ලෝකයේ කවර රටක සාහිත්‍ය වුව දැන් අපට දුර නැත – තවමත් අපට නාගදීපය තරම් උතුරේ හදවත් සමීප නැත

Share post:

‘රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන’ – දීප චෙල්වන් – පරිවර්තනය – අනූෂා සිවලිංගම්

ලෝකයේ කවර රටක සාහිත්‍ය වුව දැන් අපට දුර නැත. පලවෙන ඇසිල්ලෙන් ඒවා සිංහල බසට පෙරලන තරමටම අපේ පරිවර්තන කටයුතු වේගයෙන් සිදුවෙයි. අපට තවදුරටත් ඉන්දියාව දුර නැත. එංගලන්තය, ඇමරිකාව, අප්‍රිකාව, යන මේ කවර කලාපයක් වුව අතේ දුරින් මෙනි. අපි මාර්කේස් හඳුනමු. යෝසා හඳුනමු. මුරකමි, කැල්විනෝ, අරවින්ද් අදීගා ආදී බොහෝ දෙනා හඳුනමු. එහෙත් තවමත් අපට උතුර ඉතා දුරය. වටහා ගැනීමට අසීරුය. එය තවමත් අප බොහෝ දෙනකුට අඳුරු කලාපයකි. සැක සහිත බිම් කඩකි. එහි වෙසෙන්නෝ අවිශ්වාස කටයුතුය. කොයි මොහොත හෝ කුමක් වේදැයි කිව නොහැකි තරම්ය යන්න තවමත් පොදු කල්පනාවය. සාහිත්යය පාලම ලොව කොතැන යා කරමින් සැදුනද තවමත් එය සවිමත්ව උතුර සම්බන්ධ කරමින් ඉදිකෙරී නැත. නමුදු භාෂා දෙකෙහිම ප්‍රවීණත්වය ඇති කිහිප දෙනකු උපරිම වේගයෙන් වැඩ කරති. එහෙත් තවමත් අපට නාගදීපය තරම් උතුරේ හදවත් සමීප නැත. අනෙක් අතින් එහි තත්වයද මීට නොදෙවනිය.

මේ සංස්කෘතික පාලම සෑදීම යනු දේශපාලන මැදිහත්වීමකි. අත්‍යවශ්‍ය මැදිහත් වීමකි. ඉතා සුළු ඕපාදූපයකින් වුව ගිනි පුපුරු ඇවිලෙන්නට ඉඩ ඇති බිම් කඩක සංස්කෘතික කලාපයෙහි කරන්නට ඇති වැඩ බොහෝය. අනූෂා සිවලිංගම් සහෝදරිය දීප චෙල්වන්ගේ කවි එකතුවක් සිංහලට පරිවර්තනය කරමින් උර දෙන්නෙ ඒ වගකීමටය. එහෙයින් එය කෙසේවත් නොතකා නොහැරිය යුතුය.

අපට ඇය ගෙන එන්නේ අපේ සහෝදර ජනයාගේ හඩයි, ඔවුන්ගේ වේදනාවේ, සංතාපයේ, වියෝවේ, අහිමිවීමේ , විඳවීමේ පමණක් නොව ඔවුන්ගේ කෝපයේ, විවේචනයේ, විරෝධයේද හඬයි. අප පැකිලීමකින් තොරව ඒ හඬෙහි විවිධ පරාසයන්ට කන්දීමට සූදානම් විය යුතුව තිබේ. මනුෂ්‍යත්වය අහිමි කරන ලද බිම් කඩක යළි මිනිස් ඇසුර ගොඩනැගීමෙහිලා පළමු කොන්දේසිය වනුයේ ඉවසිලිවන්තව කන්දීමට වන සූදානමයි. අනෙකාගේ තැනට බැස ඔහු තේරුම් ගැනීමට දරනු ලබනා අවංක උත්සාහයයි. අප ඒ සඳහා සූදානම් නැතිනම් අපේ හෙට ඊයේටත් වඩා අඳුරු වනු නියතය.

දීප චෙල්වන්ගේ කවි යනු යුද්ධයෙන් ආතුරව ගිය බිමක ජීවිතය ක්ෂයව යනු දෙනෙත් ඉදිරිපිට දකින්නට ලැබුණ, එසේම ජීවිතය උදෙසා අරගල කළ තම සහෝදර ජනයාගේ පරිත්‍යාගී ගුණයන් දුටු යෞවනයකුගේ සිතුවිළි දහරාවන් ය. ඒවා ඉතා බලවත් බව නිසැකය. විටෙක ඒ හැඟුම්බරය. තවත් විටෙක එහි ඇත්තේ විරෝධයයි. එසේම එහි යටත්වීම වෙනුවට නැගී සිටින්නට වන අනුරාගික වුවමනාවද ගැබ්ව තිබෙයි. සියල්ල අතර එහි ඇති කාව්‍යාත්මක සංවේදීබව විශාලය.

ඔහු ඉතා තියුණු ලෙස තමන් ගෙවූ යුගයේ බිහිසුණුබව මෙන්ම එහි ඇති දුෂ්කරතාවයන්ද සිත්තම් කරයි. එහිලා ඔහු භාවිතා කරනා යෙදුම් නැවුම් බවක් දනවන්නේ ඉන් අපේකෂිත අරුත් මනාව ඉස්මතු කරමිනි.

රන් මිලට ගත් පෑන
නිතර නිතර
බිම පතිත වෙයි
අකුරු කුඩාවී උතුරයි
වෙව්ලනා ඇඟිලි තුඩු
අවපැහැ ගනියි

රන් මිලට ගත් පෑන- මෙය නිසි ලෙස වටහා ගන්නට නම් යුද්ධය විසින් සියළු අවශ්යුතා හකුලා ගන්නට බල කර, අවමයෙන් ජීවත් වන්නට නියම කරන ලද ජනතාවකගේ ජීවිතය අප නිසි ලෙස දැකිය යුතුය. ඒ ජනයාට සබන් කැටය මිණි කැටයකි. ඉන්ධන යනු රුහිරු හා සමානය. ඖෂධ කස්තුරි මෙනි. ඒ කිසිත් නොකියා කවියා අපට රන් මිලට ගත් පෑනක් ගැන කියයි. මේ ඔවුන් වෙලාගෙන තිබූ ඉරණමයි.

අදින් අවසන් වන
කුඩා ඉටිපන්දමේ
අන්තිම දැල්ල මත
සුදුවෑන් රථයක්
සැඟව තිබෙයි….

දකුණ සැමවිටම උතුරෙන් අපේක්ෂා කළ දමිළයෙකු සිටියි. ඒ අවනත, තම වරද පිලිගන්නා, තම සුළුතර ජාතිකත්වය යටහත් ලෙස ඉවසන එකෙකි. දකුණ ඔහුට පිහිටවීමට සූදානම්ය. එහෙත් ඔහු තමන්ද මේ රටේ පුරවැසියකු බව හඬගා කියන්නට සැරසෙන්නේ නම් එය නොහික්මුණුකමකි. එවිට ඔහු නිසි තැන තැබිය යුතුය. දීප චෙල්වන්ගේ කවි තුළ ඒ යටත් වැසියා සොයන්නාට සිදුවනුයේ අපේක්ෂා භංගත්වයට මුහුණ දීමටයත මන්ද යත් දීප චෙල්වන් අපට ගෙන එනුයේ අනන්ත පීඩාවන් මැද හිස නගන්නට වෙර දරන ජීවී කොට්ටාශයක පුවතක් බැවිනි. ඔහු මෙහිලා බෙහෙවින් දැනුවත්ය. තම වර්ගයාගේ පුවත ගෙන ඒමේදී ඔහු එවක සිටි යෞවන අවධිය ඉක්මවා බුහුටි ලෙස යුදවන් පරිසරයක ජීවිතය ක්ෂයව යන ආකාරය දකියි. විටෙක ඔහු ඒ ඉදිරිපත් කිරීමට ගනුයේ ආගමික සංකල්පයන්ය.

දරුවන්ගේ බත් පතෙහි
පිරී තිබුණේ මරණය
සාතන්ගේ මුහුණ ගෙන
අහස
මිය නොවන සාපයක
හෙවණැල්ල දැවටිණ
මිනිසා පලමු ගල
ඔසවපු දා පටන්
එය වැටුණේම
තවෙකකු මතය

ඵල කඩා කෑ දවසේ පටන්
මිනිසාට
අත් දහසකි
පා දහසකි
හිස් දහසකි

දීප විසින් රචිත බංකරයක ඉපදුණු දරුවෙකු නම් කවිය යුදවන් ලෝකයක පොදු කතාව මනාව ගෙනහැර පාන්නකි. ගාසා තීරයෙහි මිසයිල් වැසි වසිනා මොහොතක, යුද්ධයෙන් බැට කන දරුවන්ගේ මුහුණු මාධ්‍ය විසින් පල කෙරෙමින් පවත්නා මොහොතක දීප ගේ කවිය අපට අප විසින් අමතක කර දැමූ යුද්ධයක කුරිරු බව සිහිපත් කරන්නට සමත් වෙයි.

ඉපදුණි නම් මගේ දරුවා
ඇමරිකාවේ මන්දිරයක
එසේ නම්
කුමක් සිතනු ඇත්ද?

දරුවන් වෙනුවෙන්
කුඩා මිනී පෙට්ටි
පිරී තිබෙන
මොකුත්ම නැති
අපේ නගරයේ
ඉපදුණි මගේ දරුවා
දරුවන්ගේ සිඟිත් සිනා
වළ දමා පොලෝ ගැඹුරේ
අපි තැලී ගිය අනාගතයකට
වාඩිලාගෙන සිටිමු

බංකර ඇතුලේ
ඉස්කෝල අහිමිව
මධුර නාදය
මිය ගිය
දරුවන්ගේ ගීතය
අළුව විසිරුණි

යුද්ධය සමයේ දකුණෙහි දැඩි විවේචනයට ලක් කරන ලද චරිතයක් වූවේ එවක මන්නාරමේ රදගුරු පදවිය හෙබවූ රායප්පු ජෝශප් හිමිපානන් ය. යුද්ධය දරුණු ලෙස ඇවිල යද්දී උන්වහන්සේ මඩු මාතා ප්‍රතිමාවද රැගෙන සිය දායකයන් හා ගිය ගමන බොහෝ පාර්ශවයන්ට ඉවසිය නොහැක්කක් විණි. එහෙත් උන්වහන්සේ කියූවෝ තමන් සිටිනුයේ පිහිට ඇවැසි තම දායකයන් සමග බවයි. මේ සිදුවීම් පෙල සිහි ගන්වන කවක්ද දීප ගේ කවි අතර අපට හමුවෙයි. ඔහු එය නම් කරනුයේ මාතා පිටවීම ප්‍රතික්ෂේප කළාය යනුවෙනි.

මිනිසුන්ට
මාතාවත්
ජේසු බිළිඳාවත්
අඬගසාගෙන යා යුතුව තිබුණා

මිනිසුන් සමග සිටි
මාතාටත් බිළිඳාටත් එරෙහිව
රජය යුද වැදුණි
බයිබල් ජපමාලාවලින්
බංකර පිරුණි

මේ දීප තමන්ට හැරදමා පිටමං වන්නට බල කෙරුණ තම භූමසිය සිත්තම් කරන ආකාරයයි.

ධාන්‍ය පිරුණ නිවෙස්ය
නිවෙස් පිරුණු ගම්ය
ඒත් අත් හැර
අපි පිටත් වීමු

සිය ලෝකය එහෙමපිටින්ම බිඳ වැටී ඇති බවත්,අපේක්ෂා භංගත්වය තම හිස් මත බලෙන්ම පටවා ඇති බවත් ඔහු අපට කියයි.

අහස මත ඉතිරිව ඇත්තේ
කැබිලිති සඳක් පමණි
විසල් රුක් අතර
කැලෑවට ඇඳපු පාරවල් දිගේ
කොහේටද අපි මේ යන්නේ?

දීප ගේ කවි අපට මගහැරුණු එසේම අප සිතාමතාම මගහැරි අපේම සහෝදර ජනතාවගේ බිඳ දමන ලද ජීවන රිද්මය ගෙන එයි. එය වේදනාබර චාරිකාවකි. ඉවසිල්ලෙන් කියවිය යුත්තකි. අප තුළ වන සියළු අගතීන් පසෙක ලා විවෘත මනසින් කියවිය යුත්තකි. මිනිසාගේ පැවැත්ම සුළුතරයකගේ පැවැත්ම වෙනුවෙන් බිලිදිය යුතු යයි ගෝලීය පරිමාණයෙන්ම අපට නියෝග කරන වර්තමානයක දීප ගේ කවිය ඒ වර්තමානට තේරුම් ගැනීමට අපේම කවුළුව හැර දමයි. මේ කව් පරිවර්තනයේ ලා අනූ විසින් දක්වා ඇති දක්ෂතාව අගේ කළ යුතුය. ඇය පසුගිය කාලය පුරාම තම වර්ගයාගේ සාහිත්යමය දකුණට ගෙන ඒමට කළේ ඉතා වටනා සේවයකි. භාෂා දැනුම සංස්කෘතික පාලමක් තැනීමේලා අත්ය වශ්යු එමෙන්ම හිඟ සම්පතක්ව පවතින අවස්ථාවක ඇය කරනා මැදිහත්වීම බෙහෙවින් අගී.

දීප ගේ කවි අතර එන අම්මාගේ නිවාස සැලැස්ම යනු අපූර්ව කවියකි. එය යුදයට නතු කරන ලද මිනිසුන්ගේ නොසිඳෙන අපේක්ෂාවන් කදිමට ගෙනහැර පාන්නකි. ගෙවෙන සෑම මොහොතක්ම අලු දූවිලි වලින් වැසී යන, මරණය සමීපතම සගයා වන පසුබිමක වුව මිනිසුන් සතු ශක්තිය එහි මනාව කැටිව තිබෙයි. ඔහු සිය කවියෙන් කියනුයේ අපේක්ෂා භංගත්වය යාවජීව සගයා වුවදච ඒ නොතකා ජීවිතය දෙස බලනා මිනිසුන්ගේ දිරිය ගැනය.

අටවපු බංකරයක හිඳ
අලුත් නිවසක් ගැන
සැලසුමක්
අම්මාත් මමත්
අඳිමින් සිටියෙමු

ඔහු ඒ නිවසට ඇවැසි අංග විස්තර කරයි.

පළමුව නිවසක්
ළිඳක්
වැසිකිලියක්
මෙපමණ දෑ ඇවැසිය
අපේ සැලැස්මට

එහෙත් ඒ සැලැස්මට බාධා එමටය. විටින් විට එය කඩා බිඳ දැමෙයි.

අතුරුදහන් වුවද
තාත්තගෙ කැඩපතින්
අම්මාගෙ රතු තිලකය
ඔපවත් වෙයි…

අම්මාගේ ධෛර්යය මේ කවියෙහි නිරූපණය වන්නේ බෙහෙවින් හද පාරන ආකාරයකටය.

අතක් අහිමි
අම්මා
අපවද තුරුළු කරගෙන
තනි අතින්
නිවසේ සැලැස්ම අඳියි….

සොහොන් බිම නිදන
අයියා සමගද
අම්මා
මේ සැලැස්ම ඇඳ තිබුණි…..

ඔහු සිය කවියෙන් යුද්ධ පසුබිමක තම ජීවිත තූ තූ ව යන ආකාරය අපට ගෙනහැර පායි. එය නිමක් නැති පීඩාවකි. නිමක් නැති අහිමි කිරීම් වැලකි. ලෙයින් කඳුළින් ලියවුණකි. එහි ගෙවෙන සෑම මිනිත්තුවක්ම අවිනිශ්චිත භාවයෙනි පිරී තිබේ. එහෙත් ඔවුහු මිනිස්සු ය. හිස බිමට බර කරගන්නට බල කරනා මොහොතේ වුව ඉදිරිය බලන්නට සිතනා මිනිස්සු ය.

එසේ වුව
හැම මසක් අවසන
මමත් අම්මාත්
අලුත් නිවාස සැලසුම
අලුතින් අඳින්නෙමු

දීප අප හට ගෙනෙන කවිය යනු ඒ නයින් පාරේ නාගදීපය වඳින්නට යන බැතිමතුන් නොදකින ලෝකයක් විවරණය කරන්නකි. අපේ වන්දනාව සැබෑ වන්දනාවක් වනුයේ අපට ඒ නයින් පාරේ කාපට් ඇතිරිල්ල යට ඇති බිඳී ගිය ලෝකය දකින්නට හැකි වූ දවසට බව ඔහුගේ කවිය අපට සිහිපත් කරයි. එය සිහි කැඳවීමක් බව කෙනෙකුට දැනී යා හැකිය. තව කෙනකුට එය තෙනිත්තිල්ලක් ලෙසද දැනී යා හැකිය. තවත් අයෙකුට එය මුරණ්ඩුවෙකුගේ තර්ජනයක්ද විය හැකිය. එහෙත් ඒ වනාහී අපේම සහෝදර ජනයාගේ හඩ බව අප අමතක නොකල යුතුය. අපට මනුෂ්ය ත්වය සහතික කළ හැක්කේ ඒ හඬට ඉඩ දීමෙනි. අප ඔවුන් වැළඳගත යුත්තේ සමබිමක සිට මිස අපේ වේදිකාව ඉදිරිපිට බිම ඔවුන්ට ඉන්නට සලස්වා නොවේ.

චූලානන්ද සමරනායක

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...