කොළඹ මතක, Memories of Colombo – කුමුදු කුමාරසිංහ
කුමුදුගෙ “කොළඹ මතක” කියවා අවසන් වුණු මොහොතේ ඇති වුණු එසැණ හැඟීම් දෙකක් තියෙනවා. එකක් කුමුදු ව, තරයේ වැළඳ ගැනීම. අනෙක
කුමුදුගේ අම්මා දැක ගැනීම. ඇගෙන් ඒ ගෙවුණු අතීතය ගැන කිසිවක් නොඅසා ගැහැනු ආත්මයක අපිරිමිත දරා ගැනීම පිළිබඳ ජීවමාන සලකුණු ඇගේ මුහුණේ පිරියම් ව, ඇති සැටි නිහඬ ව විඳින්නට ආසා හිතුණා. කොළඹ මතක අතර කුමුදු නෙක නෙක මතක පටවල් ලෙහද්දී කීපවරක් ම මං කුමුදු ව සිතින් වැළඳ ගත්තා.
කුමුදුගේ ලිවීම හෘදයාංගමයි, විශ්වසනීය යි. මං හිතන්නෙ ඒකට ලොකු ම හේතුව කුමුදුගේ ලිවිසැරියට එඩිටින් ඔප්ශන් එකක් නොතිබීම. කුමුදු තම දිවි මං පෙතේ දශක දෙකක කාලයක් තුළ අප්‍රිය අමනාප තතු පිරි දුක්ඛාස්වාද වගේ ම හැඬුම් තැවුල් අස්සෙන් සිනා කිංකිණි ඇසෙන සුඛාස්වාදත් මනරම් බසෙකින් ලියා තියෙනවා.
කුමුදු අතින් මේ මතක පටවල් ලිහෙද්දි ඒ ලිහෙන ලිහෙන විදිහට ම, එඩිට් නොවී එළියට එනවා. විදර්ශන පසුපිටේ “මතක කැබලි” කියල හඳුන්වන්නෙ ඇගෙන් ලිහෙන මතක. ඒකෙන් වැඩ දෙකක් වෙනවා. එකක් සිහිනයකදි වගේ කුමුදුගේ අවිඥානය අනාවරණය වෙනවා. කුමුදුගේ ළමා කාලය දරා ගැනීම්වලින් ම පිරුණු ළමා කාලයක්. එයාට අවුරුදු තුනක් හතරක් වෙනකොට තාත්තාගෙන් දුරස් වෙන්න සිද්ධ වෙනවා. එයා ඒක ලියන විදිහ හරි ම දයනීය යි.
“මාව ඉස්කෝලෙට බාර දුන්නෙ අම්මා. අක්කලා හතර දෙනාව ඉස්කෝලෙට බාර දීල තිබුණෙ තාත්තා. මට කියල දීල තිබුණා තාත්තා ඉස්කෝලෙ ළඟට ඇවිත් යන්න කතා කළොත් යන්න එපා කියල. හැබැයි එයා කවදාවත් ම එහෙම ආවෙ නැහැ. චූටි කාලෙ මම එයත් එක්ක යන්න ඇඳුම් ලෑස්ති කරගෙන හිටිය කියල ගෙදර අය කියනවා.”
කුමුදුගෙන් ලිහෙන මතක පටවල් අතර කිහිප තැනකදි ම තාත්තා ගැන සඳහන් වෙනවා. තාත්තා වීරයෙක් කියල හිතාගෙන හිතින් එයත් එක්ක ගනුදෙනු කරන එක එයාට පහසුවක් වෙනවා. එයා ගැන මතකය නිතර ම උඩ ට මතු වෙනවා. තාත්තා නැතුව ගෙවන කුමුදුගේ ළමා කාලය කටුක වේදනාකාරී අත්දැකීම්වලින් පිරිල.කුමුදු එයාගේ ළමා කාලය ගැන ලියල තියෙන එක තැනක්දි මාව ගැස්සුණා.
” මම හිතන්නෙ මට චූටි කාලෙ තිබුණෙ භීත වෙච්ච මූණක්. මම හැම වෙලේ ම බය වෙලා වගේ හිටියෙ. වැස්සට බයයි. හුළඟට බයයි. ගොරවනවට බයයි. රණ්ඩු වෙනවට බයයි. හයියෙන් කතා කරනවට බයයි. ඉස්කෝලෙදි මේ භීත මූණ වැඩියෙන් තිබුණා.”
එහෙම භීත මූණක් තියෙන්න හේතුව, එයා හුදෙකලාවට කැමති වෙන්න හේතුව තාත්තා එයාව බලන්න ආපු නැති එක කියලයි මට හිතෙන්නෙ. දවසක් තාත්තාව දකිනවා. ඒත් එයාට කියන්න තිබුණු දේවල්වත් අහන්න තිබුණු දේවල්වත් කියන්නවත් අහන්නවත් බැරි ව යනවා. ඒක මොනතරම් දරා ගැනීමක් ද?
” එයා නැතුව හිතේ කොනක තිබුණු හිස්කම එයා දන්නව නම්. එයාට අහන්න ඕන වුණේ නැද්ද දන්නෙ නැහැ’ මම නැතුව ඕගොල්ලන්ට පාලු දැනුණ ද’ කියලා. එයා මාව එක්ක යන්න එනකම් මම ඇඳුම් පැක් කරගෙන බලන් හිටියා කියලා එයා දන්නෙ නැතුව ඇති”
අනෙක් අතට කුමුදුගෙ “මතක කැබලි” එයාගෙ අතීතය යළි අවලෝකනය කිරීමක් විතරක් ම නෙවෙයි. එහෙම වුණා නම් කාට හරි කියන්න පුළුවන් අපිට මොකට ද අනුන්ගෙ අතීත කතා කියල. නමුත් කුමුදු ඒ මතක ලිහන විදිහ වෙනස්. එයා ඒ මතක අතරට මැදිහත් වෙන්නෙ භාවමය ස්වරූපයකින් නෙවෙයි. එයා ඒ සිද්ධි දිහා තෙවැන්නෙකුගෙ ඇසින් බලනවා. එතකොට ඒක දේශපාලනික සංස්කෘතික හා මානව වංශ විද්‍යාත්මක දවටනයක එතෙනවා. හැබැයි ඒක කරන්නෙ මතක ලිහිල්ල පැත්තකින් තියල නෙවෙයි.පෝස්ට් කොලෝනියල් නාගරික ගමක උප සංස්කෘතික ලක්ෂණ කොයි වගේ ද කියන එක කුමුදු හරි ම ආකර්ෂණීය විදිහට කියනවා.
මං කැමති ම, කුමුදු මේ හැම තැනකදි ම ලස්සනට ජීවත්වීමේ විද්‍යාව අල්ල ගන්න එකට. අම්මා අප්‍රමාණ දැරීම් අතර ගෑනු ළමයි පස් දෙනාව ම ලස්සනට හැඩට තියන්න මහන්සි ගන්නවා.
මට කුමුදුගෙ කොළඹ මතක අතර වැදගත් ම දේ වුණේ ගැහැනියකගෙ ශ්‍රමයට වඩා දරා ගැනීම කියන එක කොයිතරම් බරපතල ද කියන එක. ඒ සියලු දරා ගැනීම් එක්ක ම ඒ සමාජයට ම අවශෝෂණය වෙලා දිරල යන ගැහැනියක් නොවී ඒ හැම දෙයක් ම දිහා තෙවැන්නෙකුගේ ඇසින් බැලීමට හැකි වීමත් දරා ගැනීමක්. ඒ සියල්ල දරා ගන්න ගමන් ලස්සනට ම ඉන්න හිතෙන එක ඊටත් වඩා දෙයක්.