ඊශ්‍රායෙල් ජනාධිපති ඉසාක් හර්සොග් මීට මොහොතකට පෙර ප්‍රකාශයක් කරමින් හමාස් ත්‍රස්තවාදයෙන් ඊශ්‍රායලය ඇතුළු ජාතීන් 36ක් පීඩාවට පත් වී ඇති බව තහවුරු කළා. ඔහු ඒ සියළුම රටවල්වල නම් එකින් එකට සදහන් කළා. ඊට ශ්‍රී ලංකාවත් ඇතුළත්.
ඊට අමතරව හමාස් ත්‍රස්තවාදීන් විසින් පැහැර ගෙන ගිය කුඩා දරුවන්ගේ ඡායාරූප ඔහු මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කළා. හමාස් ප්‍රහාරවලින් දැනට ඊශ්‍රායලය තුළ 1300ක් මියගොස් ඇති අතර 150ක් පමණ ප්‍රාණ ඇපයට පත් වී තිබෙනවා. ප්‍රාණ ඇපකරුවන් අතර ඊශ්‍රායල් හමුදාවේ ඉහල පෙලේ නායකයෙකුත් ඇතැයි සඳහන්.
මේ වන විට ගාසා තීරයට දිගින් දිගටම ඊශ්‍රායල රොකට් ප්‍රහාර එල්ල වෙනවා. ඊශ්‍රායල හමුදාව සඳහන් කරන්නේ හමාස් ඉලක්කවලට මෙම ප්‍රහාර එල්ල කරන බවයි. පලස්තීන බලධාරීන් ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීනුවන් 1100කට වඩා මියගොස් ඇති බව දැනට තහවුරු වී ඇති බවයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ අවස්ථාවේ ඊශ්‍රායලය වෙත තම සහයෝගය පළ කර තිබෙනවා. මේ වන විට ඇමෙරිකානු යුද නැව් කිහිපයක්ම ඊශ්‍රායලය අසළ මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කර තිබෙනවා.
ගාසා තීරයෙන් හැකි ඉක්මනින් ඉවත්ව යන ලෙස ඊශ්‍රායල ආරක්ෂක ඇමතිවරයා පලස්තීන ජනතාවට දැනුම් දී තිබෙනවා. ගාසා තීරය වටලන බව ඔහු ප්‍රකාශ කළා. ”අපි සටන් කරන්නේ මිනිස් වෙසින් සිටින සතුන් කොටසක් සමගයි” ඔහු හමාස් සංවිධානය ගැන සඳහන් කළේ එහෙමයි.
කෙසේ නමුත් ගාසා වැසියන්ට ඉන් පිටවවනවානම් යෑමට තිබෙන්නේ ඊජිප්ත්තුව පමණයි. තවමත් ඊජිප්ත්තුව තමන්ගේ දේශසීමාව වසා දමා තිබෙනවා. ඊජිප්ත්තුව තවත් ගාසා තීරයක් වනවාට ඔවුන් අකමැතියි. මිලියන දෙකක සරණාගතයන් භාරගැනීමට ඊජිප්තුව සූදානම් නැහැ. එසේම හමාස් සටන්කරුවන් පැමිණ තමන්ගේ රටත් අස්ථාවර කරාවියැයි ඊජිප්ත්තුව සැකයෙන් පසුවෙනවා.
ගාසා තීරයේ පාලන බලය හමාස් සංවිධානය සතු වුවත් එහි ගුවන් හා මුහුදු කලාප මුළුමනින්ම ඊශ්‍රායල හමුදාවේ පාලනයට යටත්. මේ වන විට ගාසා තීරයට ආහාර, බෙහෙත්, ඉන්ධන හා විදුලිය සැපයීම ඊශ්‍රායලය විසින් අත්හිටුවා තිබෙනවා. ගාසා තීරය ඉදිරියේදී එළිමහන් හිර කඳවුරක් මෙන් වනු ඇති. මිලියන 2ක ජනගහණයක් සහිත මේ කුඩා බිම් තීරුව ලොව වැඩිම ජනගණත්වයක් සහිත කලාපයක්.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මේ වන විට ඊශ්‍රායල් අගනුවර වූ ටෙල් අවිව් වෙත පැමිණ තිබෙනවා. ගාසා වැසියන්ට ඉන් පිටවීමට ආරක්ෂා සහිත කොරිඩෝවක් සැකසිමට ඊශ්‍රායලය හා ඊජිප්ත්තුව සමඟ සාකච්ඡා කරන බව ඔහු පැවසුවා.
ඉන්දියාව පලස්තීනයේ දීර්ඝ කාලින මිතුරෙකු වුවත් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඊශ්‍රායලයට සහාය දක්වා තිබෙනවා. ඉන්දියාව මෙය හඳුන්වන්නේ ඊශ්‍රායල-හමාස් යුද්ධයක් ලෙස මිසක් ඊශ්‍රායල-පලස්තීන යුද්ධයක් ලෙස නොවෙයි.
බොහෝ යුරෝපා රටවල් හා මුස්ලිම් නොවන බොහෝ රාජ්‍ය මේ මොහොතේ ඊශ්‍රායලය වෙත තම සහාය පළ කර තිබෙනවා. ජර්මනියේ හා ප්‍රංශයේ පලස්තීන ධජ සහිත උද්ඝෝෂණ තහනම් කර ඇත්තේ අනිත් පසින් යුදෙව් ඩයස්පෝරාවත් ඊට එරෙහිව නැඟී සිටින නිසයි.
ජර්මානු චාන්සලර් ඕලාෆ් ශොල්ස් පැවසුවේ හමාස් ත්‍රස්තවාදය හමුවේ පලස්තීන ජනාධිපති මොහමඩ් අබ්බාස්ගේ නිහැඬියාව ලජ්ජා සහගත බවයි. අබ්බාස් යනු බටහිර ඉවුරේ පිහිටි නිල පලස්තීන අධිකාරියේ ජනාධිපතිවරයායි. හමාස් ප්‍රහාරය වීර ක්‍රියාවක් ලෙස බටහිර ඉවුරේ පලස්තීනුවන් වැඩි පිරිසක් විසින් සලකන නිසා අබ්බාස් ජනාධිපතිවරයාගේ රජයත් සසල වී තිබෙනවා.
මේ ප්‍රහාරය ඊශ්‍රායල් 9/11 ලෙස බොහෝ මාධ්‍ය හඳුන්වනවා. ඊශ්‍රායල දේශපාලනයේ තිබූ හැලහැප්පීම් නිසා එරට බුද්ධි අංශ දුර්වල වී ඇතැයි සඳහන්. ප්‍රහාරයට දින කිහිපයකට පෙර සිටම ගාසාහි හමාස් ක්‍රියාකාරකම්වල අසාමාන්‍ය වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති අතර බුද්ධි අංශ ඒ බව ගාසා දේශසීමාවේ සෙබළුන්ට දන්වා තිබෙනවා. කෙසේ නමුත් එල්ල විය හැකි ප්‍රහාරයේ ස්වභාවය පිළිබඳව කිසිවෙක් කළින් තක්සේරු කර නැහැ.
කෙසේ නමුත් ඊශ්‍රායල ආරක්ෂක අංශවල දුර්වලතාව ගැන වාද විවාද කිරීමක් ඊශ්‍රායලය තුළ මේ මොහොතේ ඒ තරමට දකින්න නැහැ. හමාස් ප්‍රහාරය අගමැති නෙතනියාහුගේ බලය පවත්වා ගැනීමට කරන ලද මගෝඩියක් ලෙස ඊශ්‍රායල විපක්ෂය කොහෙවත් කියා නැහැ. එරට විපක්ෂ නායකයා මේ තීරණාත්මක මොහොතේ ආණ්ඩුවට සහාය පල කර තිබෙනවා. අගමැති නෙතනියාහු හා විපක්ෂ නායක බෙනී ගාන්ට්ස් එක්ව මේ මොහොතේ ජාතික රජයක් පිහිටුවා යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට ගිවිස ගෙන තිබෙනවා.