“ඇහෙනවද ඒ හිනා සද්දේ”
“කපුටන්ට කෝ උත්තර”
“මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි”
“කුණ්ඩලකේශී”
ඉහත දැක්වූයේ කවි කිහිපයක මාතෘකා ය. මේ ටික කියවූ සැණින් නිසැක ම කවියකුගේ නම මතක් වෙයි.මේ නම නොදන්නා අය නූතන කාව්‍ය රසිකයන් අතර සිටියහොත් ඒ නම් අරුමයකි.
රුවන් බන්දුජීව කවියා ඒ තරමට ම පාඨක රුචිය දිනාගෙන අහවර ය.එම කවි ඇතුළත් මී ළඟ මීවිත කවිපොත(2013)මුද්‍රණයෙන් නිකුත් වී මාස කිහිපයකින් වාෂ්ප විය. ඒ දිනවල මගතොටේදී අප කවියා හමුවූ විට “අලුතින් පොත ගහන්නැද්දැ”යි ඇසූ හැම විට ම ඔහු කළේ සිනාසී කරබා ගැනීමය. ඒ තරමට ඔහු තමන්ගේ කවිය ද දුරින් ඇසුරු කරන්නෙකි. අනෙක්වා ගැන කවර කතා ද?හැබැයි ඒ දුරස්ථ බව ම සමීප බව ලෙස දැනෙන්නේ මිතුරු සංවාදයේදීය.
ඔහුගේ කවිය මෙන් ම දිවිසැරිය ද උත්ප්‍රාසය පිළිබඳ ජීවන කවියකි.
අන්ධකාරය හා මුද්‍රිත පාන වර්ග පිරි මැදුරට
ඇට්ටේරියා මල් අමුත්තන් රැස් කර
චන්ද්‍රාලෝකයෙන්
හොඳවැයින් සංග්‍රහ කරයි අඹර
මදිරා සහ මදිරා නොවන දෑ අතර වැතිර ඉන්නෙකි අතුර
අතුරේ ගිහින් මොකට ද මල් කපන පිහිය විසිකර
සුළඟට තැබෑරුම් තුළ තිබියදී හමුවෙයි
මධුවිතෙන් එතෙර වූ කිසිවෙක්
කර තබාගෙන නොගොස් එහි තබා ගිය පහුර
සඳ තරම් ජනප්‍රිය නැති නමුදු පෙම්වතුන් අතර
ඉර විසින් ගත යුතු ය
සඳ නොගන්නා තීරණ
අමිහිරි බැව් දැන දැනම කටහඬ
පිටත්කර හරින්නට
අන්තිම මාළු කූරියන් හත අට
සලා ඉටි රැල් චාමර
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැහැනියක්
පෑදුවා තම උගුර
කවියෙහි මාතෘකාව ‘ර’ යන්න පිළිබඳ. ඔහුගේ අලුත් කවි පොත වන ධූමලාවණ්‍යාගාරය කවි එකතුවෙහි ඇතුළත් නිර්මාණයකි මේ.
රුවන් බන්දුජීව කවියාගේ බොහෝ කවිවල ඇති උත්ප්‍රාසය මෙකවෙහි ද ඇත.
එමෙන් ම එය ඇලෝජිස්වාදී නැඹුරුවක්(උත්ප්‍රාසය සඳහා හිතාමතාම තාර්කික සම්බන්ධතා උල්ලංඝනය කිරීම) ලෙස ද කාව්‍ය රසිකයකු හට දැනිය හැකි ය.
උත්ප්‍රාස රසයට නොදෙවෙනි ව අනුප්‍රාස රසය ද මතු වෙයි. කවියෙහි මාතෘකාව ‘ර’ රයන්න පිළිබඳ.
රයන්න සහිත වචන පෙළගස්වමු.
අන්ධකාරය
මැදුර
අඹර
අතර
වැතිර
අතුර
විසිකර
එතෙර
කර
පහුර
අතර
ඉර
තීරණ
පිටත්කර
චාමර
ජනරජය
උගුර
ර අකුරින් වරනැගුණු තැන් බලමු
මුද්‍රික
වර්ග
ඇට්ටේරියා
රැස්කර
චන්ද්‍රාලෝකය
මදිරා
අතුරේ
තැබෑරුම්
ජනප්‍රිය
අමිහිරි
හරින්නට
කූරියන්
රැල්
ප්‍රජාතාන්ත්‍රික
කවියා දැනුවත් ව කරන මේ කාර්යය භාෂාව සමග ක්‍රීඩා කිරීමේ විනෝද කාර්යයක් නොවන බව කිව යුතු ය.කවියෙහි අන්තර්ගතයෙන් එන තෙරපුමට සරිලන වාච්‍යාර්ථ,ව්‍යංගාර්ථ,ධ්වනිතාර්ථ කවියෙන් නින්නාද වේ.
මේ කවියා සමකාලීන විඥානය කවියට ගෙන ඒමෙහිදී පුරාණෝක්තිය,ජනශ්‍රැතිය,චිරන්තන සාහිත්‍ය ස්පර්ශ කරන්නේ හංසයකු දියට බසින්නාක් මෙනි.සම්භාව්‍ය සාහිත්‍යයෙන් තෝරාගත් පාඨ කවිය සඳහා උද්ධෘත කොට දැක්වීමේ සරල පිළිවෙත වෙනුවට ඔහු කවියෙහි අන්තර්ගතයට එය සම්බන්ධ කරන්නේ වෙන්කරගත නොහැකි ලෙස ය.
පහුර ගඟ තරණයට මිස එතෙර වී කරතබාගෙන යෑම පිණිස නොවන බව සඳහන් වන උපමාවක් අලගද්දූපම සූත්‍රයෙහි ඇතුළත් වෙයි.
“කර තබාගෙන නොගොස් එහි තබා ගිය පහුර”
කවි පාදයෙන් දැනෙන්නේ ඒ උපමාව සහිත සූත්‍ර සාරය ඔහුගේ සාහිත්‍ය විඥානය පෝෂණය කර ඇති බව ය. කවියෙහි අවසානය ප්‍රබල ය. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර වාදී සමාජවාදී ජනරජයේ ගැහැනියක් උගුර පෑදුවා යන්න ලේසි පාසු කටයුත්තක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය රෙද්ද පල්ලෙන් බේරෙන දූපතක නිර්ධනීන්ගේ කටහඬ වසා ඇත්තේ වහල් චින්තනය අනුව ය. ඉතින් එසෙව් දේශයක මාළු විකුණන ගැහැනියක් පාදා ඇත
උගුර….
අහා කදිමයි මෙකව..
උත්ප්‍රාසය පිණිස ම හිතාමතා තර්කානුකූල සම්බන්ධය බිඳ දමන ඇලෝජිසියානු කාව්‍ය නිදර්ශනයක් හැටියට නිදහස් මාවත කවිය මහත් අභිරුචියෙන් උද්ධෘත කර දක්වනු කැමැත්තෙමි.
මෙතෙක් හඳුනාගත් නොගත්
අනන්ත වූ ආකාශ වස්තුන්ගෙන් සපිරි
අහස වෙතටම පමණි
ඇලී ගැලී ඇත්තේ ගැලීලියෝ ගැලලිගේ සිතුවිලි
ගැලිලිගේ පෙම්වතියනි,
පෙන්ව පෙන්වා මහපොළොව
රිදවන්නෙපා ගැලිලි
විෂ රසායන ද්‍රව්‍ය වෙත
සිත් සේ නිරාවරණය වීමෙනි
ප්‍රීති ප්‍රමෝදයට පත් වූයේ
මැතිනිය මාරි කියුරි
අන්ධකාරෙදි පවා දිලිසෙන
නිලට හුරු කොළ පැහැති
රේඩියම් බඳු පෙම්බරා
ඈ කරා පැමිණියේ එහෙයිනි
ලංකාපුරයට ඉහළින්
අහස් යාත්‍රාවෙන් යද්දී
දැක චූලෝදර මහෝදර දෙබෑයන් අතර කලහය
රයිට් සහෝදරයෝ
බඩවල් අල්ලාගෙන සිනාසෙති
ඊසලය දිග හැරගෙන
ඉර කිරණකින් ඇණගෙන
ගිලී සූරියකාන්ත මල් යායේ
හිඳී වින්සන්ට් වැන්ගෝ
සලාකා බාර් එකෙන් නික්ම ආ
මගේ සිතුවිලි ගොමුවෙහි
ඇල්බට් චන්ද්‍රවංකය ළඟදී
ජපන් ජාතික ගත්කරු
හරුකි මුරකමි මහතාට
ආනන්ද කුමාරස්වාමි මහතා හමුවුණි
“හෙලෝ මං මුරකමි”
“හෙලෝ මං ආනන්ද කුමාරස්වාමි”
විදුලි පහන් කණු දල්වා තිබුණත්
රෑ වෙලා මෙහෙම යද්දි
කෝපි එකක් කාරිය බීලා
දුං ගුලියක් උඩ අරින්ඩ
පුංචි කඩ පුළුටක් නැති,
‘නිදහස් මාවත’මළම මූසලයි
ඒකට නම් ඔබ මොනවා කරන්ඩද
ඔබට සුබ රාත්‍රියක් ම වේවා
තෝමස් අල්වා එඩිසන් මැතිඳුනි…!
නිදහස් මාවත නිදහස නැති ම තැන ය. සංස්කෘතික මිනිසකු ගොඩනැගීමේ අතීත පියවර ගණනාවක් පසුකර පැමිණි වත්මන් ලෝක මිනිසා සහ නිදහස් මාවතෙහි ඇවිද යන කොළඹ මිනිසා අහසට පොළොව මෙනි. ආනන්ද කුමාරස්වාමි නම් විශ්ව පුරවැසියා ජීවත් වූයේ මෙහි ය. ඔහුගේ සම්භවයෙහි ප්‍රශ්න නිසා ඔහු නමින් තිබූ පාරෙහි නම ද වෙනස් කර ඇත. කොටින්ම සංහිඳියා යාන්ත්‍රනය සැදීම සඳහා මෑත කල ඇටවූ සංහිඳියා කාර්යාල පුවරුවද ගලවා විසිකර ඇත.
අධිරාජ්‍ය උරුමය ලෙස ලැබුණු නූතන ඉදිකිරීම් ටික හැර වෙන කිසිදු නවීනත්වයක්ද මේ නිදහස් මාවත අවට නැත.
මානව ශිෂ්ටාචාරය ගොඩනැගීමට අතිමහත් දායකත්වයක් දුන් ශ්‍රේෂ්ඨයන් අතර එක චරිතයක් වන මාරි කියුරි මැතිනිය අකල්හි මියගියේ විකිරණ ශරීරගත වීමෙනි. විකිරණවලින් මිදී පර්යේෂණ කිරීමේ පහසුකම් නොතිබි යුගයක කළ කැපකිරීම් ය.
ඒ ගැන කවියාට ඇත්තේ අපමණ බැතියකි.
විෂ රසායන ද්‍රව්‍ය වෙත
සිත් සේ නිරාවරණය වීමෙනි
ප්‍රීති ප්‍රමෝදයට පත් වූයේ
මැතිනිය මාරි කියුරි
අන්ධකාරෙදි පවා දිලිසෙන
නිලට හුරු කොළ පැහැති
රේඩියම් බිඳු පෙම්බරා
ඈ කරා පැමිණියේ එහෙයිනි
කවියාගේ උත්තර මානව හැඟීම මතුවන තැන මෙතැන ය.මාරි කියුරි මැතිනිය ජීවිතය දුන්නේ මානව වර්ගයා වෙනුවෙනි.
නොපෙනෙන බලවේග පසුපස යන්නන් වැඳිය යුත්තේ මෙවැනි දේවතාවියන්ටය.
ලෝකය පැතලි යයිද පෘථිවිය වටා සියලු ග්‍රහ මණ්ඩල භ්‍රමනය වතැයි ද සිතූ යුගයක ගැලිලියෝ ගැලිලි පෘථිවි කේන්ද්‍රවාදය ප්‍රතික්ෂේප කිරීමෙහි ප්‍රතිපලය ලෙස ඔහු පල්ලියේ මර්දනයට ලක්වුවද වත්මන් මිනිසා පෘථිවි කේන්ද්‍රීය චින්තනය බැහැර කර ඇත. මානව ශිෂ්ටාචාරය එසේ ඉදිරියට යද්දී අපේ රටේ දරුවන්ගේ ඔලුගෙඩිවලට සිනමාත්වකව බස්සන්නේ චූලෝදර මහෝදර ප්‍රශ්න ය. ගුවන්යානාව නිපැයූ රයිට් සහෝදරවරුන්ගේ පිහිටෙන් අදටත් ගුවන්ගත ගතවන ලාංකිකයන්ගේ ඔලුගෙඩිවල ඇත්තේ රාවණාගේ පත දඬුමොනරයයි.
රයිට් සහෝදරවරුන් බඩ අල්ලාගෙන සිනාසෙතැයි අප කවියා කියන්නේ එහෙයිනි.
අන්තිමේදී බලන විට නිදහස් මාවතේ රාත්‍රියෙහි පියමනින කොළඹ මිනිසාට තෝමස් අල්වා එඩිසන්ගේ පිහිටෙන් දැල්වෙන විදුලි පහන් එලිය මිස කෝපි උගුරක්,දුම් උගුරක් බීමට කඩ පොඩ්ඩක් නැත.ඉතින් මොන නිදහසක්ද?
රුවන් බන්දුජීව කවියා නිදහස් මාවතේ නිදහස නැති බව කියන්නට මුළුමහත් මානව ශිෂ්ටාචාරයේ මානව ජයග්‍රහණ හකුලුවා එක මිටට ගෙන අපි ඉන්නා තැන ඇඟිල්ලෙන් ඇණ පෙන්වයි.මේ කවියෙහි නිදන්ගතව ඇත්තේ සැර විවේචනයකි.එහෙත් එය රළු විවේචනයයක් නොවී සුන්දර කාව්‍ය වස්තුවක් බවට පත්වන්නේ කවියාගේ අනන්‍යතා ලකුණක්ව නැගෙන උත්ප්‍රාසයේ මහිමයෙනි.
රුවන් බන්දුජීව කවියා පුංචි පුංචි කවිවලින් ලොකු ලොකු හැඟීම් විඳීම් දැනවීමේ සමතෙකි.
ඇදවැටීමක් පිළිබඳ කවිය දක්වමි.
වියළී ඇද වැටීමෙන් පසු වය
ඇවිදින්න පටන් ගත්තේ තුරුපත්
පරව ඇදවැටුණාම දිය මත
හැම නෙලුම් මල් පෙත්තක්ම ඔරුවක්
මෙය අසවල් කවියාගේ යැයි නොකියා රසිකයකුට පෙන්වුව හොත් රුවන් බන්දුජීවගේ කවියකැයි නොවැරදීම කියනු ඇත.ඒ තමයි බන්දුජීවගේ කවි මහිමය. එසෙව් කවියන් හමුවන්නේ ඉඳහිට ය. අතේ ඇඟිලි ගානට ය.
මේ කෘතියෙහි ඇතුළත් මකුළුවා බැටළුවා කොටළුවා දළඹුවා සහ පිණි මුවා කවිය ද,කුඩා කුඩා බැකෝ යන්ත්‍ර, ටික ටික යනාදී කවි නැවත නැවත කියවා වින්දනය කළ හැකි ජීව ගුණයකින් යුක්ත ය.
රුවන් බන්දුජීවගේ පළමු පොතේ කවි කිහිපයක් ම අධ්‍යාපන ග්‍රන්ථ වලට ඇතුළත් වූයේ නිල බලයක් නිසා නොව ඒ කවි ඒ තරමට කෙටි කලකින් සමාජයෙහි විවිධ ස්ථරවල කිඳීයෑමේ සද්ගුණයෙන් යුක්ත වූ හෙයිනි.
ගඟක් හෙමින් සතුටින් ගලාබසින හැටි මට දැනුණේ ධූමලාවණ්‍යාගාරයට ඇතුළත් කනගරායන්ආරු කවියෙනි.
ලංකාවේ උතුරු දෙසට ගලන ගංගා ඇත්තේ එකක් පමණි(පොතකින්)
නදියක් දුටු තැන නවතා
ලලිත ලතාවෙන් අමතා
දකුණට හරවන්න හදන
රජුන්,ඇමතියන් නොතකා
උතුරටම ගලා යයි
කනගරායන් ආරු
මහවැලි කැලණි වලවේ කළු යන ගංගා
මිණි කැට තියන් සිටියදි දිය යට හංගා
තියෙන දෙයක් දෙන්නට උතුරට රිංගා
ආරු කනගරායන් පාරට බැස්සා
රතු ලූනු මල් පිපෙන ලා දුඹුරු බිම් තීරු
නිල් පාට සායමෙන් කරවමින් පින්තාරු
රැළි අතර හොවාගෙන වන්නියෙන් එන සේරු
උතුරටම ගලා යයි කනගරායන් ආරු
ගඟක් උවමට තියා අප කවියා මේ කියන්නේ පිටමං කරන ලද, නොඑසේ නම් දෙවැනි පුරවැසියන් ලෙස බැහැර කරන ලද ජනසමාජයක ආත්මීය වේදනාවට සවන්දිය යුතු ය යන්න මිස අන් කුමක් ද?
තියෙන දෙයක් දෙන්නට උතුරට රිංගා
ආරු කනගරායන් පාරට බැස්සා
හරිම අනුවේදනීය තැනකි මේ. තියන හැටියට අසල්වැසියාට යමක් කමක් දීම මවකගේ හදවතේ ඇති ගුණයයි. කනගරායන්ආරු ගඟට දැනෙන ඒ හැඟීම රට කරවන අයට නොතිබිණ.
එහෙයින් මේ කවිය සමාජ කවියකි.