ඒකපාර්ශ්වීය ආදරයක් ගැන කියවෙන ‘මැයි මාර ප්‍රසංගය’ කියවල බලාපොරොත්තු සුන්වෙලා තවත් ස්වතන්ත්‍රයක් කියවනවද නැද්ද කියල ඉන්නකොට තමයි රශ්මිකගෙ ත්‍රිමූර්ති කියවන්න පටන් ගත්තෙ..
වත්මන් තරුණ පරපුරේ නිර්මාණකරුවන් අතර මම රශ්මිකව දකින්නෙ ලාංකීය සාහිත්‍ය හා විශ්ව සාහිත්‍ය යන කොටස් දෙක කෙරෙහිම මනා හැදැරීමක් ඇති , සාහිත්‍යයේ නව ප්‍රවණතා සොයා යන වඩාත් ගවේෂණශීලී නිර්මාණකරුවෙක් ලෙස.. ශුක්රාන් කටාර් , මරණයේ රළ නැග්ම , මොනාලිසාගේ මිසර ගමන , චීනයට මන්දගාමී බෝට්ටුවකින්, නවකතාවේ ආඛ්‍යානික රටා , සකුලු සිහිනයක සමළ සන්තාපය රශ්මිකගෙ නිර්මාණයන්.. ඔහුගේ නවතම නිර්මාණය තමයි ත්‍රිමූර්ති නවකතාව..
මෙහි කියවෙන්නෙත් ආදරය ගැන කතාවක් කියල ඔබ සිතාවි. ආදරයක් නැත්තෙම නෑ මෙහි. හැබැයි අනුමාන උපමාන නිරීක්ෂණ මත ගොඩනඟපු සුරංගනා කතාවක් වගේ ආදරයක් නෙවෙයි මෙහි තියෙන්නෙ. විදපු , දැකපු , දැණුනු සත්‍ය හැඟීම් මත මහපොලොවෙ ගොඩනැගුණු ආදරයක්. හැබැයි මෙය ආදරයකට පමණක් සීමාවුන කතාවක් නෙවෙයි. මේ තුල තවත් විචිත්‍රවත් මානව හැඟීම් ගණනාවක් වචන බවට පත්කරල තියෙනවා..
පොත කියවූ පාඨකයෙකුට කියන්නෙ පුළුවන් කතුවරයා ස්ත්‍රීන් තිදෙනෙක් විෂයෙහි ප්‍රධාන චරිතය වුන නිරෝෂන්ට ආදරය දැනුන විදිහ තමයි මේ කියන්න උත්සාහ කරල තියෙන්නෙ කියල. නමුත් මම එයට එකඟ නෑ. එකඟ නැත්තෙ “ආදරය” කියන වචනයට. ඒ නිසා ආදරය කියන වචනය ඉවත්කර ඒ වෙනුවට මේ ත්‍රිමූර්තීන් අරඹයා ඔහුගේ හැඟීම් ක්‍රියාකලේ කුමනාකාරයෙන්ද යන්න විවරණය කිරීමට ගත් සාර්ථක උත්සහයක් ලෙස මෙය හැදින්වීම වඩාත් නිවැරැදියි. මොකද ඔහුට දැනුන හැඟීම් සමුදාය අතර ආදරය කියන්නෙ එකම එක හැඟීමක් විතරයි..
මුලින්ම කියන්න ඕනි මේ කතාව තුල මරියානා ආගාධය වගේ ගැඹුරක් නෑ. හිමාලය හරහා අනන්තය දක්වා පැතිරෙන කතාවකුත් මෙහි නෑ. නමුත් පාඨකයාව රසවත් කරන්න , ඔහුට සාධාරණයක් කරන්න මේ පොත සමත්වෙලා තියෙනවා. ඒ වගෙම සාහිත්‍යමය භාවිතාවන් අතින් මෙම නවකතාව පොහොසත්..
රශ්මික පොත ලියල තියෙන්නෙ සරල වර්තමාන භාෂාවෙන්. පාඨකයාට පොත කියවීම අධෛර්‍යමත් කරන , නීරස කරන , ගැඹුරු සංකීර්ණ වාග් හරඹයන් මෙම කෘතිය තුල නෑ. කතුවරයා භාවිතා කල භාෂාව ඉක්මන් කියවීමකට රුකුල් දෙන්නක්..
මෙහි ප්‍රධාන චරිතය තරුණයෙක්. ඔහු නිරෝෂන්. ඔහුගේ පාසල් අවධියේ සිට අනාගතය දක්වා දිවෙන කතාවක් තමයි මෙහි අන්තර්ගත වෙන්නෙ. කතාව කියන්නෙ ඔහු. පළමු පරිච්ඡේදය ඔහුගේ වර්තමානය. දෙවෙනි පරිච්ඡේදයේ ඔහුගේ අතීත ස්මරණයන් ලෙසින් කතාවට පිවිසෙන්නෙ.. දෙවන කොටස තුලදී ප්‍රධාන චරිතයේ සියළු ආකාර සංවේදනාවන් ප්‍රකාශයට පත්කරල තියනවා කීවොත් නිවැරැදියි.. තෙවන කොටස හෙවත් අවසාන කොටස පාඨකයා වෙත ගෙනඑන්නෙ කතුවරයා රශ්මිකමයි. දෙවන කොටස තුල ප්‍රධාන චරිතය හා ආශ්‍රීත සිදුවීම්හි ඌනතා , මගහැරුණු තැන් සම්පූර්ණ කිරීමක් තමයි තෙවන භාගයේදී වෙන්නෙ..
ප්‍රධාන චරිතය වඩාත් ඉහලින් ගොඩනැගීම පොතේ තවත් එක් සාර්ථකත්වයක් ලෙස මම දකිනවා. නිරෝෂන් කියන්නෙ පෞරුෂයෙන් හෙබි චරිතයක්. ප්‍රධාන චරිතය විනිශ්චය කරන්නෙ මෙහි ත්‍රිමූර්ති වන කාන්තා චරිත තුන හරහා වුවත් , ඒ ත්‍රිමූර්තින්ට ප්‍රධාන චරිතය අභිබවන්න ඉඩ දීල නෑ. හැබැයි කතුවරයා මේ කාන්තා චරිත තුනත් සෑහෙන පුළුල් පරාසයක් තුල ගොඩනගල තියෙනවා. ප්‍රධාන චරිතය කතානායකයා වීම තුලම එම චරිතය වඩාත් ඉහලින් ප්‍රශස්ත ලෙස නැගීමට ඉවහල් වෙලා තියෙනවා. ඒ අනුව මණ්ඩගේ චරිත ගොඩනැගීම සාර්ථකයි කියල කියන්න පුළුවන්..
මෙහි ඇති සිදුවීම් බොහොමයක් අපේ ජීවිතවලට සමීප ඒවා. ආගන්තුක ඒවා නෙවෙයි. අපිට සමීප සිදුවීම් තුල පොත කියවන පාඨකයාට එය තමන්ගේම අත්දැකීම් ලෙස දැනෙනවා. ඒ සිදුවීම් හරහා අපි අපිවම දකිනවා. අතීතය මතක් වෙනවා. ඒ සාමාන්‍ය සිදුවීම් අතරේ මිනිසෙකුගේ ජීවිතය කණපිට පෙරලන්න පුළුවන් , හැරවුම් ලක්ෂ්‍යයක් වන සිදුවීම් කිහිපයකුත් මෙහි තිබෙනවා. චත්‍රිකා හා සම්බන්ධිත සිදුවීම් පෙළ ගත්තාම යම් අභව්‍ය ගතියක් , අතාත්විකබවක් වගේ දැනෙනවා. නමුත් මෙය ප්‍රබන්ධයක්. ප්‍රබන්ධයක් තුල එවැනි සිදුවීම් අන්තර්ගත විමේ හැකියාවක් තියෙනවා. අනිත් කාරණය මේ ආකාර සිදුවීම් ඇතුලත් කතාවන් ඕනතරම් තියෙනවා. ඒ වගෙම තමයි හොල්මන් වගේ හිත මත ගොඩනැගෙන අද්භූත සිදුවීම් අපේ සමාජයේ බහුලයි. ඒ හින්දා එය පොදුජන විඥානයේම කොටසක් බවට පත්වෙලා. ඒ නිසා චත්‍රිකා සම්බන්ධ සිදුවීම් ගලායන කතාවට බාධකයක් වෙලා නෑ. හානියක් කරල නෑ.. මම විශ්වාස කරනවා ඒ තුල පාඨකයා කතාව තුල බැද තබාගන්නා අද්භූතත්වයක් , කුතුහලයක් ගොඩනැගුනා කියලා..
විශේෂයෙන්ම කියන්න ඕනි චත්‍රිකා කියන චරිතය ගොඩ නඟන්න රශ්මික තෝරාගෙන ඇත්තේ ඊටම ගැලපෙන පරිසර පද්ධතියක්. පෞද්ගලිකව එම පරිසර කලාපයේ අත්දැකීම් ඇති අයෙක් ලෙස එය අනුමත කරන ගමන්ම මන්දාරම් නුවර වගේ ස්ථානයක් ගත්තානම් එහි සාර්ථකත්වය තවත් වැඩිවෙන්න තිබ්බ කියල කියන්න ඕනි..
පුද්ගල මනෝභාවයන් ගෙනහැර දැක්වීම ගැන කිව්වොත් එය ඉතාමත් සාර්ථක බවයි මගෙ අදහස. කාන්තාවන් තුනක් විෂයෙහි ඇතිවුන හැඟීම් සමුදාය ප්‍රකාශයට පත්කිරීම අභියෝගයක්. හැබැයි රශ්මික එකිනෙකට වෙනස් ඒ හැඟීම් පරිස්සමෙන් වෙන් කරල එලියට අරන් තියෙනවා. අනිත් කාරණය තමයි ඒ සිතුවිලිවල පැවැත්ම. ආදරය කියල සම්මා සම්බුද්ධ හැඟීම් මවලා නෑ. එහෙම ඒවා ඇත්තටම නෑ. එහෙම හැඟීම් සර්ව පිත්තලයි. තියෙනවා නම් තියෙන්නෙ පොත්වල අකුරු අතර විතරයි. මෙහි එලිදක්වා ඇති සියළු හැඟීම් ඔබට මට ඇත්තටම දැනෙන ඒවා. නිර්ව්‍යාජ හැඟීම් ඉස්මතු කිරීමක් තමයි රශ්මික කරල තියෙන්නෙ. ඒ තුල පාඨකයා චරිත වෙත ලංවෙලා තියෙනවා. එයයි මෙහි සාර්ථකත්වය..
ත්‍රිමූර්තීන් වූ කාන්තාවන් විෂයෙහි පමණක් නෙවෙයි ප්‍රධාන චරිතයේ මව , පියා , නැන්දා , යහළුවන් විෂයෙහි පවා ඔහුගේ මනෝභාවයන් ගෙනහැර දක්වා තිබෙනවා..
හැබැයි සිතුවිලි විවරණය කිරිමේ යම් අඩුවක් මම දකිනවා , ඒ තමයි මේ ප්‍රධාන චරිතයේත් අනෙකුත් චරිතවලත් අවස්ථාවෝචිත සිතුවිලි ප්‍රකාශයට පත්වෙන්නෙ ප්‍රධාන චරිතය හරහා.. එසේ නොවී තණ්හා , රතී , රඟාගේ සිතුවිලි ඔවුන්ගේම සිතුවිලි ලෙසින් දැනගන්නට ලැබුනනම් මෙය ලස්සන වෙනවා. එහෙනම් සිතුවිලි තුලනයක් වෙනවා..
මෙහි කතුවරයා , ප්‍රධාන චරිතය , ඔහුගේ පාසල් යහළුවන් පුරුෂ පාර්ශ්වයේ. එසේම නිරෝෂන් කියන චරිතය කේන්ද්‍රගත වෙලයි කතාව ගොඩ නැගෙන්නෙ. ඒ තුල මෙම නවකතාව පුරුෂවාදී දෘෂ්ටියකින් දකින අන්තයක් වෙත ස්ථානගත වීමේ හැකියාවක් තිබුනා. ඒ වගෙම තමයි තණ්හා , රතී , රගා ත්‍රිමූර්තින් , කතානායකයාගේ මව , සුරලි හා චත්‍රිකා යන කාන්තා චරිතයන් නිසා ස්ත්‍රීදෘෂ්ටිවාදයක් කරා කතාව ගොනුවෙන්නත් ඉඩක් තිබුනා. නමුත් කිසිදු අවස්ථාවක ස්ත්‍රී හෝ පුරුෂ දෘෂ්ටියක් කරාගෙන නොගොස් මධ්‍යස්ථව කතාව ගොඩනඟන්න රශ්මික සමත්වෙලා තියෙනවා..
මෙහි පිට කවරය ගැන නොකිව්වොත් එය මේ සටහනට අඩුවක්. මෙහි තියෙන්නෙ පොත කියවන්න පෙළඹවීමක් ඇති කරන කවරයක්. ඒ විතරක් නෙවෙයි පිටකවරයෙන් අන්තර්ගතය ප්‍රකාශයට පත් කරනවා.. ළා කොළ පැහැති පසුබිමේ පහල සිට ඉහළට නැගුණු සර්පිලාකාර පඩිපෙළක් තමයි තියෙන්නෙ කියල මම විශ්වාස කරනවා. පඩිපේළියේ යටම මලක් සහිතව නිරුවත් කාන්තා දෙපා නිරූපණය වෙනවා. මම නිවැරැදි නම් මේ තණ්හා. ඊළඟට පඩිපේළියේ ටිකක් ඉහල ස්ථරයක ඒ වගෙම නිරුවත් කාන්තා පා යුගලක්. ඒ රතී විය යුතුයි. ඉහලම ස්ථරයේ තවත් කාන්තා පා යුගලක්. මා නිවැරැදි නම් රගා. ස්ථරවලින් පෙන්වල තියෙන්නෙ කාලය , එහෙම නැත්නම් අවධිය..
මුල් කොටස් කිහිපයක අකුරුවල මුද්‍රණ දෝෂ කිහිපයක් තිබුනා. ඒත් ඉස්පිලි , පාපිලි අඩුවීමක් වගෙ සුළු මුද්‍රණ දෝෂයන්.. වෙනත් දෝෂයන් නැති බව කිව යුතුයි.
මගේ කියවීමට අනුව සරලව ලියැවුණු සාර්ථක පොතක්.
චතුරංග අමරතුංග
2023.10. 16