ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (18) සලකා බැලීම ආරම්භ කරන ලද පෙත්සම් 50ක් මගින් ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කර ඇති මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත සකස් කළ කමිටුව බව සඳහන් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් ලබාදී ඇත්තේ අසත්‍ය තොරතුරු බව හෙළි වේ.
නීති ශිෂ්‍යයකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර විසින් පසුගිය ඔක්තෝබර් 04දා ඉදිරිපත් කරන ලද තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එච්.පී. චන්ද්රලාල්ගේ අත්සනින් මීට අදාළ තොරතුරු ලබාදී ඇත.
කමිටුවේ සාමාජිකයන් කවුද ?
එම තොරතුරුවලට අනුව අදාළ කෙටුම්පත සකස් කළ කමිටුව මෙසේ ය.
01. ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස
02. ජයන්ත ප්‍රනාන්දු
03. ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක
04. ආචාර්ය එච්. ඒ. එම්. හකීම්
05. නීතිඥ සන්ජිත් සේනානායක
06. නීතිඥ සේහාන් ද සිල්වා
07. නීතිඥ චමින්ද අතුකෝරළ
08. නීතිඥ චින්තක අමරසිංහ
09. නීතිඥ රුවන්ත කුරේ
10. නීතිඥ සේහානි අල්විස්
11. නීතිඥ චින්තක ප්‍රනාන්දු
12. නීතිඥ අස්විනි හපන්ගම
අධිකරණ අමාත්‍යංශය ?
මෙම තොරතුරු අසත්‍ය බවත්, තමන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ එවැනි කමිටුවක් නියෝජනය නොකළ බවත් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක සහ නීතිඥ ජයන්ත ප්‍රනාන්දු තහවුරු කරති.
මේ සම්බන්ධයෙන් thetime.lk සමග අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස සඳහන් කළේ තමන් සභාපතිත්වය දරන ලද්දේ අලි සබ්රි අධිකරණ ඇමති ධුරය දරන කාලයේ සකස් කිරීමට සැලසුම් කළ පනත් කෙටුම්පතකට අදාළ කමිටුවක බවයි. එය එවකට හඳුන්වන ලද්දේ මාර්ගගත අසත්‍ය පුවත් සහ හැසිරීම්වලින් ආරක්ෂා වීම පිළිබඳ කෙටුම්පත (Draft of Protection from Online Falsehoods and Manipulation Bill) ලෙසයි. කෙසේ වෙතත් එම කමිටුව විසින් සකස් කරමින් සිටි කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා සහ පොලිසියට වැඩි බලයක් පැවරීම ඇතුළු නිර්දේශ හේතුවෙන් 2022 ජූලි 21 දින නිල වශයෙන් එම කමිටුවෙන් ඉවත් වූ බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. ඒ බව එවකට අධිකරණ අමාත්‍යංශයේ මීට අදාළ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ හිමාලි කොතලාවලට ජනාධිපති නීතිඥවරයා විසින් දැනුම් දී තිබේ.
Thetime.lk සමග මේ පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ ජයන්ත ප්‍රනාන්දු පැවසුවේ අලි සබ්රි අධිකරණ ඇමතිවරයාගේ කමිටුවෙන් තමන් ද ඉවත් වූ බවයි. 2022 මාර්තු 10දා මීට අදාළ අවසන් කටයුතු සිදු කළ බවත්, මහජන අදහස් විමසීමකින් තොරව එවැනි බරපතළ කෙටුම්පතක් ඉදිරිපත් කළ නොහැකි තත්ත්වයක් තිබූ බවත් සඳහන් කළ නීතිඥවරයා, මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් පත්කළ මෙවැනි කිසිදු කමිටුවක තමන් සාමාජිකත්වය නොදැරූ බව ද තහවුරු කළේය.
ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක ද මෙම තොරතුරු අසත්‍ය බව සඳහන් කර සිටී. ඒ බව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ද සඳහන් කර ඇත.
ඒකාබද්ධ කැබිනට් සංදේශය
අනුරුද්ධ බණ්ඩාර වෙත මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් එවා ඇති ප්‍රතිචාරයේ දැක්වෙන්නේ මෙය 2021 අප්‍රේල් 01 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 2020/cab Memo/J/L/107 දරන ජනමාධ්‍ය සහ අධිකරණ ඇමතිවරුන්ගේ ඒකාබද්ධ සංදේශයට අනුව සකස් කරන ලද කෙටුම්පතක් බවයි. එවකට අධිකරණ ඇමති ධුරය දරන ලද්දේ අලි සබ්රි විසින් ය.
අලි සබ්රිගේ කමිටුව
මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ලබාදී ඇත්තේ එම කැබිනට් සංදේශයට අනුව එවකට අධිකරණ ඇමති අලි සබ්රි විසින් කෙටුම්පත සකස් කිරීම සඳහා පත්කරන ලද කමිටුවයි.
ගැසට් කිරීමෙන් පසු ඉදිරියට
පසුගිය 03දා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලද ආන්දෝලනාත්මක පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය සැප්තැම්බර් 15දා නිකුත් කරන ලද්දේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසිනි. එය පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද්දේ ද ඔහු විසින් ය.
වසර 2ක සිර දඬුවම් !
ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ තොරතුරු නිලධාරියා විසින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 39 වගන්තිය උල්ලංඝනය කර තිබේ.
එම වගන්තියේ 1 (අ) යටතේ දැක්වෙන්නේ චේතනාන්විතව අසත්‍ය තොරතුරු සපයන හෝ තොරතුරු වසන් කරන හෝ අසම්පුර්ණ තොරතුරු සැපයීම මෙම පනත යටතේ වරදක් වන බවයි.
39 (1) (උ) යටතේ දැක්වෙන්නේ එවැනි වරදක් සිදුකරන පුද්ගලයෙකු වසර 2ක සිර දඬුවමකට හෝ රුපියල් 50,000 නොඉක්මවන දඩ මුදලකට හෝ මෙම දඬුවම් දෙකට ම හෝ යටත් වන බවයි.
පුරවැසි වගකීම
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම නීති ශිෂ්‍යයකු වන අනුරුද්ධ බණ්ඩාර මීට අදාළ ව විධිමත් තොරතුරු ලබාගැනීම සඳහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත භාවිත කිරීම අතිශය වැදගත් ය. නීතියේ ආධිපත්‍යය සහ සමාජ සාධාරණත්වය තහවුරු කිරීම සඳහා පුරවැසි දැනුවත්භාවය අත්‍යවශ්‍ය කරුණකි.
- ශාලික විමලසේන