ආදරය කියන්නෙ නිර්වචනය කරන්න පුළුවන් හැඟීමක් නෙමේ. ඒවගේම ආදරය තාර්කික රාමුවකට කොටු කරන්නත් බැහැ.ආදරය ඇත්තටම අබිරහසක්. ඒ කියන්නෙ යම් විදිහක නොපවතින පැවැත්මක්. ආදරයෙ චමත්කාරය තියෙන්නෙ ඒක අබිරහසක් නැත්නම් නොපවතින පැවැත්මක් හැටියට තියෙන කොට විතරයි. ආදරය රාමුගත කරන්න , ආදරයට අර්ථකථන දෙන්න යන පළමු මොහොතෙදිම ආදරය අහෝසි වෙලා යනවා. රශ්මික මණ්ඩාවලගෙ ත්‍රිමූර්ති ආදරයේ මේ ස්වභාව අතර සැරිසරන්න පාඨකයාට අවකාශය සලස්වන නවකතාවක්.
ත්‍රිමූර්තියෙ මේ නොපවතින පැවැත්ම නියෝජනය කරන්නෙ චත්‍රිකා. අතීතය ද වර්තමානය ද අනාගතය ද ඇයයි. නිශ්චිතභාවය වගේම අනිශ්චිතභාවයද ඇයයි. ඇය සැරිසරන්නෙ ස්පර්ශ කරන්න බැරි අවකාශයක. චත්‍රිකා තමයි ආදරයෙ අස්පර්ශනීය සාරය. ආදරය සජීවී වෙන්න නම් ඒක තණ්හා, රතී, රඟා කියන අඩවි තුනේම කරක් ගහන්න ඕනෙ කියන හැඟීම නොස්ටැල්ජික රහක කලවම් කරලා පාඨකයාට දෙන්න රශ්මික උත්සාහ කරනවා.
කොහොම වුණත් , රඟා කොටසට එන කොට රශ්මිකට මොකක්දෝ දඩිබිඩි ගායක් හැදෙනවා වගේ පේනවා. ආදරය කියන අබිරහස නැත්නම් නොපවතින පැවැත්ම විසඳන්න කලබලයක් ඇති වෙනවා. අබිරහස රහසකට ලඝු කරන්න හදනවා. මේක ප්‍රබන්ධකරුවා විසින් ප්‍රබන්ධය මෙහෙයවන්න ගත්ත අවිඥානික වෑයමක්ද කියන සැකය මතු වෙනවා. ඒවගේම ත්‍රිමූර්ති තුළ ප්‍රබන්ධමය උපක්‍රම ඕනවට වැඩිද කියලත් වෙලාවකට හිතෙනවා. මේ උපක්‍රමවල යම් තේරීමක් කළා නම් හොඳයි වගේ දෙයක්.
කුතුහලය දනවන වසඟකාරී භාෂාවක් නවකතාවෙ මුල ඉඳලා අගටම නඩත්තු කරන්න රශ්මික සමත් වෙනවා. ඒත් මේ භාෂාමය වසඟය ඇතුලෙ පාඨකයාට තේමාත්මකය මගහැරීමෙ අවදානමකුත් තියෙනවා. මං හිතෙන්නෙ ලෝක සාහිත්‍යයේ විශිෂ්ට පාඨකයෙක් වන රශ්මිකට ඉදිරියෙදි මේ සීමා, අවදානම් වගේම අභියෝග ජය ගන්න අමාරු වෙන එකක් නැහැ.