන මැවෙන හඟින හැඟෙන දෑ පිළිවෙළකට අසුරා හනා වනා ඉදිරිපත් කරන ලද මනා සැමරුම් එකතුවකි, ‘මචපුචාරේ අවාරේ’. අසිරිමත් හිමාලය කඳු වළල්ලට මුවාවන හිරු සිය රැස්දහර අහසෙහි විසුරුවන දසුනේ සිට රැය පුරා බෑඟිරි නඟන මිසර පාත්ත පවුලක් වෙසෙන ජර්මනියේ මෝසෙල් නම් ගඟ අසබඩ දක්වා වූ විසල් බිම් පදාසයක දිගහැරෙන රස භාව සපිරි සැරුමක සටහන් මාලාවකි මේ. හුදු විදෙස් තතු එකතුවක් හෝ සැමරුම් පෙළක් නොව වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සොඳුරු ගද්‍ය කාව්‍යයකි.
රඟදෙන බසෙක සෝබාව (බස)
සනත් බාලසූරිය පතපොත කියවා වඩවා නළවා සුමට කරගත් බසක්, කවි බසට පෙරළා ගනී. අනෙක් අතින් විදෙස් සාහිත්‍ය ඇසුරු කිරීමෙන් උපදවා ගත්, නිදහස් – තමන්ට අවංක ආඛ්‍යාන රටාවකට ඔහු අත තබයි. එබැවින්, ගහකින් කොළයක් පතිත වූවත් එය හැකි උපරිමයෙන් කිව හැකි, සැලෙන ලෙලෙන රඟදෙන රැව්දෙන නිවෙන සැනසෙන වශීකෘත බසක් ඔහුට හිමියි. එය ඔහු සතු විසල් ම සම්පතයි. මේ සම්පතින් අප සැරිසරන්නා උපරිම ඵල ප්‍රයෝජන ගන්නේ, ලියන වචනයක් වචනයක් ගානේ සැලකිලිමත් වෙමින්, තමාමත් රසවිඳිමින්, බස වෙනුවෙන් පිදිය හැකි උපරිම ගෞරවය ලබාදෙමිනි.
එක තැන නතර නොවන, කියැවීමට කඨොර නොවන, කිසි බිසි ගා නොලියන, දන්නා කියන වචන සියල්ල එකපිට එක පතිත නොකරන, තෙරපීමකට ලක් නොකරන, වචන පිට වචන හේත්තු නොකරන, වචන නොගිලින, බසෙහි අහුකොන් නැති, ඉවත් කළ යුතු වචන නැති, හිතටත් ගතටත් පහසු, ඉතා පැහැදිලි, උකු, සරු, වාග් කෝෂයකි මේ. සිංහල භාෂාවේ කෝමලත්වය සහ රමණීය බව ලියන්නෙකුට කොතරම් පිහිටක් වන්නේ ද යන්නත්, භාවිතයට නොගත් වදන් කොපමණ හැලී ගිලී කාලයත් සමඟ අතුරුදන් වී ඇති ද යන්නත්, නවලිකා (novella) වැනි නව වදන් සැකසීමට දක්වන නිර්භය බවත්, අපට පසක් කරවන්නට මේ සැරිසරන්නාට හැකිවී තිබේ. ප්‍රබන්ධ නොවන ලිවීමක් වුවත් මෙය ප්‍රබන්ධ ලකුණුවලින් පොහොසත් ය. මෙතරම් සුන්දර සංචාරක සටහන් කෘතියක් මම මින් පෙර කියවා නොමැත්තෙමි.
නෙක රස උනන මායාව (රස)
‘මචපුචාරේ අවාරේ – සැරිසර සටහන්’, නෙල්ලි ගෙඩියක් සේ නව රස දරා සිටිනවා පමණක් නොව, ඒ ඒ පරිච්ඡේදයට සුදුසු භාව තමා රසවිඳින්නා සේ පාඨකයාට ද බෝකරයි. ඈන් ෆ්‍රෑන්ක් සැඟව සිටි ගොඩනැගිල්ල සොයායාමට ඔහු සිතූ දිනයේ දි, පරිසරය ද අඳුරු වැහි බර දිනයක් බවට පෙරළයි, මල් පෙති වගුරුවා බිම බලා සිටී. හිම පතනයෙහි දී සිය රථය තුළ සිටිමින් අවට පරිසරය දකින විඳින සැටි කියන තැන්වල අධි ශීතකරණයක තැබුවාක් මෙන් අප ගතට ද උග්‍ර සිසිරය දැනෙන්ට ගනී. ඉගෝර් නම් පාපැදිකරුවා සමඟ එක්ව අධිවේගී මාර්ග මගහැර වනපෙත් දිගේ කෙරෙන විවේකී සැරිසැරුම් ඔහු ලියන්නේ, අපව ද පාපැදියේ නංවාගෙන යමිනි. බස් රථයේ උඩු වහලේ එළු-කුකුළු-සතුන් හා සමව අසුන්ගෙන හිඳිමින් යන ගමනේ, ඒ සුන්දර කුයිලය ද අපට දැනෙයි. මහ රෑ වන මැදින් එළිමහන් තැනක් බලා ආපිට යන ගමනේ දී, වනයේ වෙසෙන සතුන්ගේ හඬ ඇසෙයි. නිහැඬියාව සමඟ උනන පාලුවේ බියජනක බව හැඟෙයි. දේශයෙන් දේශයට, නගරයෙන් නගරයට, කන්දෙන් කන්දට, නිම්නයෙන් නිම්නයට, එකිනෙක පරයා යන රස දැනවීමට සමත් කතුවරයා මුළු ආත්මයෙන් ම සංචාරය වින්දනය කර ඇති බව කියවන අපට පැහැදිලි වෙයි.
මනරම් හරිත සේයාව (සොබාසිරිය)
මෑතකදී මා කියැවූ මනස්කාන්ත ම පරිසර වර්ණනා ඇතුළත් වන්නේ මෙහි ය. කඳු ශිඛර, තැනිබිම්, නිම්න, වනපෙත්, වනසතුන්, මල්රොන්, පත් පිළිබඳව අපිට ඇඟට පතට දැනෙන පරිද්දෙන්, මෙලෙසින් වනන්නට ලෙහෙසි පහසුවෙන් බැරි ය. පළමු පරිච්ඡේදයේ දී නාගර්කෝට් කඳු මුදුන සිට ඔහු දකින චමත්කාර ඉර බැසයාමේ දසුන අප ඇස් ඉදිරියේ ද මවන සනත්, අවසානයේ අපව නතරකරවන්නේ ගූගල් සෙවුම්කාරකය හරහා එම දසුන නැරඹීමට සේයා රූ සෙවීමක් දක්වා අප මෙහෙයවමිනි. සමනල කන්දේ ඉර සේවය ගැනවත් මම මෙතරම් ලස්සනට කිසිතැනක කියවා නොමැත්තෙමි. මේ සම්පූර්ණ හිරු තේමා වන දර්ශනය කෘතියේ පිටු දෙක තුනක් පුරා විස්තර වෙයි. එයින් කොටසක් පමණක් පළකිරීමෙන් රස නොපෙනේ. එහෙත් මේ වැකිය පමණක් අමුණමි.
‘හිරු කඳු වළල්‌ලේ ගිලී යන මොහොත, හිම කිරීට පැළඳි හිමාලය කඳුමුදුන් මත ලොවේ ඉහළ ම විස්මකර්ම සිත්තරාටත් සිතුවම් කළ නොහෙන වර්ණාවලියකින් පින්තාරු කළේ ය. ළා රන්වණෙහි සිට තද රතුපැහැය දක්වා වූ එව වර්ණාවලියෙන් දිදුළුණු හිමාලය කඳුපෙළ ඒ දසුන දුටුවකුට දිවි පුරා රැඳෙන මතක සැමරුමක් ඉතිරිකරන්නට තරම් බලවත් විය’
යෝධයන් බඳු යන්ත්‍රවල පණ ලබා අස්වනු නෙළන්නට ඉඩ දෙන තිරිඟු කෙත්වතු, රෝස අතු කප්පාදු කරමින් සිටි උයන්පල්ලා(මන්දිරයේ ආදිපාදවරයා) සහ තමා වෙසෙන පරිසර සීමාවට පැමිණි බැවින් මිනිස් සමූහයට දොස් නගන මිසර පාත්ත රංචුව මෙහි අප සිත් දිනූ සොබා සිරි වැනුම් වෙයි. පාත්ත තාත්තා සහ පාත්ත අම්මාගේ නෝක්කාඩු පිරි පවුලේ කතාන්දරයත්, වනසතුන්ගේ රෑ මැද කෝලාහලයට ම එක්ව කෝචෝක් කරන ගෙඹි රැළත් හාස්‍ය උපදවන රසවත් ලිවීම් ය.
ඇතුළත – පිටත ඕරාව (සන්දර්භය)
සංචාරක සටහනක් වුව ආකෘතිමකමය වශයෙන් සීමා ඉරි බෙදා දැක්වීමක් නොකර, අත දිගැර ලිවීමට සනත් රුස්සෙකි. ඔහු මුළු ආත්මයෙන් ම ලියයි. කෙටිකතා, නවකතා හෝ කවිවල දී ඒ ඒ ශිල්පීය ලක්ෂණවලට යටත්ව ලිවීමට සිදුවන අතර, මෙවන් සටහන්වල දී තම රුචිය අනුව මුළු හිතෙන් ම ලියන බැවින් ඒ් අව්‍යාජ ලේඛන රටාව කෘතිය තුළ දිස්නය දෙයි.
‘මචපුචාර් අවාරේ’ සංචාරක සටහන් කෘතියක් ලෙස විශේෂ වීමට අනෙක් හේතුව නම්, සනත් ලංකාව හා ඇලී ගැලී වෙළෙමින්, ඒ දෙස් – විදෙස් රැහැන බඳින්නට නොයාම යි. තමා දකින කියන දෑ සමඟ, ලංකාවේ අසවල් ස්ථානය – අසවල් කෙනා ඔහු මතක් කරන්නේ නැත. ලංකාවත් විදේශයත් සසඳන්නේ නැති. නේපාලය නේපාලය ලෙසින් ම, ටිබෙටය ටිබෙටය ලෙසින් ම, ජර්මනිය ජර්මනිය ලෙසින් ම, අපිට ඔහු තුළින් දැකගන්න ලැබෙන්නේ එබැවිනි. බොහෝ සංචාරක කෘති කියැවීමේ දී අපට දැනෙන දුරස් ස්වභාවය, අප පිටස්තරයෙකු ය ලෙස දැනෙන හැඟීම මෙහි දී නොදැනෙන්නේ එනිසා විය යුතු ය. ඔහු ගමන යන්නේ අප අත හැර නොව, අපත් සමඟිනි.
සංචාරක සටහන් එකතුවක දී යම් යම් ස්ථාන ගැන විස්තර දැක්වීම් සිදුවේ. කතුවරයා අදාළ තැනට වුවමනා දේ ගැන සංක්ෂිප්තව සහ රසවත්ව පිටු කිහිපයකින් විස්තරයක් අපට ඉදිරිපත් කරන්නේ, මේ දේ අප දැන සිටින දෙයක් නේද කියා අපට අමතක කරවමිනි. ඔහුගේ ලිවීමෙන් ඒ ඒ තැන යළි අලුතෙන් පණ ලබයි(උදාහරණයක් ලෙස ඈන් ෆ්‍රෑන්ක් ගැන විස්තරය-ඈන් සහ ෆ්‍රිට්ස් එක ම මේසෙ බෙදාගත නොහී තරහ වූ හැටි). ඉතිහාසයේ පළවෙනි වතාවට අපි ඒ තැන් ගැන මේ දැන් කියැවූවාක් මෙන්, ඉතා ම නිරවුල් පැහැදිලි විස්තර කථනයක් ඔහු ගෙන එන්නේ, මුල-මැද- අග ගළපමින් කතාන්දරයක් පරිද්දෙනි.
කතුවරයා කිසි තැනක අඬා වැළපෙන්නේ හෝ දොස් නගන්නේ හෝ කනුකුනු ගාන්නේ හෝ නැත. එබැවින් මෙය අමතක නොවෙන සැරුමකි. සතොස් සැමරුමකි.