මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලින් විපතට පත් ජනතාවට දිගටම තර්ජන : පොලිසිය පක්ෂපාතී බවට චෝදනා : ගෙවීම් අවසන් කරන්න එපා – අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝගයක් !

Share post:

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් විපතට පත් ජනතාවට විධිමත් ලෙස වන්දි නොගෙවීම සහ ඊට අදාළ ව මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු වගකිවයුතු ආයතන මැදිහත් නොවීම සම්බන්ධයෙන් සති 2ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙසත්, එම කටයුතු අවසන් වන තුරු එම ඉදිකිරීම් කළ පුද්ගලික සමාගමට සිදු කළ යුතු ගෙවීම් අවසන් නොකරන ලෙසත් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.ඒ. මායාදුන්න අද (16) මාර්ග සංවර්ධන අධිකාරියට නියෝග කළේය.

කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මදටියවෙල සිට මුත්තෙට්ටුගල දක්වා කොටසේ මෙසේ විපතට පත් විශාල පිරිසකට මෙතෙක් වන්දි ගෙවීම් අවසන් කර නැත. මේ සම්බන්ධයෙන් විපතට පත් අයෙකු මෙන්ම විපතට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කරන සංජීව කුලතිලක ඇතුළු පිරිසක් සහ අමාත්‍යංශ ලේකම්වරයා අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ලේකම්වරයා අදාළ බලධාරීන්ට මෙම නියෝගය කරන ලදි.

මදටියවෙල සිට මුත්තෙට්ටුගල දක්වා වන මධ්‍යම අධිවේගී මාර්ග කොටස කිලෝමීටර් 8.5ක දුරකින් යුක්ත ය. මෙම කොටසේ ඉදිකිරීම් කරන ලද්දේ මාගා ඉංජිනියරින් නම් පෞද්ගලික ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමයි. මෙම දුර අතර පමණක් පිහිටි නිවාස 400කට අධික ප්‍රමාණයකට අධිවේගී මාර්ග ඉදිකිරීම් හේතුවෙන් හානි සිදු වී තිබේ. ඒ අතරින් නිවාස 200ක පදිංචිකරුවන්ට යම් වන්දි මුදලක් ගෙවා ඇති අතර, නිවාස 150ක පදිංචිකරුවන්ට වන්දි ලබාදී නැත.

මේ සම්බන්ධයෙන් විරෝධය පළකළ විපතට පත් ජනතාවට තර්ජනය කිරීමට ද වගකිවයුතු පාර්ශ්ව කටයුතු කර තිබිණි. මේ පිළිබඳව කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානයට විපතට පත් ජනතාව විසින් කරන ලද පැමිණිලි නිසි පරිදි විමර්ශන නොකළ බවට ද එම ජනතාව චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් එම ජනතාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කර තිබේ. ඊට අදාළ විමර්ශන මේ වනවිට ක්‍රියාත්මක ය.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට අදාළ පරිසර තක්සේරු වාර්තාවේ පැහැදිලිව සඳහන් වන්නේ එම අවදානම් කලාපයේ සිටින පදිංචිකරුවන් නැවත පදිංචි කළ යුතු බවත්, පීඩාවට පත්වන පාර්ශ්වවලට වන්දි ලබාදීම ඉදිකිරීම් සමාගම මගින් කළ යුතු බවත් ය.

(මෙම ප්‍රදේශයේ කරන ලද සංචාරයකින් පසු සකස් කරන ලද සියලු සාක්ෂි සහිත දීර්ඝ ලිපියක් www.thetime.lk ඔස්සේ ඉදිරියේදී පළ වේ.)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...