මාරියා ස්ක්ලොඩොව්ස්කා කියුරී, ප්‍රංශ මිනිස්සු හදල දීපු මේ පිලිරුව හැබෑම ලස්සනයි

Share post:

ඔක්තෝබරයේ යුරෝපයේ නගර මැදට සීතල දැනෙනව නෙවේ සීතල ගලනව. සීතල හුලඟ උතුරින් හමද්දි කහ පැහුනු කොල එක දෙක ඉගිලෙනව… මහත්වරුනි නෝනාවරුනි මේ තමයි සරත් සමය කියන්නා වගේ.

විස්තුලා ගඟ වැඩි සද්දයක් නැතිව ගලා බහිනව… විස්තුලා ගඟ පතුලෙ කොයිතරම් රහස් හැංගිලා තියනවද.. පලවෙනි .. දෙවෙනි ලෝක යුද්ධවලටත් කලින් ඉඳන්.!!
ඒත් මේ සරත් සමයෙ විස්තුලා ගඟේ සීතල හුලඟ කන්දෙක අගුල් දානව. ගං ඉවුරෙ ඉඳල කොස්සියෙල්නා වීදිය දිගේ මැමේසන් හෝටලේට ඇවිදගෙන යන්න විනාඩි විස්සක් විතර යනව හෙමිහිට පාඩුවේ ඇවිද්දොත්.

මතක ගිනිපුපුරු .. No stopping or turning back පොත් දෙකම හෝටල් කාමරේ මේසෙ උඩ. මේ දෙකේම මැදට වෙන්න පිටු පෙරලිලා තිබුනත් ඇවිදින්නමයි හිත කියන්​නෙ.
ඒ තමයි අහිකුණ්ඨක සිතිවිලි… නැත්තං හැඟීම්.

ඉඳල හිටල කහ පැහැති කොල ඉගිලෙනව ෆොන්ටානා උද්‍යානය පැත්තෙ ඉඳල. උද්‍යාන නම් විසි තිස් ගාණක් තියනව මේ වාර්සොවික් නගරෙ.
වාර්සොවික් කියල අපි කීවට වෝර්සෝ විදිහටයි සමහර රටවල මේ නගරෙ ප්‍රසිද්ධ.
බලෙන් උගන්වපු වෝර්සෝ ගිවිසුම කාටද මතක නැත්තෙ.?

හුලඟත් එක්ක ඇදෙන පුංචි හිරිපොදක් දේවදාර ගස් මුදුන් වගේම්ස් පාවේ ගලින් තැනුනු වීදියත් ඉඳහිට තෙත් කරනව.
නගර වැසියො කවුරුත් පේන්න නැති මේ හවස්වරුව නිස්කලංකයි.
ෆොන්ටානා උද්‍යානයේ කෙලවර පාර පනින්න කලින් අපූරු පිලිරුවක් ලඟ ඇස් නවතිනව. ඇස් නැවතුනත් හිත නවතිනවද..!!
ඇස් නවතිනවත් එක්කම හිත ඉගිලෙනව මාරියාගෙ කතංදරේ හරහා.

“තාත්තෙ මට බැරි ඇයි රේස් දුවන්න… ඇයි මට පිරිමි ලමයි එක්ක තරඟෙට දුවන්න බැරි.?”
පුංචි දැරිවියක් තමන්ගෙ තාත්තගෙන් අහනව.
තාත්තට දෙන්න උත්තර තිබුනද අපි දන්නෙ නෑ. ඒ තාත්තටත් තමන්ගෙ පාරම්පරික ගෙවල් දොරවල් අහිමිවෙනව පෝලන්ත සමාජ පෙරලියත් එක්ක.
දුවන්න එපා කීවත්.. තාලයට රිද්මයට නැලෙවෙන හිම මත ලිස්සා යාම.. ජිම්නාස්ටික්.. පිහිණුම් තරඟ වලට තරුණියන්ට එපා කියන්න කවුරුත් නෑ ඒ කාලෙ. අද වගේම තමයි.. වැඩි වෙනසක් නෑ.
සුමට ගෑණු ශරීරය නැලවෙනව බලන්න පිරිමි හරි කෑදරයි… ක්‍රීඩා වුනත්… නැටුම් වුනත්… පිහිනීම හෝ කිමිදීම වුනත්.
මාරියා රන්පදක්කම් දිනනව සිහින් ඇඟ තාලයට නටවමින්… අපි ඒකට නම දෙනව ජිම්නාස්ටික් ​ක්‍රීඩාව කියල.

1880 වර්ශය…. ලෝකය වෙනස්වෙමින් තියනව… මාරියා හිතනව.

නෑ, ඒ වෙනස්වීමට අවුරුදු සිය ගාණක් යනව.. තවත් සිය ගාණක් යනව මාරියා නොහිතුවාට.
තාත්තෙ මට ඕනෙ විද්‍යාව ඉගෙනගන්න… ගණිත ගැටළු විසඳන්න… මාරියා අඬා වැටෙනව.
ගණිතය.. භෞතික විද්‍යාව… රසායන විද්‍යාව ගෑණුන්ට ඉගෙන ගන්න බෑ. ඒ වගේ ගැඹුරු .. අමුතු… අමාරු විශය වෙන්වෙලා තියෙන්නෙ පිරිමි පක්ශයට විතරයි. එතනිනුත් භෝශුවාසි පවුල්වල පිරිමි පක්ශයට.
භෝශුවාස් කීවම…. ඔව් අර කාල් මාක්ස් කියන… කාල් මාර්ක්ස් ඉපදුනු භෝශුවාස් පවුල් ගැනම තමා මේ කියන්නෙ. ඒක වෙනම කතා කලයුතු ෆිනොමේන් එකක්.

ෆ්ලයින්ග් විශ්ව විද්‍යාලය… ඒක තරුණ ගෑණුන්ට හීනයක්.
හීනයක්…!!
හීනයක් විතරමද…?
මාරියා එයාගෙ වැඩිමල් සහෝදරී බ්‍රොන්ස්ලාවා එක්ක අනවසරයෙන් ඇතුල් වෙනව ෆ්ලයින්ග් විශ්ව විද්‍යාලයට.
නීති විරෝධීව… පිරිමි පක්‍ෂයේ රීති… අණපනත් වලට උඩින් පැනල ගිහින් මේ තරුණ ගෑනු දෙන්නා උත්සාහ කරනව ඉගෙන ගන්න. හොරෙන් ඉගෙන ගන්න.

වැඩිමල් සහෝදරී බ්‍රොන්ස්ලාවා හීන දකින්නෙ දොස්තර නෝනා කෙනෙක් වෙන්න. එයා කියනව පැරීසියට ගියොත් ඒ හීනෙ හැබෑ කරගන්න පුළුව​න් කියල.
මාරියා කියනව… අක්කෙ උඹ පැරීසියට පලයන්.
මම ගෙවල්වල වැඩකරල උඹට ඕනෙ සල්ලි හොයල දෙන්නම්.
හැබැයි මට ඉගෙන ගන්න ඕනෙ වුනාම උඹ මට උදව් කරන්න ඕනෙ.
පලවෙනි අවුරුදු දෙකේ මම උඹ ඉල්ලන ගාණ… උඹට ඕනෙ සල්ලි එවන්නම්. මාරියා කියනව.
කියනව විතරක් නෙවේ මාරියා ඒක කරනව.
ඒ වෙද්දි මේ තරුණ දැරිවිට අවුරුදු විස්ස ලබලවත් නෑ.
මාරියාට පුළුවන් වෙයිද එයාගෙ හීනෙ හැබෑ කරගන්න. ? ගෑනියෙක්ට පුළුවන්ද රසායන විද්‍යාව හදාරන්න.?

එහෙම පුළුවන්ද… තේ කෝප්පයක් ගෑණිට හදල දුන්නොත් මිනිහා අපායේ යන රන්දෝලි බහුභූත සමාජයක් අදත් තියෙද්දි…?
තාමත් ගස්වලට කිලිවද්දන… පුරාවස්තුවලට ශාප කරන ගෑණු ගැන අද දවසෙත් කතා කරද්දි එදා සමාජය ගැන මොනව කියන්නද.?
විද්‍යාවෙන්.. ඉලක්කම්වලින් ලෝකය පුදුම කරපු ආන්න ඒ මාරියාගෙ පිලිරුව ලඟයි මේ ඇස් නවතින්නෙ ඔක්තෝබරේ හවසක… විස්තුලා ගඟ පැත්තෙ ඉඳන් ඇවිදන් එද්දි.
විස්තුලා ගඟ පතුලෙ අතුරුදන් වුනු යුදෙව්වො බෝමයි. ඒ ගැන කතා කරන්න වෙලාව නෙවෙයි මේ.

මාරියා කීවට කවුද දන්නෙ.?
මාරියා හෙවත් මාරි කියුරි.
නොබෙල් තෑග්ග… විකිරණශීලීත්වය… බුද්ධිමත් කාන්තාව… සුපිරි මොළය… විකාර විස්තර තවමත් අමන ලෝකයේ සැරිසරනව.

මහා ලොකු බුද්ධිමත් පුරුශ මූලික සමාජය මේ ගෑනිගෙ සටහන් පොතේ ඇති විකිරණශීලීත්වය ගැනත් කව් ගී ලියනව තාමත්.
වේදනාව පිරුණු විකිරණශීලී සටහන් පොතෙන් තවමත් සිකෙඩෙලික් කික් එකක් ගන්න පංතියකයි අපි තවම ඉන්නෙ.
ඒ විනෝදය මැද්දෙ… කවි ගී මැද්දෙ ගෑණු තාමත් බුර්කාවෙන් ඔළුව වහගෙන අහවල් මිනිහා උතුම් කියනව.

ඒ නිසම මාරියාගෙ පිලිරුව ලඟ පොඩ්ඩක් නැවතිලා මේ විකාර සමාජය ගැන හිතනව.
මාරියා හෙවත් මාරි කියුරි ගැන ලියන්න පණ්ඩිත.. භහුශෘත.. සියල්ල දත්… උසස් සමාජය ලෑස්ති නිසා ඇල්ප්ස් කඳුකරේ පුංචි ගමක නිහඬවම මියගිය මාරි කියුරි ගැන ලියන්න ඕනෙ නෑ … ලියන්න එපා හිත කියනව.
මාරි කියුරි .
මාරියා ස්ක්ලොඩොව්ස්කා කියුරී.

ප්‍රංශ මිනිස්සු හදල දීපු මේ පිලිරුව හැබෑම ලස්සනයි.
මං වගේ කුඩා මිනිහෙක්… මේ වගේ පිලිරුවක්…. චරිතයක් ඉස්සරහ කොයිතරම් පොඩියිද.?
අඩුම තරමෙ මම කවුද උඹ ගැන වචනයක් ලියන්නවත්.?

Malcolm Sang

(Marie Sklodowskaa Curie . 1867 -1934.)

Related articles

ජනාධිපති සමාවෙන් – ජනාධිපති මුක්තියෙන් අනුරට යථාවාදී තථාකාරී වීමට අවස්ථාවක් තිබේ !

රටේ වර්තමාන අවශ්‍යතාවලට සහ වෙනස්කම්වලට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බව ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයේදී පැවසීය. නීති...

අත්අඩංගුවට ගත් වාහනයේ චැසි අංක විකෘති කරලා : රේගුවේ වාර්තා නෑ : ඒක මගෙ දිවිනසාගත් ලේකම්ගෙ – ලොහාන්

හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේට සම්බන්ධ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගි වාහනය පිළිබඳව සිදුකළ විමර්ශනයේදී වැදගත් කරුණු රැසක් අනාවරණය වී...

මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන හැටි පොලිස්පති අභ්‍යන්තර චක්‍රලේඛයකින් රට පුරා පොලිසිවලට කියයි !

ඩිජිටල් මාධ්‍ය වෙත (සමාජ මාධ්‍ය ද ඇතුළුව) පුද්ගලයන්ට ප්‍රවේශවීමට සහ ඒවා භාවිත කිරීමට ඇති හැකියාව භාෂණය, ප්‍රකාශනය ඇතුළුව...

‘ඔබ හිටියට මම තනියම’ – පරාක්‍රම ඒකනායක

පරාක්‍රම ඒකනායක අපට බොහෝවිට හමුවනුයේ රූපවාහිනී කැමරාව සමගිනි. මා හට ඔහු හමුවූ සෑම අවස්ථාවක්ම එපරිද්දෙනි. එහෙත් ඔහු ලේඛකයෙකු...