‘කිතලංගමුවේ මර්තේලිස්’ – නිර්මාල් රංජිත් දේවසිරි
වාමාංශික දේශපාලනය ගැන කතා කරනා සෑම විටකම අපේ මුවට නැගෙන නාම ලේඛණයෙහි ඉදිරියෙන්ම සිටිනුයේ ඇන් ඇම්, කොල්වින්, රොබට්, පීටර් කේනමන්, ෂන්මුගදාසන්, ආදී පුද්ගල සමූහයකි. එසේම මේ වමට විකල්ප ලෙස ඉදිරියට ආ බලවේගය ගැන කතා කරනා විට නිතැතින්ම කියවෙන නම් අතර ඇත්තේ රෝහණ විජේවීර, බෝපගේ, ගමනායක ආදී පුද්ගල සමූහයකි. වාමවාදී දේශපාලනය පිළිබඳ සංවාදය තුළ මේ ඉදිරිපෙල නායකයන්ගේ මැදිහත්වීම ගැන කියවෙන වීරාභිවන්දනයන් හිඟ නැත. ඔවුන් කළ කැපවීම්, ඔවුන්ගේ බුද්ධිමය සම්ප්‍රදානය, දැක්ම, අභියෝගාත්මක අවස්ථාවලදී පලකළ විචක්ෂණ හැසිරීම්, පාර්ලිමෙන්තු ක්‍රමය තළ මෙන්ම අරගල බිමෙහිද ඔවුන් කල කී දේ සමාජයෙහි විවිධ යුග පසුකර වර්තමානය දක්වාද ගලා එයි.
ඔවුන් ගැන ලියැවී ඇති දේ මෙන්ම තවදුරටත් ලියවෙන දේද හිඟ නැත. සැබැවි, මේ සියළු චරිත වාමවාදී දේශපාලනයේ ප්‍රමුඛ දැතිරෝද බව නිසැකය. ඔවුන් විසින් ඉතිහාසයෙහි ලියා ඇති පිටුවල වැදගත්කමද සුළුපටු නැත. අනාගත දේශපාලන බිමෙහිද ඔවුහු අධ්‍යනයට ලක් කළ යුතු චරිතමය. එහෙත් අප බොහෝ විට අමතක කරනා කරුණ වනුයේ මේ විසල් දැති රෝදයන්හී සෙවණැල්ල හමුවේ සැඟව යන තවත් වැදගත් පුංචි ඇණ මුරිච්චිද තිබෙන බවයි. එසේම මේ පුංචියට පෙනෙනා නැතිනම් නොපෙනීම අතුරුදන්ව යන ඇණ මුරිච්චි අර මහා දැතිරෝදයන් විසින් ඉටු කරන ලදැයි පෙනෙනා කාර්යභාරය සාර්ථක කිරීම උදෙසා කළ මෙහෙය කෙසේවත් නොතකා නොහැරිය යුතු බවයි. මෙ කියනා පුංචි ඇණ මුරිච්චි විසින් අරගලයේදී දක්වන ලද ධෛර්යය මෙන්ම කැපවීමද ඉතා විශාලය. ඉතාම තීරණාත්මක අවස්ථාවන්හිදී ඔවුන් ගේ මැදිහත්වීම සෑම අරගලයකම වැදගත් කොටසක් ඉටු කර තිබේ. මර්ධනය, පීඩනය හමුවේ ඔවුන් විසින් දක්වන ලද ජීවගුණය විටෙක අදහාගත නොහැකි තරම් ය. සැබැවින්ම ඔවුහුද මේ සියළු අරගලයන්හී සම කොටස්කරුවෝය. එහෙයින්ම ඔවුහුද මහා ප්‍රතිරූප හමුවේ යටපත්ව යා නොදී මතුකළ යුත්තෝය.
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කිතලංගමුවේ මර්තේලිස් අප හමුවට ගෙන එමින් කරනුයේ මේ අමතක කර දමන ලද්දන්ගේ ඉතිහාසය අපට ගෙනහැර පෑමයි. නොයෙක් දෙනා ඒ දෙස සෝපහාසයෙන් බැලුවද නිර්මාල් මේ කරනුයේ අත්‍යවශ්‍යම මැදිහත්වීමකි. ඔහු සිය කෘතියේ නමට පහලින් යොදනා මේ ඇඳුත්ත ඉතා අරුත්බරය.
“ලංකා සමසමාජ පක්ෂයේ අනෙක් ඉතිහාසයේ පරිච්ඡේදයක්”
මේ කෘතිය කියවන්නට ගත් සැණින් මගේ මතකයට ආවේ අපේ පැරණි වමෙහි රැස්වීමක් බලන්නට මහජන පුස්තකාලයට ගිය අතීත දිනයකි. එදා එහි සිටි බහුතරය සිය දිවියේ හැත්තෑව, අසූව දශකයන් පසුකරනා අය ය. මේ බහුතරය සිටියෝ සරම් ඇඳගෙනය. වැදගත්ම කරුණ ඔවුන් ඇඳ සිටි කමිසයෙහි පැහැයයි. ඒ සෑම කනකුම පාහේ ඇඳ සිටියෝ රතු කමිස ය. මෙය කෙනකුට උපහාසයෙන් මව ඇද කිරීමට කරුණක් විය හැකි වුවද ඒ ඔවුන් තුළ තවමත් පවත්නා අව්‍යාජභාවය සහ අවංකභාවය පල කරනා සංකේතයකි. ඔවුහ් තවමත් තම අරමුණ අත් නොහැර සිටින්නෝය. හුදු අතීතකාමය අවුස්සමින් නොසිට ඔවුහු තවමත්, සිය දිවියෙහි අවසන් කාලයෙහිදී පවා සමාජ වෙනසක් ගැන සිහින දකින්නෝය.
මේ මර්තේලිස් ගේ හඬයි.
‘අපි දන්නවා මේ ගමේ අපි බැරිම පවුල. එහා කෙලවරේ තමයි ලොකුම පවුල හිටියෙ. බැරිම පවුල කියන්නෙ මම ඉස්කෝලෙ ගියෙ නෑ. හෝඩි පොත විතරයි කිව්වෙ. ඒ රලා ඉස්කෝලෙ යන්න තරම් තත්වෙකුත් නෑ. අපි ගණන් ගන්තේ නෑ ඒ කාලෙ. ඉතින් හෝඩි පොත කියල ඉවර වුනාට පස්සෙ නිකම් හිටියා. පස්සෙ කොළඹ ගිහිල්ලා මං නතර වෙලත් හිටියා බංගලාවක.”
ඉදින් එවන් මිනිසකු විප්ලවාවදියෙකු බවට පත්වීම අපේ අවධානයෙන් කෙසේවත් බැහැර නොවිය යුතු කතාවකි. වමේ ව්‍යාපාරය විසින් ජීවිතය දෙන ලද්දේ මෙවන් මිනිස් සමූහයකටය. අනෙක් අතින් වමේ ව්‍යාපාරයෙහි කොඳු නාරටිය වූවෝද මෙවන් මිනිස්සුමය.
‘දැන් ඔය ගොවි වංශය වහුම්පුර, අල්ලපු ගම දුනුමාල ඒ කියන්නෙ ගොවි වංශෙ. දැන් මේ ගම වහුම්පුර. ඒකෙ ලොකු පරතරයක් තිබුණා. දැන් ඇත්තටම මටත් මේ දේශපාලනයට බලපෑවේ ඒ සිද්ධි තමයි මුලින්ම. ඔක්කොටම වෙනස්ව යන එකක් නොවැ මේක. සම මට්ටමින්. සම සමාජෙ පක්ෂෙ කිවුවහම. ඒක තමයි මේකට හඟක්ම බලපෑවෙ. එහෙම ඉන්නකොට තමයි මගේ අර වැඩ නිසා මුළු ගමම එකතු වෙලා බලේට මං මේකට දැම්මෙ.”
මර්තේලිස්ගේ කතාව යනු වාමවාදී දේශපාලනය ගම් මට්ටමින් මුල්බැස ගන්නට බලපෑ හේතු මනාව වටහා ගන්නට කවුළුවකි. කුලය සහ බලය හමුවේ පීඩිතයා තම මාර්ගය පාදා ගන්නට දැරූ වෙහෙස මේ මිනිසුන්ගේ කතා තුළින් හෙලිදරවු කෙරෙයි.
නිර්මාල් ලංකාවේ වමේ ව්‍යාපාරයෙහි සැඟවුනු මුල් සොයා කරනා මේ කැණීම දේශපාලනය කරනා කාටත් ඉතා වැදගත් ය. මන්ද යත් පාවෙල් තරමටම අපට මර්තේලිස්ලාද වැදගත් වන හෙයිනි. අපට වමේ ව්‍යාපාරයන්හී මැදිහත් වීමේ යහපත් අයහපත් ප්‍රවණතා ගැන මාස ගණනක් වාද කළ හැකිය. එහෙත් මේ ව්‍යාපාරයන් තුළ ඊට යෝධ ශක්තියක් වෙමින් සිය ජීවිතයම දිය කළ අව්‍යාජ කුහුඹුවන් ගේ කැපවීම අවිවාදිත බවද අපට අමතක කළ නොහැකිය. ඉතිහාසය යනු යෝධයන්ගේ පුවත් පමණක්ම නොවේ. එය පෝෂණය කිරීමට කුහුඹුවෝද දායක වූවෝය. කුහුඹුවන් යනුද යෝධයන්මය. නිර්මාල් ගේ කෘතිය අපට වැදගත් වන්නේ එහෙයිනි.