සියුම් කාව්‍යාත්ම ගවේශනයක භාෂා නින්නාදය “චෙන්නායි හාදු”

Share post:

අනුරාධා සංකල්පනීගේ පළමු කාව්‍ය කෘතිය “චෙන්නයි හාදු” නමින් එළි දැක තිබේ. එහි නම ම නුහුරකි; අමුත්තකි;. හිතුවක්කාරකමකි. මේ හිතුවක්කාරකම ඇගේ කාව්‍යාවලියෙහිද දිස්වේ. ඇය සාහිත්‍ය ලෝකයට පිවිසුණේ යොවුන් සාහිත්‍ය පරිවර්තන කෘති දෙකකිනි.ඇමරිකන් ලේඛිකාවක වන නැන්සි ෆෝක්නර් ලියූ Mystery of the limping stranger කෘතිය “සුළඟේ ආ නළා හඬ” නමින්ද, බ්‍රිතාන්‍ය ලේඛිකා කැතී කැසිඩ් ලියූ Ginjer snaps “සරත් සමයේ හැළුණු පත්” නමින්ද ඇය විසින් සිංහලට පරිවර්තනය කරන ලදි.මේ කෘති දෙකෙහි විශේෂත්වය වනුයේ යොවුන් වියෙහි කායික හා මානසික වෙනස්කම් එනම් සංක්‍රාන්තිය අවධිය ගැන හැඟීමකින් යුක්තව කෘතිය ලියැවෙන සමාජ පසුබිමද සැලකිල්ලට ගනිමින් රචනා කිරීමය. එක අතකින් එම පොත් ඒවා ලියවුණු සමාජයෙහි ද කැරලිකාරී ජවයකින් යුක්තය.

ලංකාවේ චිරසම්භාවිත සාහිත්‍ය මිනුම්දඬු අනුව මේ පොත් දෙක නිසිතන්හි පිහිටුවීමට සාහිත්‍ය මණ්ඩප අසමත් වුවද ලේඛිකාව සතු බසෙහි හික්මීමද අන්තර් සංස්කෘතික අධ්‍යයනයද නිහඬ පාඨකයන්ට ආස්වාදයක් වන්නට ඇත.

“චෙන්නායි හාදු” කාව්‍යාවලිය ඔස්සේ අනුරාධා සිංහල කවිය විෂයෙහි මහත් බලාපොරොත්තු ඇතිකරවන කාව්‍ය අත්දැකීම් සමුදායක් පාඨකයාට ගෙනෙයි.මේ කවි සමුච්චයෙහි පොදුවේ නිරීක්ෂණය කළ හැකි සාධනීය ලක්ෂණ කිහිපයක් පවතී.

  1. විප්‍රවාසී අත්දැකීම් එම වේදයිතයන්ගෙන් මුදවා ගැඹුරු කාව්‍ය චින්තා නිර්මාණය කිරීම

2.නූතන කවියෙහි කැපී පෙනෙන සෘජු ප්‍රකාශන ශෛලියෙන් බැහැරව අත්දැකීම්හි සාරය උකහාගෙන නව්‍යවූ කාව්‍ය අත්දැකීම් නිර්මාණය කිරීම

  1. බස සැරසිල්ලක් කරනොගෙන කාව්‍යාත්මය ඉල්ලා සිටින කාව්‍යොක්ති නිර්මාණය කිරීම
  2. අල්පෝක්ති භාවිතය කවියෙහි ප්‍රබල ලක්ෂණයක් බවට පත් කිරීම
  3. සමස්ත රූපකයට වැඩි බර තබා රූපකාර්ථවත් බස අවශ්‍ය පරිදි කාව්‍යොචිතව ගොඩ නැඟීම

“කුහුඹු හද”මේ කවි එකතුවෙහි ප්‍රබල නිර්මාණයකි.

ඇතෙකුට නැඟිය නොහැකි
මහල් ගොඩනැගිල්ලකට
කුහුඹුවෙකුට යා හැකි
එහි මුදුන් තට්ටුවට

ගව් ගණන් දුර වුවත්
කාටත් නොඇල්ලෙන අහස
කුහුඹු ඇසකටත් විඳිය හැකි
සඳ එළියක පහස

මිනිසෙකුට ගොඩ කළ හැකි
ගංගා සමුදුරු හෙල්
කුහුඹු හදකට පහුරකි
වියැළී වැටුණු මල්

කාටකාටත් පෑගී යයි
නොගිණිය හැකි තරම් කුහුඹු සිත්
කාට කිව හැකි ඔවුන් තැනූ
ගුල් නැතැයි පොහොසත්

මහේශාඛ්‍ය බවට නොපෙනෙන අල්පත්වයෙහි සියුම්කමද, බලගතු බවද,සුන්දරත්වයද පිළිබඳ මානයකින් අයෙකුට මෙම කවියට ප්‍රවේශ විය හැකිය.සහෘද වින්දනයෙහි විචිත්‍රත්වය අනුව මේ කවියට පිවිසීමේ කවුළු කිහිපයක් කිවිඳිය විවර කර ඇත.

මිනිසෙකුට ගොඩ කළ හැකි ගංගා සමුදුරු හෙල්
කුහුඹු හදකට පහුරකි
වියළී වැටුණු මල්

මෙබඳු විශිෂ්ට කාව්‍යොක්ති මෙම කාව්‍යාවලිය පුරා හමුවෙයි.
මෙය අපට නුහුරු කවි මඟක්ද නොවේ.

සිලිලාරෙක හෙල්මැලි
පෙති අතරින් සැළි සැළී
කනට නොඑන
සිතට දැනෙන
සිලිසිලියක පැටලිලා

[ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ]

වැස්සකට ඉඩ ඇතත් අහස්කුස දස අතම
හිරුට එපමණ කුමට
පුංචි පෙදෙසක් ඇතිය…..

පුංචි කුහුඹුවන්ටත්
තියේ උන් හෙවණැල්ල……
.බිඳී ගියමුත් බඳුන්
අතින් දිය බොනු හැකිය………

[ප්‍රේමකීර්තිද අල්විස්]

අනුරාධා සංකල්පනීගේ “සඳ ගලා” කවිය පුරාම ඇත්තේ මෙබඳු වාක්චිත්‍රයි.
මේ එහි මුල් කොටසයි.

ඉනික්බිති සඳ ගලා ගඟ මත්තේ හැළී
සාවුන්ට පීනන්න හිතුණා
උතුරලා ගංගාව මුළු රෑම යට කරන්
සක්වළෙන් එහාටත් ඇදුණා

මේ වනාහී මනුෂ්‍ය සන්තානය ආලෝකවත් කරන සෞන්දර්ය ප්‍රවාහයකි.කවියන් නිසා රසිකයෝ ඉන් සැනහෙත්.

අනුරාධාගේ කවිය සෞන්දර්ය ප්‍රවාහයකට ඌනනය කළ නොහේ.මෙහි එන “මිනීමල් පොහොට්ටු” කවිය යුද්ධයෙන් පසුව යාල්දේවී දුම්රිය නැවත පණගැන්වීමේ සිදුවීම ප්‍රස්තුත කර ගනී.
“සන්ධ්‍යා,” නිර්මාණය සමාජය දෙවනත් කරන මර්දනය සහ අගතිගාමය ව්‍යවච්ඡේදනය කරන කැටපතක් බවට පත් වෙයි.

‘ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කර වසර 12ක් ගතවීත් අධිකරණයෙන් යුක්තියක් නොලද සන්ධ්‍යා එක්නැළිගොඩ ,කාලි මෑණියන්ගෙන් යුක්තිය ඉල්ලා හිස මුඩු කරයි.”

මුදු මඳ සුළඟ සැඩ සුළි සදිසිව සැදුණි
සිඹ සිඹ කොපුල් කඳුළැලි ඉපනැලි ඇඳුණි
වදනද අනඳ නිදි බිඳ බිඳ නද දෙවුණි
මගෙ සඳ අහස අතහැර ගිය බව දැනුණි

පෙරමග දව දවා පෙරඹර ගිනි හිරුය
බැස යයි හවස නොඇසිම එන පණිවිඩය
මුවරද විතර බිඟු තුඩ නොරැඳුණු වරය
තනිවද පිරිය යුතු මා ජීවිත මුරය

වැඳ වැඳ අඳ තුලා කඩු දොළසකි වසර
විඳ විඳ ගර්ජනා නින්දා නෙක හසර
බිඳ බිඳ හැම දෙවොල පොල් කන්නලව් කර
ජය මා කාලි මා හිමි එවපන් ගෙදර

ඉඟියක්වත් සොයා ගව් ගණනක් දිව්ව
හිත අළු රැගෙන නළලේ තිලකය තිව්ව
ගතු නොකියන කැක්කුමට මෙතුවක් ගෙව්ව
පත්තිනි අසාපන් වස් කවි මා කිව්ව

සිහිමඳ සිවල් ගඳ සිහසුන් මත වැකුණි
නෑසූ කන්ව අවනඩු පිළිකනු වැදුණි
මුව දොර ශාප ගංගා දෙවනත් කෙරුණි
බුර බුර ගිනි පේළි නරකය සරි ගැහුණි

ගෙන ගිය හැටි අහසකින් පුන් සඳ පැහැර
මැකු හැටි ඒ එළිය ලකුණක්වත් නොහැර
හෙළි කර කඩතුරා කළ කී දෑ කවර
පැලියන් හිස ඔවුන් හත්කඩකට විසිර

ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන යෑමෙන් පසුව ඇගේ බිරිය සන්ධ්‍යා යුක්තියේ දෙවොල ඉදිරියෙහිද අසරණ ව පුරුෂෝත්තම සමාජයක නෙක ගැහැට විඳිමින් සාධාරණත්වය පතා කරන සටන අවසන්ව නැති අවධියක මෙකව ලියැවිණ.මෙහි කාව්‍ය රිද්මය වෙස්සන්තර,යසෝදරාවත කාව්‍ය රිද්මය ම ස්පර්ශ කරමින් එය සමතික්‍රමණය කරන්නේ නව්‍ය අන්තර්ගතයකිනි.මීට කලකට පෙර ධර්මසිරි රාජපක්ෂ කවියා ලියූ දෙනගම තලමල සිහියට නැගේ

කියන්න කවිකර අම්මෙනි අවසර
මහතුන් නැති රට ඇයි උන් අවසර
දෙවියකු නිදි නම් ඇහැරී වර වර
බිම හෙළලා අර දෙනගම තලමල

රාජපක්ෂ කවියා දෙවියන්ට අඬ ගසන්නේ බලිතොවිල්වලදී යකුන්ට අඬ ගසන රිද්මයෙනි.මේ දෙදෙනාම සාම්ප්‍රදායික රිද්ම ලක්ෂණ භාවිත කරමින් නව්‍ය අන්තර්ගතයක් කවියට ගෙන ඒමට සමත්වෙති.ධර්මසිරිගේ කවිය මෙන්ම අනුරාධාගේ කවියද රසිකයන්ගේ හද කම්පා කරවන සනාතනික අගයකින් යුක්තය.එහෙත් ඒවා භාව විලාප ගණයට නොවැටෙන්නේ තියුණු සමාජ චින්තාවන් විදාරණය කිරීමට සමත්වන හෙයිනි.කොරෝනා සමයෙහි පෙම්වතිය බලන්නට පෙම්වතා නොපැමිණෙයි.ඇය තම සන්තාපය පිට කරන්නේ ඔහු වෙනුවෙන් වෙන් කර ඇති කෝප්පයෙන් පළමු වරට වතුර බීමෙනි.එය ඔහුට කළ හැකි ලොකුම පලිගැනීමයි.ඒ කෝප්පය පූජනීය ලෙස වෙන් කර ඇත්තේ ඔහුටය.ඇ බීවොත් බොන්නේ ඔහු සමගය.

“මං තනියෙන් බොනෝ” යනුවෙන් කීම පලිගැනීමකි.හවුලේ නොබොන බව කීමකි.පිචිචි,පිච්චි,උනු වතුර,යෙදුම් පෙම්වතියගේ කෝපය ප්‍රබල ලෙස දනවයි.
ඉතාම සරල සේ පෙනෙන සිදුවීමක් අභ්‍යන්තරයෙහි ඇති සිතුවිලි ඝට්ටනය මෙහි අන්තර්ගතය.එමෙන්ම බැවහර බස නාටකීය ලෙස භාවිතයට ගෙන ඇත.
අනුරාධාගේ එක් කවියක් වනය වනසන මිනිසුන්ට එරෙහිව තනිව සටන්වදින ඔර‍ංඋටං කෙනෙකු විෂය කරගනී.තවත් කවියක් කඩා වැටෙන උල්කාවක් ඇසරෙහි ප්‍රාණීන්ගේ චර්යා ප්‍රස්තුත කරගනී.හැබැයි මේ සියල්ලෙහි ඇගේ කවි ඇස යොමුවන්නේ ජීවිතයේ ඛේදාන්තය වෙතය.එහෙත් කවියෙහි එය ඛේදාන්තයක් නොකිරීමට ඇය වග බලාගනී.ඒ කවි ඝනාන්ධකාරයෙහි දිදුලන මිණක් මෙන් සහෘද හදවත් අවුළුවයි.

සිසිර කුමාර වන්නිආරච්චි (fb)

(හිටපු මාධ්‍ය නිලධාරී, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...