ඇගේ බහුතරයක් කවි තුළ දැනෙනුයේ සියුම් වේදනාවන්ගේ දෝංකාරයකි

Share post:

‘තුංග වූ මතක මැදුරකි’- උපෙකලා අතුකෝරල

උපෙකලාගේ කවි දිවියට දැන් අවුරුදු එකොළහකි. ඒ දිවිය පුරා ඇය විසින් බිහි කරන ලද කාව්‍ය කෘති තුනකි. මේ සිවුවැන්නය. තෙවැන්නේ සිට සිවුවැන්නට ගතවූ කාලය වසර තුනකි. කෙසේවත් අපතේ නොගිය කාලයකි. උපෙකලා කිවිඳියගේ සමස්ත නිර්මාණාවලියම ගෙන බලන විට එහි එක හුයක් සේ පෙනී නොපෙනී යන සියුම් සම්බන්ධයක් මට දැනෙයි. ඒ ඇය අහිමිව ගිය යමක් සොයන්නියක මෙන් සරනා බවකි. සියුම් වේදනාවක් විඳින, ඉන් උත්තේජනයක් ලබන, එයම පෙරලා ප්‍රතිප්‍රහාරයක් කරගන්නා කිවිඳියක ලෙස නැගෙන්නියකි උපෙකලා. ඇය තම කවිය හරහා කාන්තාවගේ ජීවිතයෙහි විවිධ ඉසවු වෙත ගමන් කරන්නීය. එහිලා ඇය තම වර්ගයාගේ ලෝකය තමන්ට දැනෙන ආකාරය වදන් සිතුවම් බවට පත් කරන්නීය. පුරුෂ ලෝකය තුළ ගර්හාවට පත්වන, නොසලකා හැරෙන, ආදරය වෙනුවෙන් නෙක බිලිපුද වෙත යොමු කෙරෙන කාන්තාවගේ ජීවන රිද්මයෙහි ඇති කර්කශබව, වේදනාවන්, කෝපය, ආදී විවධ දේ ඇය අත පත්වන සම්පත් බවට පත්වෙයි. ඇය නව කවි එකතුව ආරම්භ කරන්නේම කාන්තාව ගැන ඉතා බරපතල කියවීමක් සමගිනි.

දුකකට තැවුම් ලෙස මුතු කැට බිහිවන්නේ
වදනින් නොපෑ දුක තෙරපා හිනැහෙන්නේ
අධි බර සුසුම් ළය සඟවන ගැහැනුන්නේ
ඒ හින්දාද ඔබ දත මුතු සම වන්නේ

ඇය මුතු සහ ස්ත්‍රී වර්ණනාවන්හී යොදනු ලබනා රැවටිලි සහගත අලංකාර යෙදුමක් වන මුතු වන් දසන් දෙස බලනුයේ අපූරු කෝණයකිනි. ඇය මුතුවන් දසන් වලට හේතුව ලෙස දනින්නේ කාන්තාවන් සතු දරා සිටීමේ ශක්තියෙහි පලයක් ලෙසිනි. එය ඇය සුන්දර වස්තුවක් කරනා අලංකාරිකයන්ට හීන් ටොක්කක් මෙනි.

අඩි යනුවෙන් ඇය විසින් රචනා කරනු ලබනා කවියද ඇගේ කවි අතර අපූර්වතම නිර්මාණයකි. අඩි යනු මෙහිදී ‘වඩියකි’.
එය හිමි පිරිමින්ටය. අදටත් ලංකාවේ කාන්තාවක බියර් හලක, මත්පැන් හලක පෝලිමෙහි සිටියහොත් සමාජය ඉන් තැති ගනියි. සදාචාර නීති උල්ලංඝණයක් සේ සලකා හෑලි ලියවෙයි. කාන්තාවන්ට උපදේශන පංති පවත්වන්නට සංවාද ඇරඹෙයි. එහෙත් උපෙකලා මේ පිරිමින් තමන්ගේ සැනසුම් නැතිනම් විඳවුම අමතක කරනා කෙටි මග ගැන සාකච්ඡාවක් අරඹයි. ඇය කෙසේවත් පිරිමින්ගේ සැනසුමට එරෙහි නැති. ඇය ඒ ගැන බලනුයේ සංවේදී හදකිනි.

දුකක් දැනුනම
අඩියක් ගහන්නට
ක්ෂණිකව හිතෙන එක
සාධාරනයි
පිරිමින්ට

කොච්චර කළත් වැඩක් නෑ
කියලා දැනෙනකොට
මටමමයි මෙහෙමම වෙන්නෙ ම
කියලා හිතෙන කොට
පැය ඝාණකට හරි
හොඳ සිහිය නැති කරගන්න
අම්මපා හිතෙනවා ඇති
පිරිමින්ට

ඇගේ කවිය බෙහෙවින් උත්ප්‍රාසාත්මකය. ඇය පිරිමින්ගේ කාර්යය සාධාරණීකරනය කරන්නාක් මෙන් පෙනුනද ඒ යට සියුම් සරදමක්ද ඇත. පිරිමින්ට ඇරුණු ලෝකයක කාන්තාවගේ සීමිත ලෝකය කෙරේ වන වේදනාවද ඉන් ඇඟවෙයි. ඇය සිය කවිය අවසන් කරන්නේ පිරිමි දෙබැම නංවන වදන් සමගිනි.

පීප්පෙක දුක කෝප්පයකට හින්දන
මාත්‍රා දැන දැනත් නේත්‍රා තෙත් කරගන්න
ගෑනුන්ට උනත් සමහර වෙලාවට
ක්ෂණිකව
ඕවගෙ සිතුම් හිතට එන එක
ඉතින් සාධාරණ නැද්ද?

මේ ඇය පිරිමි ලෝකය සහ රාමුගත කුටුම්භ දිවිය කවියට කැටි කරන ආකාරයයි. ඒ කවිය කියවන විට මගේ සිහියට නැගුණේ ප්‍රදීප් සාරංග කුමාර කවියාගේ තාත්තාගේ මගුල් පින්තූරය නම් කවියයි. උපෙකලා පවුල් දිවිය යනුවෙන් අප විසින් නිර්මිත ලෝකය තුළ කතකගේ අසීරු පියවර මාරුව විචාරයට ලක් කරන්නේ සම්මත ඉරි කඩා දමමිනි.

දෙවියෙක් එක්ක
දීග කන එක
ඒ තරම්
ලේසි නැති බව
හාද වෙන්නට පෙර
පාරා උනත්
දැනන් උන් නැති බව
සහතිකය…..

සැමියා බිරිඳගේ දෙවියාය යන්න හිස් මුදුනින් ගෙන විවාහ උත්සවයන්හී කාන්තාවන්ට උපදෙස් දෙන උපදේශකයන් නූතන පරපුරෙහි පවා හමුවන යතාර්ථයක උපෙකලා ඒ සම්මතයන්ට එරෙහිව ලියන්නීය. එහෙත් ඇගේ බස කෝපයෙන් තොරය, ඒ වෙනුවට ඇත්තේ සිත කීස් කවනා සියුම් උපහාසයකි. එය ඉතා බලවත්ය.

සුවච අවනත පෙමාතුර
පියඹට නිතර
සැඩ නැඩ සළු දරා
කාලි වෙන්නට වුනේ
ඒ නිසා වෙන්නැත
දුර්ගා වගේ
එකියක් වුනත්
ඒ දුකේ
ශේෂයක වෙෂයක්
විය හැක…..

කාන්තාවන් ගැන කියනා විට නිතරම භාවිතා වෙන යෙදුමක් වනුයේ ගැහැනුකම යන්නයි. ඉන් බොහෝවිට කාන්තාවන් තුළ වන ළාමකකම, මෙන්ම දුර්වලකමද ඇඟවෙන අතර ඇවැසි විට එය ඇගේ චපලකම කරාද දිගුවෙයි. එහෙත් උපෙකලා මේ ගැහැණුකම තුළ වන මිනිස්කම මෙන්ම පෙමෙහි අහිමිවීම තුළ අත්විඳින වේදනාව යන දෙකම ඉතා සියුම් ලෙස ට්‍රිප්ලට්ස් නම් කවියෙහි මුහු කරයි. ගැබිණි මව්වරුන් තිදෙනකුට ඇවැසි දේ මිලට ගන්නට යන කතකගේ සිතුවිළි හරහා ඇය පිවිසෙන හැඟීම් කලාපය ස්නේහය මෙන්ම එය අහිමිවීමෙන් පසු කතක තුළ වන වියෝ තාපයද කෙතරම් බලවත්ද යන්න කියා පායි. ගැබිණි මව්වරුන් හට ඇවැසි බඩු ගන්නට යන කත එක් අතකින් සපුරා ලන්නේ තමන්ට අහිමි ලෝකයකට පිවිසෙන තම වර්ගයාගේම අවශ්‍යතාවකි. ඇයද සිහින මැවූවා එහි පිවිසෙන්නටය. එහෙත් ඒ ඇයට අහිමි කලාපයකි. ඇය දැන් හද දෙදරා යන සොවින සිය අතීතය මෙනෙහි කරනා අතරම තවත් එකියකට ඇගේ ලෝකය දිනාගන්නට අත දෙන්නීය.

නිදි කිරන පොඩි එකී කර තියන්
ලොක්කිවත් ඉස්සර කරන්
කොල්ලගෙත් අත අල්ලගෙන
දවසක
ඇවිදින්න යන විදිහ මව මව
දැන් බලයි දැන් බලයි හිත හිතා
ඔබ පස්සෙන්ම
මං ඔහේ කාලයක් ගිය ගමන
ඔක්කොමත් දුන්නහැකි
ඒ නම් දෙන්නෙ කොහොමද
කාටවත් ඉතින් එතකොට

මෙහි නම් යනුවෙන් කියන විට කවියෙහි මවන ඉතිහාසය කරා එළඹෙනුයේ ඊට පෙර වදන් පෙලිනි. ඇය ගැබිණි මවුවරුන් හට බඩු ගන්නා විට ඇගෙන් මෙවන් ඉල්ලීමක්ද කෙරෙයි.

දෙන එකේ ඔක්කොම බඩු ටික
නම් ටිකකුත් හදලා දෙන්නකො
අනේ ඒ පොඩි උන්ට දාගන්න
යාලුවෙක් කිව්ව ම එහෙම මූණට
මතක් වුනේ ම ඔබෙ මූණ……

උපෙකලාගේ කවි එකතුව මට නම් පෙමක සියුම් සංවේදනයන් විඳින්නට දැඩි සේ ලොල්වූ, එහෙත් එය අහිමි කරන ලද කතකගේ සංවේදී සංකල්පනාවන්ගේ එකතුවක් මෙනි. ඒ කවි තුළ දැනෙනුයේ නෙරපා හරිනු ලැබූ එහෙත් කරබාගෙන ඉන්නට සූදානම් නැති ඉතිරි සිතක නැගෙනා රළෙහි වේගයයි. ඇගේ කවි අතරින් වැඩි හරියක දැනෙනුයේම මේ සියුම් වේදනාවන්ගේ දෝංකාරය බව මට හැඟෙයි. ඇය මෙසේ ලියන්නීය.

පෙමතො තිබ්බෙ පොතේ විතරයි
පෙමක් තිබුණෙත් නැති කොට
ඉතින් මොන
කසාද ද?

එහෙත් උපෙකලා කිවිඳියගේ සියුම් විවේචනාත්මක බව අපට හමුවනුයේ බිම්බා නම් කවෙහිදීය

අච්චර අවධි පහු කල පසුත්
නුඹට බැරිවීද
අස්ථිර ලොවක වුව
ටිකක් හරි ස්ථිර
පිරිමියෙක් හා
අන්තිමටවත්
බැඳෙන්නට?
නැත්නම්…
බිඳි බිඳිත්
බදාගැන්මට
නුඹත්
ඇබ්බැහි වුනාවත්ද?

කල්ප කාලාන්තරයක් පෙරුම් පුරා සැමියකු පතන්නට හුරු කරන සමාජයකට උපෙකලා පොකුරු වෙඩිල්ලක් තබන්නීය. ඉතින් ඔබත් ඇගේ ‘තුංග වූ මතක මැදුරකි’ කියවන්න.

චූලානන්ද සමරනායක

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...